ට්‍රම්ප්ගේ වෙළදවාදය හා ලංකාවේ අනාගතය!

make aging great america

මේ සටහන මගින් අවධානය ඉල්ලා සිටින්නේ රටේ අනාගතය ගැන උනන්දුවන්නන්ටය.

රටේ දේශපාලන ඔපාදුප රසකර කියන්නන් හට  මේ සටහන තුල ගත හැකි යමක් නොතිබෙනවාට සැකයක් ඇත්තේ නැත.

නමුත් අපගේ අනාගතය මේ කියනා කරුනු තුල භයානක ලෙස ගැට ගැසී පවතින බව පමනක් කිව යුතුව තිබේ.

මේවන විට ට්‍රම්ප් ජනාධිපතිවරයා හරහා ලෝකයට නිරාවරනය කරමින්  තිබෙන වානිජවාදී (mercantilist) ලිබරල් නොවන (illiberal) නව ලෝක පැරඩයිමය හේතුවෙන් ලංකාවේ අනාගත ආර්ථික ස්ථායීතාවය පිලිබදව නැවත නැවතත් අවධානමට ලක්වීමට ඉඩ කඩක් පවතින්නේ යයි පුර්වේක්ෂනය කල හැකිව තිබේ.

වානිජවාදය 15 ශතවර්ශයේ පමන සිට ලෝකය පුරා ව්‍යාප්තවි දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගොඩනගන ලද බෙටන්වුඩ් එකගතා මත ගොඩනැගුනු ගොලීය ලිබරල් ආර්ථික පර්යාය මගින් අවසන්වු දර්ශනයක් වන්නේය.

නමුත් ට්‍රම්ප් ප්‍රමුඛ සුදු ස්වෝත්තමවාදී අන්තවාදී රිපබබ්ලිකන් වාදීන්ද ( ස්ටීව් බෙනන් මෙම මතවාදය මෙහෙයවයි) තාක්ෂනික ලිබටේරියානුවන්ද (techno libertarians /එලෝන් මස්ක් එම මතය මෙහෙයවයි), ක්‍රිස්තියානි කොන්සවටිව්වාදින්ද ( Christian Republicans / කොන්ග්‍රසයේ කතානායක මයික් ජොන්සන් එම මතය මෙහෙයවයි) අමරිකානු දේශපාලන ආර්ථිකය නැවත වරක් වානිජවාදය මත පදනම් කොට ක්‍රියාත්මක කරන්නට තීරනය කොට තිබේ.

අද අපට මතුපිටින් පෙනෙන කැනඩාව, මෙක්සිකෝව, යුරෝපය හා චීනය අරබයා පැනවෙන අධික තීරු බදු මෙම නව අමරිකානු වානිජවාදයේ ප්‍රතිපලයක් ලෙස දැක්විය හැකිව තිබේ.

වර්ථහාන අමරිකාවට අනුව රතු, කහ සහ කොල පාටින් සලකුනු කොට ඇති තමන් විසින් අනාගතයේදී ගනුදෙනු කිරීමට නියමිත රාජ්‍යයන් හදුනාගෙන තිබේ. අමරිකාව අනාගතයේදී ගනුදෙනු කරනු ඇත්තේ කොල රාජ්‍ය සමග පමනකි. රතු රාජ්‍යයන් මිලිටරිමය හා දේශපාලනික ලෙස විනාශ කරනු ඇත්තේය.

කොල පාට රාජ්‍ය වන්නේ ලිබරල් රාජ්‍ය නොව ආර්ථිකමය හා මිලිටරිමය ලෙස බලගතු රාජ්‍යයන් වන්නාසේම අමරිකාවට වෙලද වටිනාකමක් ඇති රාජ්‍යයන්ද වන්නේය.

එම නිසා නිදහස් ලෝකය ලිබරල් ප්‍රජාතාන්ත්‍රවාදී ලෝකය වැනි සංකල්ප තවදුරටත් අමරිකාවට අදාල වන්නේ නැත.

එකී පසුබිම තුල අප පලමුව වානිජවාදය යනු කුමක්දැයි දැන හදුනාගත යුතුව තිබේ.

