බටලන්ද කොමිසමේ නිර්දේශ හරහා රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කල හැකිද?

batalanda commission report

මෙම ලියවිල්ලේ අරමුන බටලන්ද කොමිසමේ නිර්දේශ පුස්සක් කොට අතීතයේදී අප සමාජය තුල සිදුවු ක්‍රෑර හා අමානුෂික හැසිරීම යටපත් කිරීමට නොවේ.

දැනට බටලන්ද කොමිසම හරහා මතුවන සාකච්ඡාව මගින් සිහිපත් කරන්නේ අප සමාජය තුල දේශපාලන බලය අරබයා අප විසින් දිගින් දිගටම පවත්වා ගෙන එමින් සිටින ක්‍රෑරත්වයයි.

සමාජයක් ලෙස මෙම සමාජ උවදුර අප තුලින්ම පරාජය කල යුතුව තිබේ.

නමුත් අදටත් විවිද මානයන්ගෙන් පෙන්නුම් කරන්නේ අප සමාජයක් ලෙස විසම්මුතිය හසුරුවන්නට නොහැකි සමාජයක් වන බවය.

අපට අපගේ විරුද්ධවාදියා සැමවිටම පෙනෙන්නෙ විනාශ කල යුතු සතුරෙකු ලෙසටය. ඒ බව හොදාකාරව පෙන්වන තැනක් වන්නේ බුකියයි.

රටේ පවතින දේශපාලන ක්‍රෑරත්වය තේරුම් ගැනීමට බටලන්ද කොමිසම් වාර්ථාව අවශ්‍ය නැත.

87-89 යුගයේදී ද ඊට පෙර යුගයන්හිද අප දේශපාලන ක්‍රෑරත්වය මනා කොට පෙන්නුම් කොට තිබේ.

ජවිපෙ කැරැල්ල අරබයා රාජ්‍යද , රාජ්‍යට හා විසම්මුතියට එරෙහිව ජවිපෙයද එම ක්‍රෑරත්වය ලෙසටම පෙන්වා තිබේ.

එම නිසා එම ක්‍රෑරත්වයේ ආරම්බය සොයා එක් පාර්ශවයක් නිර්දෝෂී යයි කීම නිශ්පලය.

30 අව්රුදු යුද්ධයේදී ශ්‍රී ලංකා රාජ්‍යයද එල්ටීටියද එක හා සමානව තම ක්‍රෑරත්වය පෙන්නුම් කොට තිබේ.

නමුත් සමාජය බොහෝ විට හැසිරෙන්නේ තමන් එවන් සමාජයක් පිලිබදව නොදන්නා ගානටය.

එසේ නොඅසු කන්ව සිටින සමාජයක් හිටි අඩියේම ( මෙහෙදි හසන් නිසා) බටලන්ද කොමිසම හරහා දේශපාලන ක්‍රෑරත්වය පිලිබදව කථිකාවක් අරඹා තිබේ.

නමුත් එම කතාව ආංශිකය. අසම්පුරනය. එය අරඹා ඇත්තේ රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට පමනය.

ඒ අනුව එය දේශපාලනිකය. රජය හදන්නේ පුංචි චන්දයට බටලන්ද දඩමීමා කර ගැනීමටය.

පෙර පරිදිම ඒ තුල රජයේ දේශපාලනික වංචනිකත්වයද ඉස්මතුවී පෙනේ.

බලන්ද කථිකාව අරබයා රජය ගත් පියවර වුයේ බටලන්ද කොමිසන් වාර්ථාව කැබිනට්ටුවේ සාකච්ඡාවවට ගත් බව කියමින් සිකුරාදා වන විට එම වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

රජයේ මෙම ක්‍රියාමාර්ගය පුර්න ලෙසම සමාජය නොමග යවන සුළු ක්‍රියාවකි.

නමුත් මාලිමාවුන් ප්‍රමුඛ සමාජය සිතන්නේ දැන් වැඩේ හරි බවය. රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කිරීමේ පලමු පියවර අරඹා ඇති බවය.

එය සමාජයේ political anxiety වලින් ප්‍රයෝජනයට ගැනීමකි. ( රට බංකොලොත්විමෙන් ප්‍රයොජන ගත්තේද මෙලෙසටය)

නමුත් සැබෑ සත්‍ය වන්නේ දැන් කතා කරනු ලබන සමස්ත ක්‍රියාමාර්ගයම නීතිය ඉදිරියේ පුස්සක් බවය.

රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කිරීමට නම් ඊට අදාල නීතිය වන්නේ 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති කොමිශන් විමර්ශන සභා පනතයි(සංශෝදිත)

බටලන්ද කොමිසම සිය වාර්ථාව සකස් කොට ඇතතේ ඉහතකී පනත යටතේ නොව  1948 අංක 17 දරන පරීක්ෂන කොමිශන් සභා පනතේ (සංශෝදිත) දෙවන වගන්තිය යටතේය.

