බස් මගී අයිතිවාසිකම් සුරකින පොදු ප්‍රවාහනයක්

මුල් යුගයේදී ශ්‍රී ලංකාවේ බස් මගී ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය සතු විය. ඒ අතර ප්‍රබල බස් සමාගම් කිහිපයක් ද තිබිණි. 1958දී, එවකට පෞද්ගලික සමාගම් අත පැවති බස් රථ 3,300ක් සහ සේවකයන් 12,000ක් ඇතුළත් කරගෙන ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භ කරන ලදී.

මෙය බස් ජනසතුව නමින් ප්‍රසිද්ධ වූ අතර, බස් මගී සේවා පවත්වාගෙන යාම රජයේ ඒකාධිකාරයක් බවට පත් විය. පසු කලෙක, මෙය මධ්‍යම ගමනාගමන මණ්ඩලය ලෙස ද නම් විය. පක්ෂ දේශපාලනය රජ කරන රාජ්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හැඳින්වීමට හැකිය. දිනන දේශපාලන පක්ෂයේ ආධාරකරුවන් කලින් සිටි සේවකයින් පලවා හැර බලහත්කාරයෙන් ආයතනය (ඩිපෝව) අත්පත් කරගැනුණු අතර පසුදා පහන්වන විට දිනන පක්ෂය අනුව බස් රථවල පාට ද වෙනස් විය.

1977න් පසු බස් ප්‍රවාහන සේවය පෞද්ගලික අංශයට ද විවෘත විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමන්ගේ හැකියාව ශක්තිය සහ ධනවත්කම අනුව මාර්ගවල බස් රථ යෙදවීමේ හැකියාව ධනවතුන්ට හිමිවිය. එම මගී ප්‍රවාහන රථ එකිනෙකට වෙනස් වූ අතර ප්‍රදේශයන් අනුව ද වෙනස් විය. සමහර ප්‍රදේශවල මගීන් ප්‍රවාහනය සිදුකළේ ලොරි රථ මගිනි. ඉතාම අවිධිමත් පෞද්ගලිකකරණ ක්‍රියාවලියක් වූ බස් ප්‍රවාහනය නියාමනය කිරීම සඳහා මේ වන විට මධ්‍යම හා පළාත් පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරි ක්‍රියාත්මක වේ. එම ආයතනය නියාමනය වන්නේ මගී ප්‍රවාහන නියාමන කොමිෂන් සභාව මගිනි. ඊට අමතරව අද වනවිට බස් හිමියන් සංගම් වශයෙන්ද සංවිධානය වී බලය  පතුරුවාගෙන තිබේ. මේ අතර,  සෘජුවම රජයට සම්බන්ධ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ අතර දැඩි තරගකාරීත්වයක් දක්නට තිබේ.

කෙසේ වෙතත්, ලංකාවේ බස් මගී ප්‍රවාහන සේවාව මේ වන විට ක්‍රියාත්මක වන්නේ ඉතාමත්ම අවධිමත්වය. එනයින්ම පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීම් නිරන්තරයෙන්ම සිදුවේ. එමෙන්ම දෛනිකව බස් අනතුරු සංඛ්‍යාව සහ අනතුරුවලින් මිය යන සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් සහ ළමයින් ලිංගික අපයෝජනයට ලක්වීම සුලභ සිදුවීමකි.

බස් කර්මාන්තය සඳහා කොන්දොස්තරවරුන් සහ රියදුරන් බඳවා ගන්නේ සුදුසුකම් පිළිබඳ සැලකිල්ලකින් නොවේ. බොහෝවිට එම බඳවා ගැනීම්වලදී වයස ගැටලුවක් නොවන අතර රියදුරු බලපත්‍රයක් ඇත්නම් රියදුරකු විය හැකිය. කොන්දොස්තරවරුන් බඳවා ගැනීම බොහෝ විට සිදු වන්නේ හිතවත්කම් මතය.