අතීත වානිජවාදයේ සංකාල්පික පදනම වුයේ රාජ්‍ය බලය (දේශපාලන හා මිලිටරි බලය) මත පදනම්ව අදාල රාජ්‍යයේ ස්වයං පැවැත්ම උදෙසා එම රාජ්‍යයේ විදේශ වෙලදාම ඉහල නංවමින් අපනයන ආදායම වැඩි කරගන්නා අතරේම රට තුලට කෙරෙන ආනයනයන් අධෛර්යමත් කිරීමයි.

ඇඩම් ස්මිත් තම wealth of nations කෟතිය මගින් මෙම වානිජවාදය නිර්දය ලෙස විවේචනය කොට තිබුනේය.

ලෙනින් ධනවාදයේ උච්ඡතම අවධිය අධිරාජ්‍යවාදය ලෙසට නිර්වචනය කලේ මෙම වානිජවාදයයි.

නමුත් ට්‍රම්ප් ප්‍රමුඛ සුදු, ක්‍රිස්තියානි,තාක්ෂනික ලිබටේරියානුවන් නැවත වරක් මෙම වානිජවාදය තම රට තුලට හදුන්වාදීමටත් එය ගෝලිය දර්ශනයක් බවට පත් කරවන්නටත් තීන්දු කොට තිබේ.

ට්‍රම්ප්ගේ මෙම ව්‍යායාමය දෙවන ලෝක යුද්ධයෙන් පසුව එවකට අමරිකානු ජනාධිපතිවරයාවු රෑස්වෙල්ට් විසින් ගෝලිය ආර්ථිකයක් වෙනුවෙන් හදුන්වාදුන් බ්‍රෙටන්වුඩ් ආයතන පද්දතිය එනම් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද, ඉන් අනතුරුව ගොඩනැගු ලෝක වෙළද සංවිධානයද, බ්‍රෙටන්වුඩ් ආයතන විසින් 80 දශකයේදී හදන්වාදුන් නව ලිබරල් ආර්ථික මාධිලයටද සපුරා පටහැනි වන්නේය.

එසේම එහි ක්‍රියාකාරීත්වය තුල ලෝකය තුල පැල පදියම්වු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ගේ පැවැත්ම පිලිබද විශ්වාසයන්ටද මරු පහරක් එල්ලවන්නේය.

ට්‍රම්ප් මෙවැනි සුසමාදර්ශීය වෙනසක් ඇති කිරීමට අතගසා ඇත්තේ එරට රිපබ්ලිකන් ආර්ථිකවාදීන් විසින් කලක් තිස්සේ නව ලිබරල් වාදයේ මුලස්ථානය ලෙස සැලකෙන චිකාගෝ ගුරුකුලයේ නව ලිබරල් වාදීන් සමග සිදුකරමින් තිබු දීර්ඝ මතවාදී අරගලයක ප්‍රතිපලයක් ලෙසටය.

එම මතවාදී අරගලයේ ප්‍රමුඛයා වුයේ Stephan Miran වන අතර ඔහු මේවන විට ට්‍රම්ප්ගේ අමරිකානු ආර්ථික උපදේශක කවුන්සිලයේ ප්‍රධානියා වන්නේය.

මෙම වානිජවාදී මත අරගලයේ උච්ඡය වන්නේ මොරලාගෝ එකගතාවන්ය. (Mar-a Lago Accords)

මෙම මොරලාගෝ එකගතා මෙතෙක් ලෝකය තුල ක්‍රියාත්මකවු වොශින්ටන් එකගතාවන්ට සපුරා එරෙහි වන්නේය.

මොරලාගෝ එකගතා මගින් කියන්නේ ඩොලරය දුර්වල කොට අමරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි.

ඩොලරය දුර්වල කිරීම අමරිකානු අපනයනයන්ට සුබවාදී බවත් අමරිකාව තුලට එන ආනයයන් අධෛරය කල හැකි වන බවය.

එහිලා වැඩිදුරටත් කියවෙන්නේ ඩොලරය ගෝලීය ආර්ථිකයේ සංචිත ඒකකය බවට පත්වීම නිසා අමරිකානු ප්‍රාථමික ශේෂයට ශක්තිමත් ඩොලරය මගින් අනිසි බලපෑමක් ඇති කොට ඇති බවය.

