බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා.
අමාත්‍යවරයා පවසා සිටියේ, ඊයේ (10) කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ බවයි.
“අපේ රටේ දශක ගණනාවක් තිස්සේ, දකුනේ උතුරේ කඳුකරයේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම් මානව හිමිකම් කඩකිරීම් ඕන තරම් වෙලා තියෙනවා, ඒ ගැන අපි දන්නවා. මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයයි..අපි ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා දීලා ජනතාවගේ විශ්වාසය දිනාගෙන බලයට පත්වුණු ආණ්ඩුවක්.
බටලන්ද කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළා. ඒ අනුව කැබිනට් මණ්ඩලය තීරණය කළා මේ සතිය ඇතුළතදී බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ගන්න තීරණ සම්බන්ධයෙන් දැනුවත් කරන්නම් ඉන් අනතුරුව.”