බොහෝමයක් අනතුරු සඳහා ප්‍රබලතම හේතුව වී ඇත්තේ තරඟකාරී හා අපරීක්ෂාකාරී ධාවනයයි. මාර්ග නීති උල්ලංඝනය කිරීම මෙන්ම පොලිසියට අල්ලස් දීමෙන් වරද යටගසා ගැනීම ඉතා සුලබය. වැරදිවලට ලැබෙන දඬුවම් ද ඉතාම ලිහිල් ය. මිනිස් ජීවිතවලට කිසිදු වටිනාකමක් නොදෙන සහ නොදන්නා රියදුරන් මාර්ගය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම සහ තමන් පදවන වාහනයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ අනවබෝධයෙන් ක්‍රියා කරන බව පසුගිය කාලයේදී සිදු වූ හදිසි අනතුරු පිළිබඳව අවධානය යොමු කිරීමේ දී දක්නට හැකි වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ වාර්තාවන්වලට අනුව, 2019 වසරේ සිට 2022 වසර දක්වා පෞද්ගලික බස් රථ මගින් සිදු වී ඇති අනතුරු පහත දැක්වේ:

වර්ගය 2019 2020 2021 2022
මරණාන්තර 201 133 129 172
සමාන්‍ය තුවාල 632 367 247 397
බරපතල තුවාල 479 432 203 319
වාහන හානි 789 265 285 359

 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) බස් රථ මගින් සිදු වී ඇති අනතුරු

වර්ගය 2019 2020 2021 2022
මරණාන්තර 59 29 37 63
සමාන්‍ය තුවාල 272 168 86 157
බරපතල තුවාල 175 126 72 123
වාහන හානි 187 68 65 101

(ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ වාර්තාවට අනුව- https://www.transport.gov.lk/web/index.php?option=com_content&view=article&id=29&Itemid=149&lang=si#slider-3)

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සාමාන්‍යක් වශයෙන් ගත්කළ 20,000කට අධික ප්‍රමාණයක් රිය අනතුරු සිදුවන අතර, ඒවායෙන් 2,500කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බව මෙහි සඳහන් වේ. ශ්‍රී ලංකා (පොලිසියේ නිල සංඛ්‍යාලේඛන වාර්තා –https://www.police.lk/wp-content/uploads/2025/01/Traffic-Accidents.pdf)

මෙම බස් රථවල ගමන් ගන්නා මගීන් දැඩි අපහසුතාවන්ට සඳහා මුහුණදෙන අතර බොහෝවිට බස් රථයක් තවත් බස් රථයක් පරයායාම, බස්‍ රථ ධාවනය කරමින් දුරකථන භාවිතා කිරීම, මාර්ග නීති උල්ලංඝනය කිරීම සහ මාර්ග සංඥා පිළි නොපැදීම, අසීමිත ලෙස මගින් පටවා ගැනීම, බස් නැවතුම්පළවල මගීන් නංවා ගැනීමට හා බස්වාගැනීමේ දී බස්රථ නොනැවැත්වීම, ඝෝසාකාරී ශබ්දය සහ දෙනෙත්වලට අපහසු විදුලි බල්බ බස්‍ රථවල සවී කිරීම් ආදියෙන් මගින් මගියන් දෛනිකව විවිධ අපහසුතාවයන්ලට පත් වේ.

 

එපමණක්ම නොව මුදල් වැයකොට ‘සිසුසැරිය’ සඳහා යොදවා ඇති පෞද්ගලික බස් රථ නියමිත කාලයට ධාවනය වුවද, එම බස්‍ රථ තුළ සිදුවන අනාචාර සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ දී වාර්තා විය. ඒ අතර රියදුරු කොන්දොස්තරවරුන් හෝ ඔවුන්ගේ හිතවතුන් විශේෂයෙන් ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් සිදුකළ හිරිහැර, අපයෝජන සිදුවීම් ගණනාවක් වාර්තා විය. එමෙන්ම සිසු සැරිය බස් රථ හරහා මත්කුඩු හා මත්ද්‍රව්‍ය පාසල් ළමුන් අතර  ව්‍යප්ත වීම පිළිබඳවද තොරතුරු රැසක් පසුගිය කාලවකවානුවේ අනාවරණය විය. තවද පාසල් කාලය මගහරින සිසු සිසුවියන්ට ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම සඳහා කාලය හා ඉඩකඩ ලබාදෙන බස් රථ ඇති බවද පසුගිය කාලයේදී සොයා ගන්නා ලදී.

