සේයා දැරිය සිද්ධිය හා අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධිය – පිලිප් දිසානයක

අනුරාධපුර ශික්ෂණ රොහලේ පුහුණු වෙමින් සිටි විශේෂඥ වෛද්‍යවරියක් තම සේවා මුරය අවසන්කර රෝහල් භුමියේම පිහිටා ඇති තම නේවාසිකාගාරය වෙත යමින් සිටිය දී ඇය බියගන්වා කරන ලද ලිංගික අපයෝජයනක් පිළිබදව තොරතුරු මාධ්‍ය ඔස්සේ ඊයේ වාර්තා විය.

මේ සම්බන්ධව මුළු රටේම අවධානය යොමුව ඇති අතර, මේ වන විට මෙම සිද්ධියට විරෝධය පාමින් වෛද්‍යවරු ඇතුළු රොහල් කාර්ය මණ්ඩල සංඛේත වැඩවර්ජනයක් ද දියත් කර තිබුනි. කෙසේ හෝ මෙම සිද්ධිය අදාල බවට සැක කෙරෙන පුද්ගලයෙකු අද (12) දහවල් ගල්නෑව ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනි. එමෙන්ම, මේ වන විට අදාල පුද්ගලයාගේ විවිධාකාරයේ ඡායාරෑප බොහෝ මාධ්‍ය හරහා හුවමාරුවෙමින් තිබේ.

සමාජ මාධ්‍යයන් හි හුවමාරුවන මෙම ඡායාරෑප සමග පළවන කොමෙන්ටු පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ මෙසේ අදහස් දක්වන වැඩිදෙනෙක් අදාල සැකකරු මේ වන විටත් වරදකරු කරමින් ඔහුට විවිධාකාරයේ දඩුවම් ද නියමකර ඇති බවයි. මේ අය අතරින් වැඩි දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ අදාල සැකකරු වහාම ආයුධ පෙන්වීම සදහා ගෙන යා යුතු බවයි. ඉන් අනියමින් ප්‍රකාශ වෙන්නේ අදාල සැකකරු නීති විරෝධී ලෙස මරා දැමිය යුතු බවයි.

මේ අතර, අපරාධ වින්දිත වෛද්‍යවරියගේ තොරතුරු මාධ්‍ය වෙත මුදා නොහරින ලෙස සමාජ මාධ්‍ය ඇතුළු සියළු මාධ්‍ය වෙතින් බොහෝ දෙනා ඉල්ලීම් කර තිබුනි. එය වැදගත් ප්‍රවනතාවයක් වන අතර, තවමත් ඇයගේ තොරතුරු මධ්‍යවල පළ නොවී තිබීම අගය කළ යුතුය.

මේ ආකාරයේම රටේ අවධානය දිනාගත් සිද්ධියක් 2015 වසරේ සැප්තැම්බර් 12 වන දින සිදු විය. ඒ සේයා සෙව්වන්දි නම් සිව්හැවිරිදි දැරියක් බරපතල ලිංගික අපයෝජනයකින් පසුව ඝාතණය කිරීමේ සිද්දියයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙකු කොටදෙනියාව පොලිසිය විසින් වරින්වර අත්අඩංගුවට ගෙන තිබුනි. ඒ අතර, පළමුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතරට 17 හැවිරිදි පාසැල් සිසුවෙක් ද විය.

අද මෙන්ම ඒ දිනවල මේ සිද්ධිය මාධ්‍යයන් හි ප්‍රමුඛ පුවත විය. එමෙන්ම, අල්ලාගත් මේ පළමු සැකකරුවන් දෙදෙනාට වහා දඩුවම් ලබා දිය යුතු බවට මතයක් මාධ්‍ය මගින් ජන ගත කර තිබුනි. මෙම සිද්ධියෙන් සියළුම දෙනා විශාල කම්පනයටකට පත්වී සිටි නිසා වැඩිදෙනෙකුගේ මතය වූයේ නඩු විභාග පවත්වමින් කාලය නාස්ති නොකර අදාල සැකකරුවන්ට වහා දඩුවම් ලබා දිය යුතු බවයි.

මේ අතර පොලීසිය විසින් 3වන හා 4වන සැකකරු ලෙස එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මින් 4වන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ කොන්ඩයා නමින් හැදින්වෙන තැනැත්තෙකි. ඔහු අපරාධ කිහිපයකට සම්බන්ධව බවත් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක් පවතින බවත් පොලීසිය විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනි.

