මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දක්වන ප්‍රතිචාරයට තීරණාත්මක සාධකයක් – ජෙහාන් පෙරේරා

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයන් ශ්‍රී ලංකාව සඳහා නිරන්තරයෙන් මතභේදාත්මක කේන්ද්‍රස්ථානයක් වී ඇත. තිස් වසරක අභ්‍යන්තර යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට, යුද්ධය අතරතුර සහ ඉන් පසුව සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම අරමුණු කරගත් බහුවිධ යෝජනාවලට රට මුහුණදී ඇත. මෙම යෝජනාවලට අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආණ්ඩු දැඩි විරෝධයක් එල්ල කර ඇති අතර, ඔවුන් UNHRC හි ද්විත්ව ස්ථාවරයන් සහ රටේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර මැදිහත්වීම් සම්බන්ධයෙන් චෝදනා කර ඇත. ජාතිකවාදී දේශපාලන කණ්ඩායම් බොහෝ විට UNHRC හි ක්‍රියාවන් ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාතික ප්‍රජාවට සහ වාර්ගික සුළුතරයන්ට එරෙහිව කෝපය ඇවිස්සීම සඳහා පෙළගැස්වීමේ ලක්ෂ්‍යයක් ලෙස භාවිත කර ඇති අතර, එමඟින් රට තුළ බෙදීම් තවදුරටත් ගැඹුරු කර ඇත.

කෙසේවෙතත්, දැනට පැවැත්වෙන UNHRC සැසිවාරවලදී ශ්‍රී ලංකාවේ ප්‍රවේශයේ කැපීපෙනෙන වෙනසක් දක්නට ලැබේ. රජයේ නියෝජිතයන් UNHRC නියෝජිතයන් සමඟ විවෘතව ගැටුම් ඇති කරගත් පෙර වසරවල මෙන් නොව, රජයේ නියෝජිතයෝ අන්තර්ජාතික මානව හිමිකම් සම්මතයන් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරමින් දේශන පැවැත්වූහ. පශ්චාත් යුධ සමයේ ජාතික සංහිඳියාව පිළිබඳ ගැටළු විසඳීම සඳහා ව්‍යවස්ථාමය රාමුව තුළ ස්වාධීන සහ විශ්වසනීය දේශීය යාන්ත්‍රණ සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම විදේශ අමාත්‍ය විජිත හේරත් නැවත තහවුරු කළේය. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR) සහ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) වැනි ආයතන ශක්තිමත් කරන බව ඔහු අවධාරණය කළේය.

විදේශ අමාත්‍ය විජිත් හේරත් එහිදී මෙසේ ද පැවැසීය. “ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් රජය, ජාතිය, ආගම, පංතිය සහ කුලය මත පදනම් වූ කිසිදු භේදයකින් හෝ වෙනස්කම් කිරීමකින් තොරව තම ජනතාවගේ විවිධත්වයට ගරුකරන සහ එය සමරන එක්සත් ශ්‍රී ලංකාවක් කරා ගමන් කිරීමට කටයුතු කිරීමට දැඩි ලෙස හා අවංකව කැපවී සිටී. අපේ රට තුළ භේදකාරී ජාතිවාදය හෝ ආගමික අන්තවාදය නැවත ඇතිවීමට අපි ඉඩ නොදෙමු. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳ මූලික හා දිගුකාලීන මූලධර්මවලට සම්පූර්ණයෙන්ම ගරුකරනු ලබන අතර, ඒවා ආරක්ෂා කරමින්, සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරනු ඇත. සෑම පුරවැසියකුටම තම ආගම ඇදහීමට, තම භාෂාව කතාකිරීමට සහ තම සංස්කෘතික වටිනාකම් අනුව බියෙන් හෝ වෙනස්කම් කිරීමකින් තොරව ජීවත්වීමට නිදහස තිබිය යුතුය. තම විශ්වාසයන්, සංස්කෘතිය හෝ දේශපාලන බැඳියාවන් නිසා ඔවුන් අනවශ්‍ය පීඩනයකට හෝ අගතියකට ලක්වනු ඇතැයි කිසිවකුට හැඟිය යුතු නැත.”