අවසානයේදී අමරිකාව තුල නැවතත් නිශ්පාදන ආර්ථිකයක් ගොඩනැංවීමට ඩොලරය දර්වල  කිරීම තුලින් පදනම සකසනු ඇති බවය.

Make the America great again යන සටන් පාඨය ඉදිරියට එන්නේ මොරලාගෝ එකගතා නමැති දාර්ශනික ආස්තානයේ සිටය.

ඉහතකී පසුබිම තුල ලංකාවේ ආර්ථික අනාගතය කුමක් වනු ඇත්ද යන්න සලකා බැලිය යුතුව තිබේ.

ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් ඩොලර් බිලිලියන 2.79 උපයාගන්නේ අමරිකාවට කෙරෙන අපනයනය තුලිනි.

ඒ අතරින් ඩොලර් බිලියන 2.43 ක් ලැබෙන්නේ අමරිකාවට කෙරෙන ඇගලුම් අපනයනයන් හරහාය.

ඇගලුම් අපනයනයේදී අමරිකාව විසින් අප රටට GSP සහහනයන්ද ලබා දී තිබේ.

ඒ අනුව බලන කල අමර්කානු ලංකා වෙලද ශේෂයේ අවාසියක් ද අමරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අධි ශක්තිමත් බවක්ද පෙන්වන්නේය.

එසේ නම් මොරලාගෝ එකගතාවයට අනුව ලංකාවේ අපනයන් සදහා GSP සහන ඉවත් කල යුතුව තිබේ.

ඒ හැරෙන්නට ඇගලුම් යනු අමර්කාවේ දේශීයව නිශ්පාදනය කල හැකි භාන්ඩයක් නිසා අතිර්ඛ තීරු බද්දක් පැනවීමේ අවධානමක් ද පවතී.

එසේ වන්නේ නම් අපගේ ඩෝලර් බිලියන 12 ක් වන මුලු අපනයන ආදායමෙන් ආසන්න වශයෙන් 1/3 ප්‍රමානයක් අහිමිවීමේ අවධානමක් මතුව පවතින්නේය.

එවැනි පසුබිමක 2028 දී නැවත නය ගෙවන්නට වන්නේ කෙසේද යන්න ගැන බරපතලව සිතා බලන්නට කාලය පැමින තිබේ.

අප සිතා බැලිය යුත්තේ අපට අමරිකාවේ සලකා බැලීමට අඩුම තරමින් කොල පාට රාජ්‍යයක් වීම කෙසේ වෙතත් කහ පාට රාජ්‍යයක් බවට පත්වීමේ සම්භාවිතාවක් පවතින්නේද යන්න පිලිබදවය.

එකී අවස්තාව තිබෙන්නේ ආර්ථික සාධකය තුල නොව ඉන්දියානු සාධකය හා භුදේශපාලනික සාධකය කලමනාකරනය තුල බව අපගේ විශ්වාසයයි.

එම නිසා අපට ඇගලුම් අපනයනය තවදුරටත් පවත්වා ගැනීමට නම් අමරිකාව මීට පෙර ඉල්ලා සිටි මිලිටරි ගිවිසුම් වලට හොදින් හෝ නරකින් එකගවීමට සිදුවීමේ සම්භාවිතාව ඉහලය.

අපට අමරිකානු මුලෝපායන් පරාජය කිරීම සදහා චීනය සමග එක්වීම අමරිකාවේ රතු කලාපයට එක්වීමකි. එහි ප්‍රතිපල කුමක්දැයි සිතා ගන්නටද නොහැකි වන්නකි.

ඉදිරියේ පවතින එකම ධනාත්මක සාධකය ඉන්දියාව පමනකි.

ඉන්දියාව පසමිතුරකු නොකොට ඉදිරියට යාම මේ වකවානුවේ අපට ඇති එකම ප්‍රඤාගෝචර මාර්ග සිතියම වන්නේය.

එම නිසා අදානි ගැන නැවත සිතා බැලීම මේ රජයට පැවරෙන වගකීමකි.

ශිරාල් ලක්තිලක

ශිරාල් ලක්තිලක මහතාගේ

ෆේස්බුක් පිටුවෙනි.

Social Sharing
අවකාශය නවතම