ශ්‍රී ලංකාව ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉතා අඩු රටක් බව දත්ත මගින් පෙන්වා දෙනවා.
මොකක්ද මේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය? කොහොමද ඒක ගණනය කරන්නෙ?
ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ගණනය කරන සූත්‍රය මෙසේයි:
වැඩ කළ හැකි වයසේ කාන්තාවන් සංඛ්‍යාව ශ්‍රම බලකායේ සිටින කාන්තාවන් සංඛ්‍යාව රටේ වැඩ කළ හැකි වයසේ සිටින සමස්ත ජනගහණයෙන් බෙදා 100න් වැඩි කළ විට ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් ලෙස ලැබෙනවා.
ශ්‍රී ලංකාවේ වැඩ කළ හැකි වයස ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 15 සිට 60 දක්වා කාලයයි.
මෙම ගණනය කිරීම අනුව, ලංකාවේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය පසුගිය දශකයක පමණ කාලය තුළ 30-35% අතර වුණා. ඒ අනුව, ශ්‍රම බලකායේ සිටින්නේ වැඩ කළ හැකි වයසේ කාන්තාවන්ගෙන් තුනෙන් එකක් පමණයි. දශකයක පමණ කාලයක සිට මෙය වෙනස් වන්නේ නැහැ.
පිරිමින් සම්බන්ධයෙන් තත්වය වෙනස්. වැඩ කළ හැකි වයසේ පිරිමින්ගෙන් හතරෙන් තුනක් පමණ ශ්‍රම බලකායේ සිටිනවා.
ශ්‍රී ලංකාව ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය අඩු රටවල් අතරින් එකක්. දකුණු ආසියාවේ සාමාන්‍යය ගත්තාම 35%ක් පමණ වෙනවා. 2013 ජන සංගණනයේ දත්ත අනුව, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 34.1%ක්. අසල්වැසි බංග්ලාදේශය හා මාලදිවයිනත් වේගවත් වර්ධනයක් අත්පත් කරගෙන අප පසුකරගෙන ගොස් තිබෙනවා. දකුණු ආසියාවේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය පැත්තෙන් අපට පිටුපසින් සිටින්නේ පකිස්තානය හා ඇෆ්ගනිස්ථානය පමණයි. නේපාලය පවා අප පසු කර බොහෝ දුර ගිහින්.
වැඩ කළ හැකි වයසේ කාන්තාවන් ශ්‍රම බලකාය වෙත ආකර්ශනය කරගැනීම ශ්‍රී ලංකාවට සංවර්ධනය වීම සඳහා තිබෙන ප්‍රධාන මාර්ගයක්. එහෙම ආකර්ශනය කරගන්නට බැරි වෙලා තිබෙන්නේ ඇයි?
මෙයට බලපාන සංස්කෘතික කාරණාත් තිබෙනවා. කාන්තාවන් කය වෙහෙසා කරන වැඩවලට සහ විද්‍යාව, තාක්ෂණය හා ඉංජිනේරු ක්ෂේත්‍රවලට දක්ෂ නැතැයි ද යෝග්‍ය නැතැයි ද සමාජ සම්මතයක් තිබෙනවා. මෙය මුසාවක්. මේ ක්ෂේත්‍රවල සාර්ථක වූ ශ්‍රී ලාංකික කාන්තාවන් ගැන උදාහරණ බොහෝයි. කාන්තාවන්ට මෙම ක්ෂේත්‍රවල බොහෝ අවස්ථා තිබෙනවා.
වැඩ කළ හැකි වයසෙන් සැලකිය යුතු කාලයක් දරුවන් ප්‍රසූත කළ හැකි වයස ලෙසත් සැලකිය හැකියි. වැඩ කරන කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු ලබාදෙන්නට සිදුවීම නිසා සේවායෝජකයන් කාන්තාවන්ට රැකියා ලබාදෙන්නට මැලිකමක් දක්වනවා.
මේ අතර, සංස්කෘතික හේතු නිසා ළමයින්, රෝගීන්, වැඩිහිටියන් සඳහා සත්කාර වගකීම් බොහෝ විට පැවරෙන්නේ කාන්තාවන්ටයි. එය ඔවුන් රැකියාවලින් හෙවත් ශ්‍රම බලකායෙන් ඈත් කිරීමට හේතු වෙනවා. ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම් වැනි ගෙදරදොර කටයුතු කාන්තාවන්ට පැවරුණත්, ඔවුන්ට ඒ ශ්‍රමය වෙනුවෙන් වැටුප් නොලැබෙන නිසා ඔවුන් ශ්‍රම බලකායේ සිටින අය ලෙස සැලකෙන්නේ නැහැ.
තත්වයන් වෙනස් කිරීමට කළ හැක්කේ කුමක්ද?
මෙම තත්වය වෙනස් කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගණනාවක් තිබේ.
- කාන්තාවන් විද්‍යාව, තාක්ෂණය හා ඉංජිනේරු ක්ෂේත්‍රවල අධ්‍යාපනයට හා රැකියාවලට යොමුවීම දිරිගැන්වීම
- ප්‍රසූත නිවාඩු සඳහා පිරිවැය සම්පූර්ණයෙන්ම සේවායෝජකයා වෙත නොපවරා, රජය එයට උරදීම
- ගෙදරදොර කටයුතු හා සත්කාරක කටයුතු සම්බන්ධ වගකීම පවුලේ සාමාජිකයන් අතර බෙදාහදාගැනීම
උදා වී තිබෙන මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට තත්වයන් වෙනස් කිරීම සඳහා භාවිතා කළ හැකියි. මෙවර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 10%කට ආසන්න අගයක් දක්වා වැඩි වී තිබීමත් මේ සඳහා වාසියක්.
ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය වර්ධනය කරගත හැකි නම් සංවර්ධනය පැත්තෙන් ශ්‍රී ලංකාවට ඉදිරි පිම්මක් පැනිය හැකි වේවි.