නවාස් කොමිසම

කෙසේවෙතත්, එම කතාව ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙනදුන්නද, එමගින් බොහෝදුරට, රටේ උතුර හා නැගෙනහිර ප්‍රදේශවල යුද අපරාධ, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ හමුදාකරණය පිළිබඳ නිශ්චිත චෝදනා ආමන්ත්‍රණය කිරීමට වඩා, මානව හිමිකම් සඳහා පුළුල් කැපවීම් කෙරෙහි අවධානය යොමුකර ඇති බව පෙනේ. උදාහරණයක් ලෙස, 2014 දී සම්මත කරන ලද UNHRC 25/1 දරන යෝජනාව, යුද්ධයේ අවසාන අදියරේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට (OHCHR) නියෝග කළේය. වඩාත් මෑතකදී, 2021 දී, අනාගත නඩු පැවරීම් සඳහා යුද අපරාධ පිළිබඳ සාක්ෂි එකතු කර සංරක්ෂණය කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට වරමක් ලබාදුන් යෝජනාවක් සම්මත කරන ලදී. අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආණ්ඩු මෙම යෝජනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ සහ අසාධාරණ ලෙස රටේ හමුදා සහ දේශපාලන නායකත්වය ඉලක්ක කරගත් ඒවා ලෙස සළකා තිබිණි.
මෙම විවේචන නොතකා, අන්තර්ජාතික ප්‍රජාව වගවීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව බලපෑම් කර ඇත.

2024 ඔක්තෝම්බර් මාසයේදී OHCHR විසින් ශ්‍රී ලංකාවේ වගවීමේ ව්‍යාපෘතිය දීර්ඝ කිරීම මගින්, අතීතයේ සිදු වූ බවට චෝදනා එල්ලවූ කරුණුවල සත්‍යතාව තහවුරු කරගැනීමට සහ යුද සමයේදී යුද අපරාධ හා දරුණු මානව හිමිකම් උල්ලංඝනයන් සිදුකළ අයට එරෙහිව පියවර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලෙස කටයුතු කර නොමැති බවට වන අන්තර්ජාතික මතය ඉස්මතු විය. මෙයට ප්‍රතිචාර වශයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් ජිනීවාහිදී පැවසුවේ “සියලු ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා, එය ක්‍රියාත්මක කිරීමට පෙර, සත්‍යය සහ සංහිඳියා රාමුවක ස්වභාවය පිළිබඳව, ඒ හා සම්බන්ධවන කොටස්කරුවන් සමඟ තවදුරටත් සාකච්ඡා කරනු ඇති” බවයි.

සත්‍යය සහ සංහිඳියා කොමිසමක විසඳුම රට තුළ මුල් බැසගත් සහ පරිණාමය වූ සංකල්පයකි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්ගේ සභාපතිත්වයෙන් යුත්, මානව හිමිකම් පිළිබඳ පෙර විමර්ශන කොමිසම්වල සොයාගැනීම් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිසමේ නිර්දේශ මෙය පැහැදිලි කරයි. පෙර ජනාධිපති විමර්ශන කොමිසම්වල සොයාගැනීම් ඇගැයීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම තක්සේරු කිරීමේ දැවැන්ත කාර්යයක් මෙම කොමිසමට පැවරී තිබිණි. 2022 සහ 2023 දී ප්‍රකාශයට පත්කරන ලද කොමිසමේ අතුරු වාර්තා සහ 2024 ජනවාරි මාසයේදී ඉදිරිපත් කරන ලද එහි අවසන් වාර්තාව මගින්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් භූ දර්ශනය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සපයයි. අතීත අසාධාරණකම් විධිමත් ලෙස විසඳීමට, වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට සහ අනාගත ගැටුම් වැළැක්වීමට ශ්‍රී ලංකාව සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කළ යුතු බවට වාර්තාව පැහැදිලි පිළිතුරක් සපයා ඇත.

