දේශබන්දු තෙන්නකෝන්ගේ පෙත්සම නිෂ්ප්‍රභයි. වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය අද (මාර්තු 17 වැනිදා) නිෂ්ප්‍රභ කළේය.

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය අද (මාර්තු 17 වැනිදා) නිෂ්ප්‍රභ කළේය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරනු ලැබීය.

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉකුත් 12 වැනිදා අභියාචනාධිකරණය හමුවේ සලකා බැලිණි.

එහි තීන්දුව අද (මාර්තු 17 වැනිදා) පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභ කරන බවයි.

පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොවෙයි’

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොව ඔහු රටේ පොලිස්පතිවරයා බවයි.

රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පෙත්සම්කරු වෙත පැවරී තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි වගකිවයුතු පුද්ගලයකු අධිකරණ නියෝග මඟ හරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව සඳහන් කළේය.

මෙවැනි ක්‍රියා තුළින් නීතියේ ආධිපත්‍යයට මෙන්ම නීතිය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බිඳ වැටීමට හේතුවන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ ය.

පහළ අධිකරණවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔවුන්ගේ කටයුතුවලට මැදිහත්වීමට ඉහළ අධිකරණ අපේක්ෂා නොකරන බවත් සඳහන් කළේය.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ යම් ගැටලු සහගත තත්ත්වයක් තිබුණේ නම් ඔහු මුලින්ම කළ යුතුව තිබුණේ එම අධිකරණ නියෝගයට අවනත වී පසුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම බව සඳහන් කළ විනිසුරුවරයා එහෙත් පෙත්සම්කරු එම නීතිමය මූලධර්මය අනුගමනය කර නොමැති බවත් කියා සිටියේ ය.

සමස්ත කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කාර පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය තුළින් ඔහු පිරිසුදු දෑත් වලින් අධිකරණය හමුවට පැමිණි බවක් පෙනී නොයන හෙයින් ඔහුගේ පෙත්සම සහ අතුරු තහනම් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර ඇත.

සියලු කරුණු සලකා බැලීමේදී මාතර මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නීත්‍යානුකූල බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරුන්ගෙන් අධිකරණයට මෝසමක්

මේ අතර අද පෙරවරුවේ දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරු විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබිණි.එම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ මෙම සිද්ධියට අදාළ මාතර මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේ සම්පූර්ණ පිටපත ලැබුණේ ඉකුත් සිකුරාදා බවත් එය අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ බවත් ය.

ඒ අනුව මෝසම සම්බන්ධයෙන් කරුණු සලකා බලන තෙක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් දැඩි විරෝධය පළ කළේය.

මෙවැනි ඉල්ලීම් වලට ඉඩ නොදෙන ලෙසත් අදාළ මෝසෙම ප්‍රතික්ෂේප කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මිනිසුරු මඩුල්ල විසින් අදාළ මෝසම ඉවත දමමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් කරන්නැයි නියෝග

පෙත්සම්කරුට අධිකරණය මගහැර සඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් කරන ලෙසත් විනිසුරු මඩුල්ල මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.

BBC සිංහල

Social Sharing
අවකාශය නවතම