මගීන් පත්වන අපහසුතාවන් අතර පූජ්‍ය පක්ෂය සඳහා පෞද්ගලික බස් නොනවත්වා ගමන් කිරීම ද බහුලව දක්නට ලැබෙන සිද්ධියකි. එමෙන්ම මාසිකව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ගාස්තු ගෙවා ලබාගන්නා වාර ප්‍රවේශ පත්‍ර සහිත සිසු සිසුවියන්ව බස් රථවල ගමන් කිරීමට නොදීම ද ශ්‍රී ලංගම ම රියදුරන් විසින් බහුලව සිදුකරන ලැබේ සීසන් ටිකට් පත්. ලංකා ගමනාගමන මණ්ඩලයට එකවර ආදායමක් ලැබුණද බස් රථවල කොන්දොස්තරවරුන් එම සිසු සිසුවියන් නොමිලේ ගමන් ගන්නා සිසු සිසුවියන් ලෙස සලකනු ලබයි. පාසල් සිසුන්ට ලබාදෙන අඩු වියදම් වාර ප්‍රවේශ පත්‍රය වෙනුවෙන් ඉතිරි මුදල අධ්‍යාපන අමාත්‍යාංහය විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දෙනු ලැබේ.

පෞද්ගලික බස් රථවල කොන්දොස්තරවරුන් සහ රියදුරන්ට චෝදනා එල්ලවන තරමටම චෝදනා එල්ල නොවූවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරුන්ට සහ රියදුරන්ට ඉතිහාසයේ තිබුණු ගෞරවය මේ වන විට නොලැබෙමින් තිබේ. ඊට හේතුව ඔවුන් ද පෞද්ගලික බස් රථ හා සමගාමීව පිරිහී තිබෙන නිසාය. පොදුවේ ගත් කල පෞද්ගලික හෝ ලංගම බස් රථවල ළමා අපචාර කාන්තා හිංසනය අප්‍රමාණව සිදුවේ. පොල් පටවන්නාක් සේ මගින් පටවා ගන්නා බස් රථවල ඉදිරිපස සිට පසුපසටත් පසුපස සිට ඉදිරිපසටත් ගමන් කරනා කොන්දොස්තරවරුන් නිසා විශේෂයෙන්ම කාන්තාවන් විවිධ අපහසුතාවන්වලට පත් වන අතර ළමුන් ඒ පිළිබඳ ව අවබෝධයක් නැති නිසා නොදැනුවත්වම හිංසනයට පත්වේ.

ප්‍රමිතියකින් තොර ආසන ඊට කදිම සහයක් ලබාදෙන අතර පිරිමින්ගෙන් මෙලෙස කාන්තාවන් හිංසනයට පත්වේ. ඒ සඳහාම  බොහෝ විට සමහර පිරිමින් සෙනඟ පිරුණු බස්වලට නැගීම පුරුද්දක් කරගෙන සිටීම නොරහසකි. එවැනි අවස්ථාවන් වලට මුහුණ දෙන කාන්තාවෝ බිය හෝ ලැජ්ජාව නිසා විරෝධය පෑමක් නොකරන අතර ඉවසා දරාගෙන සිටිති. කලාතුරකින් එවැනි අවස්ථාවක කාන්තාවක් තමන්ට සිදුවූ අපහසුතාවයට හා හිරිහැරයට විරුද්ධව කතා කළ ද ඊට සහාය දීමට කොන්දොස්තරවරයා හෝ රියදුරා ඉදිරිපත් නොවේ. එමෙන්ම බොහෝ මගීන් මෙවැනි අවස්ථාවල කොහෙත්ම ඉදිරිපත් නොවන්නේ “මට නෙවෙයිනේ” යන සිතිවිල්ලෙනි.