පොලීසියේ මෙම ප්‍රකාශයත් සමගම මුළු අවධානය කොන්ඩයා වෙත මාරු විය. ඒ හේතුවෙන් මෙම සිද්ධිය සම්බන්ධ මීට පෙර අත්අඩංගුවට ගත් පලමු හා දෙවන සැකකරු අතහැර කොණඩයා ගැන විස්තර වලින් ප්‍රවෘත්ති නිර්මාණය විය. ඒ අතරට මේ අපරාධයට කොන්ඩයා සම්බන්ධ කරමින් විවිධ මාධ්‍ය වාර්තා ඉදිරිපත් විය. ඒ අනුව පළමු හා දෙවන සැකකරු සම්බන්ධව තිබූ සමාජ මතය හතරවන සැක කරුවෙත මාරු විය.

කෙසේ හෝ මේ සම්බන්ධව පැවති නඩු විභාගයේ දී ඉදිරිපත් වූ DNA වාර්තා මගින් හෙලිවුයේ කොන්ඩයා නොව ඔහුගේ සොයුරා වන තුන්වන සැකකරු මේ අපරාධය සිදු කර ඇති බවයි. අවසනයේ තුන්වන සැකකරුට මරණ දඩුවම හිමි විය. නමුත්, ඒ වන විටත් මාධ්‍ය විසින් මේ සිද්ධිය සම්බන්ධව තවත් තිදෙනෙකුට දඩුවම් ලබා දී තිබුනි.

සේයාගේ සිද්ධියෙන් නැවත වරක් අපට කියා දුන්නේ මාධ්‍ය හෝ සමාජ මධ්‍ය ඔස්තාර්ලවත්, පොලිසිය විසින් වරින්වර මාධ්‍ය වෙත ඉදිරිපත් කරන වාර්තා අනුව විවිධ නිගමනයන්ට නොපැමිණ මෙවැනි සිද්ධීන් සම්බන්ධව අවබෝධයෙන් මැදිහත් විය යුතු බවයි. මෙවැනි සිද්ධීන් සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, නඩු විභාගය කිරීම බලය අධිකරණයටත් භාර දී ඒ පිළිබදව විමසිලිමත්ව සිටීම වගකිවයුතු පුරවැසියෙකුගේ සැමගේ වගකීම බවත්ය.

මීගමුව මහාධිකරණයේ විභාග වූ සේයා දැරියගේ නඩුව වසරකටත් වඩා අඩු කාලයක් තුළ අවසන් වුවත්, ලංකාවේ අධිකරණවල පවතින සමහර ස්ත්‍රී දූෂණ නඩු විභාග අවසන් වීමට අවුරුදු දහයකටත් වැඩි කාලයක් ගත වේ. මැදපෙරදිග රැකියාවකට යාම සදහා පැමිණ නිලුකා ක්‍රිෂාන්ති නැමති එක්දරු මව කටුනායක ගුවන්තොටුපලේ දී දූෂනයට පත්වීම සම්බන්ධ නඩුව මීගමුව මහාධිකරණයේ ම පැවති නමුත්, එම නඩු විභාගය අවසන් වීමට අවුරුදු දහයටකට වැඩි කාලයක් ගත විය.

ඒ ආකාරයෙන් මෙවැනි නඩු විභාග අවසන් වීමට දශකකටය වැඩි කාලයක් ගැනීම අපරාධ කරුවන් බෝ කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. එමෙන්ම, බොහෝ ස්ත්‍රී දූෂණ නඩු අධිකරණය ඉදිරියේ ඔප්පුකර ගැනීමට නොහැකි වීම නිසා බොහෝ වින්දිතයින් අධිකරණයන් ඉදිරියේ නැවත නැවතත් දූෂණයට ලක් වේ. මෙවැනි හේතු මත සමහර මෙවැනි අපරාධ අධිකරණය ඉදිරියට නොපැමිණෙන අවස්ථාවද නැතිවා නොවේ.

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධිය හරහා මේ කරණා ගැන අප බරපතලව අවධානය යොමු කළ යුතුව ඇත. මේ ක්‍රමයේ පැහැදිලි පරිවර්තනයක් රටට අවශ්‍යව තිබේ. මෙවැනි සිද්ධි සම්බන්ධව නවීන තාක්ෂණය සමග අපරාධ පරීක්ෂණ ක්‍රමයේ පරිවර්තනයක් සහ මේ සම්බන්ධ නඩු කඩිනමින් අවසන් කිරීම සදහා අධිකරණ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමත්, කාන්තාවන් හා ළමුන්ගේ ආරක්ෂාව පිළිබදව රජයේ මෙන්ම සමාජයේ ද මීට වඩා වැඩි අවධානයක් ලබාදීමත් අද අවශ්‍යව තිබේ.

 

Social Sharing
අවකාශය නවතම