එනයින් තේරුම් ගත යුත්තේ බටලන්ද වාර්ථාව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුයේ වුවද ඒ හරහා රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නට හැකි වන්නේ නැති බවය.

එසේ කරන්නට නම් අනුර ජනාධිපති වරයාට විශේෂ ජනාධිපති කොමිශන් සභා පනත යටතේ නැවතත් නව කොමසාරිස් වරුන් පත් කරන්නට සිදු වන්නේය.

එසේ පත් කරන කොමසාරිස්වරුන් සාක්ෂි ලබා ගෙන පනතේ 9 වගන්තිය යටතේ ප්‍රජා අශක්නුතාවයට යටත් කිරීම සදහා නිර්දේශ නිකුත් කල යුතුව තිබේ.

එම නිර්දේශ ඉන් පසුව ජනාධිපතිවරයා විසින් ගැසට් ගත කල යුතුය.

ඉන් පසුව එම ගැසට් ගත නිර්දේශ කැබිනට්ටුවට යොමු කොට කැබිනට්ටුව මගින් අනුමත කල යුතුව තිබේ.

පාර්ලිමේන්තුව යෝජනා සම්මත කල යුත්තේ එම කැබිනට් තීරනයයි.

එම යෝජනාව ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ 81 වන වගන්තිය යටතේ තුනෙන් දෙකක බහුතරයක් මගින් සම්මත කිරීම හා කතානායක වරයා විසින් එම යෝජනාවට අත්සන් තැබීමෙන් අදාල පුද්ගලයාගේ ප්‍රජා අයිතිය අහිමිවන්නේය.

සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය JR අහිමි කරනු ලැබුයේ එලෙසටය.

සිරිමා මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ සිදුවු නෛතික සංවාදය ගැන දැනගැනීමෙ උනන්දුවක් තිබෙ නම් Bandaranayake Vs Weerarathne 1978-79(2) SLR 412 සහ 1981(1) SLR 10 නඩු තීන්දු දෙක පරිශීලනය කල හැකිය.

ඉහත තත්වයන් අනුව පෙනී යන්නේ ඇල්ජසීරා සාකච්ඡාවේදී මෙහෙදි හසන් බටලන්ද අරබයා යොමු කල ප්‍රශ්නයට රනිල් ගේ ප්‍රතිචාරය සාර්ථක බවය. නමුත් රනිල් දුන් පිලිතුර අසම්පුර්නය.

රනිල් කිවේ වාර්ථාව පාර්ලිමේන්තුවේ සම්මත නොකල බවය.

බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලද නොකලද ඒ තුලින් ප්‍රතිපලයක් බිහි කරන්නේ නැත.

දැන් වර්ථමාන රජය නැවතත් කරන්නේ රනිල් දුන් පිලිතුර (ලනුව) හරහා බටලන්ද පරීක්ෂන කොමිසම් සභා වාර්ථාව පාර්ලිමෙන්තු ගත කිරීමය.

එය නිතිය ඉදිරියේ නිශ්පල ක්‍රියාවකි.

නමුත් බටලන්ද වාර්ථාවෙන් මතුවන කරුනු පුස්සක් නොවේ.

නමුත් එම වාර්ථාවට අනුවද රනිල්ට චෝදනා කරන්නෙ රනිල් සහ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ වධකාගාර පැවැත්වීමට අනියමින් සහාය දුන් බව පමනය.

සැබවින්ම බටලන්ද වාර්ථාව අරබයා සිදුවු ක්‍රෑර ක්‍රියා ( 87-89 දෙපසින්ම සිදුවු දේ මෙන්ම 30 අව්රුදු යුද සමයේ දෙපසින්ම සිදුවු ) පිලිබදව අවංක සමාජ සංවාදයක් අවශ්‍යවී තිබේ.

ඒ අපතුල පවතින ජානගත ක්‍රෑරත්වය පිලිබදව අදහසක් ඇති කරගැනීමට හා අනාගතයේදී එවැන්නක් නැවත ඇතිවීම වලකා ගැනීමටය.

එම නිසා දැන් වත් රනිල්ව දඩුකදේ ගසා එවැනි ගැඹුරු සාකච්ඡාවක් ඇතිවීම වැලක්විමෙන් බැහැර විම ප්‍රඤාගොචරය.

රනිල්ගේ ප්‍රජා අයිතිය බටලන්ද හරහා නැති වන්නේ නැත.

-ශිරාල් ලක්තිලක-

Social Sharing
අවකාශය නවතම