මේ අයුරින් මගීන් මුහුණදෙන අපහසුතා සඳහා යෝජනා වශයෙන්,

  1. ප්‍රමිතිගත බස් රථයක්
  2. විශේෂයෙන්ම දුර සේවා ගමන්  සඳහා සුවපහසු ආසන සහිත බස් රථ යෙදවීම.
  3. බස් රථයක ගමන් කිරීමට නිශ්චිත උපරිම මගින් සංඛ්‍යාවක් නියම කිරීම
  4. කොන්දොස්තර මහතා සඳහා වෙන් වූ ආසනයක් පැනවීම
  5. ගමන් ආරම්භය, ගමනාන්තය සහ බස්‍ රථයේ වාහන අංකය නිශ්චිතව ප්‍රදර්ශනය කිරීම.
  6. සෑම මගියෙක් සඳහාම ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම සහ ඉතිරි මුදල් ලබාදීම.
  7. පිටවීම සඳහා ඉදිරිපස දොරත් ඇතුල් කර ගැනීම සඳහා පිටුපස දොරත් නම් කිරීම.
  8. බස් රථය නවත්වා ගෙන මගීන් නග්ගවා ගැනීම හා බැස්සවීම සිදු කිරීම.
  9. කොන්දොස්තරවරයාට බස් රථයේ ඉදිරියට හෝ පිටුපසට යාමට අවශ්‍ය නම් බස් රථය නැවැත්වූ පසු එසේ කිරීම.
  10. පූජ්‍ය, පූජක පක්ෂය වෙනුවෙන් ආසන වෙන් කිරීම පමණක් නොව එම ආසන ලබා දීම සඳහා  කොන්දොස්තරවරයා ප්‍රමුඛත්වය ලබාදීම.
  11. ගැබිණි මව්වරුන් සහ විශේෂ අවශ්‍යතා ඇති පුරවැසියන් සඳහා ආසන ලබාදීම සිදු කිරීම.
  12. දුර ගමන් සේවා සඳහා කොන්දොස්තරවරයා සහ රියදුරු බඳවා ගැනීමේ දී ඔවුන් දෙදෙනාටම රියදුරු බලපත්‍ර තිබේ දැයි බැලීම සහ පලපුරුද්ද සලකා බැලීම.
  13. බස් රථයේ ගුණාත්මක බව, එනම් බස් රථය ධාවනයට සුදුසු තත්වයක පවතින්නේ ද යන්න සහතික කළ යුතු අතර පැති කන්නාඩි, තිරිංග යනාදිය පිළිබඳ වගකීම රියැදුරු හා කොන්දොස්තරවරයා දැරිය යුතු ය.
  14. බස් රථයේ ආදායම් බලපත්‍රය රක්ෂණ සහතික ආදිය නිසි ලෙස කළමනාකරණය කිරීම.
  15. කොන්දොස්තරවරුන්ට සහ රියදුරන්ටත් නිශ්චිත නිල ඇඳුමක් නියම කළ යුතුය. (පසුගිය කාලවකවානුවේ එලෙසින් නිල ඇඳුමක් හඳුන්වා දුන්න ද වර්තමානය වනවිට එය නිසි ලෙස භාවිතා නොවේ).
  16. විශේෂයෙන්ම පාසල් දරුවකු අනතුරකට පත් වන අවස්ථාවකදී එම දරුවා වෙනුවෙන් සිදුවන හානිය අනුව වන්දි මුදලක් නියම කළ යුතුය. එමෙන්ම වන්දි මුදල ගෙවිය යුත්තේ වාහන හිමිකරු විසින්ය.
  17. අපරීක්ෂාකාරි රිය ධාවනයේ යෙදී වැරදි කරන රියදුරු කොන්දොස්තරවරුන්ගේ සේවය යළි ලබා නොගන්නා අයුරින් නීති සැකසිය යුතු අතර ඔවුන්ගේ  රියදුරු බලපත්‍රය ද  අවලංගු කළ යුතුය.

 

“වතුර වුවද එකම තැනක බොහෝ කාලයක් තිබුණු පසු එය අපිරිසිදුවේ.” යැයි කියමනක් ඇත. එනිසා මගී ප්‍රවාහන සේවය ද තාක්ෂණයත් සමග නවීකරණය  විය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. විශේෂයෙන්ම බස් රථයක් තුළදී බස් මගී අයිතිවාසිකම් කඩවන මගීන්ගේ මෙන්ම හිංසනයට පත් වන කාන්තාවන්ගේ මෙන්ම ළමයින්ගේ ද මානව හිමිකම් උල්ලංඝනය වීම් පාලකයින්ගේ අවධානයට ලක්විය යුතුය. එවැනි අවස්ථාවලදී  නිසි ක්‍රියාමාර්ග  ගත යුතුය. එවැනි වරදවල් හඳුනාගත් මොහොතේදීම නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුය.

Social Sharing
නවතම පුවත්