අවිශ්වසනීයභාවය ජයගැනීම

නවාස් කොමිසමේ ප්‍රධාන නිර්දේශය වන්නේ සත්‍යය සහ සංහිඳියා කොමිසමක් පිහිටුවීමයි. වාර්තාවේ 1043 ඡේදයේ දක්වා ඇති පරිදි: “නිසැකවම, සත්‍යය සහ සංහිඳියා කොමිසමට බරපතල මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ ඓතිහාසික වාර්තාවක් සැපැයිය හැකි අතර, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා නීතියේ සහ භාවිතයේ ආයතනික ප්‍රතිසංස්කරණවලට බලපෑම් කළ හැකිය. විවේචනාත්මකව, එමගින් බරපතල උල්ලංඝනයන් සඳහා වගවීම සහතික කිරීමට සහාය වන අතර, එය අනාගත උල්ලංඝනයන් වැළැක්වීම, නීතියට අනුකූල වීම ප්‍රවර්ධනය කිරීම සහ වින්දිතයන් සඳහා යුක්තිය සහ සහන ලබාදීමේ මාර්ග සැපයීම සඳහා මූලික වේ.” බලධාරීන්ට ඒ ඔස්සේ ඓතිහාසික මැදිහත්වීමක් සිදුකිරීමෙන්, සත්‍යය සහ සංහිඳියා කොමිසමට වැරදි තොරතුරු ඉවත්කිරීමට, වින්දිතයන්ගේ දුක් වේදනා පිළිගැනීමට සහ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා මාර්ගය නිර්මාණය කර දිය හැකිය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ බොහෝ විමර්ශන කොමිෂන් සභා ස්ථාපනය කර ඇති අතර, ඒ සෑම එකක්ම නිශ්චිත සිදුවීම් හෝ නොසන්සුන්තා පැවැති කාලපරිච්ඡේද විමර්ශනය කිරීමේ අරමුණින් පිහිටුවා තිබේ. නවාස් වාර්තාව ඒ සෑම එකක්ම ඉතා වෙහෙස මහන්සි වී පරීක්ෂා කර ඇත. එලෙස පරික්ෂාවට ලක්කෙරුණු කොමිෂන් සභා වාර්තා පහත පරිදි වේ. 1987 සිට 1990 දක්වා උල්ලංඝනයන් විමර්ශනය කළ නමුත් අකාලයේ නතර කරන ලද 1994 ජනාධිපති කොමිෂන් සභා තුන; පෙර විමර්ශන මත ගොඩනැගී 2002 දී අධිකරණ ක්‍රියාමාර්ග ඉල්ලා සිටිමින් වාර්තාවක් නිකුත් කළ 1998 සමස්ත ලංකා ජනාධිපති කොමිසම; 1983 කෝලාහල විමර්ශනය කළ 2001 ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ ජනාධිපති සත්‍ය කොමිසම (1981-84). 2004 දී මෙමගින් ඇතැම් වින්දිතයන්ට වන්දි ලැබුණද, අපරාධකරුවන්ට වගවීමක් නොතිබිණි; ත්‍රිකුණාමලයේ සිසුන් පස්දෙනා සහ ACF මානුෂීය සේවකයන් 17 දෙනා වැනි නඩු විමර්ශනය කළ නමුත් පසු විපරමක් නොමැති 2006 උදලාගම කොමිසම; 2002 සිට 2009 දක්වා සිදුවීම් සමාලෝචනය කර ක්‍රියාත්මක නොකළ බොහෝ නිර්දේශ ඉදිරිපත් කළ 2010 උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම (LLRC); යුද්ධයේ අවසන් වසරවලදී අතුරුදහන්වූවන් සහ සිවිල් වැසියන්ට සිදු වූ හානි පරීක්ෂා කර 2016 දී අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවීමට මඟ පෑදූ 2013 පරණගම කොමිසම.

මෙම කොමිෂන් සභා හරහා ඉස්මතුවන ප්‍රධාන තේමාව වන්නේ, වින්දිතයන් සහ බහුතරයක් පිඩාවට පත් ජනතාව අතර පැතිර යන කලකිරීමේ හැඟීමයි. ඒවා විස්තරාත්මකව පරීක්ෂා කළ නවාස් කොමිසම තියුණු ලෙස නිරීක්ෂණය කර මෙසේ පවසා ඇත. “අපේ දූපත් රාජ්‍යයට කොමිෂන් සභා රාශියක් තිබිණි. මෙම කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් බොහෝ සාක්ෂිකරුවන් පෙර කොමිෂන් සභා ඉදිරියට ගොස් කිසිවක් ලබාගැනීමට නොහැකිවීම ගැන ඔවුන්ගේ කලකිරීම විස්තර කළහ.” මෙම හැඟීම සත්‍යය සහ සංහිඳියා කොමිසමක තීරණාත්මක අවශ්‍යතාව ඉස්මතු කරයි. එමගින් විමර්ශනය කිරීම පමණක් නොව, එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහතික කරයි. එමඟින් සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයන් කෙරෙහි මහජන විශ්වාසය නැවත ඇති කරයි. නවාස් කොමිසම අභ්‍යන්තර යාන්ත්‍රණයක් වේ. ශ්‍රී ලංකා රජය විසින් සම්පූර්ණයෙන්ම ඊට අරමුදල් සපයන ලද සහ සහාය දක්වන ලද අතර, අනෙකුත් ජාතික කොමිෂන් සභා විසින් ද රැස්කරන ලද කරුණු ලේඛනගත කර විශ්ලේෂණය කරන ලදී. මෙමගින් විවිධ අවස්ථාවල ප්‍රකාශ වන අන්තර්ජාතික කුමන්ත්‍රණයක් පිළිබඳ ඕනෑම අදහසක් දුරුකරනු ඇත.

කඩිනම් ක්‍රියාමාර්ග

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී රජයේ මෑතකාලීන ප්‍රවේශය රාජ්‍යතාන්ත්‍රිකව ඊට සම්බන්ධවීමට ඇති කැමැත්ත ප්‍රදර්ශනය කරයි. කෙසේවෙතත්, එහි විශ්වසනීයත්වය වර්ධනය වීමට නම්, මෙම සම්බන්ධතාවට නිවැරදි ක්‍රියාමාර්ග මගින් සහාය විය යුතු අතර, ප්‍රධාන කොටස්කරුවන්ගේ කණ්ඩායම් ඇතුළත් කිරීම සඳහා එහි විෂයපථය වඩාත් පුළුල් විය යුතුය. රජය සාමාන්‍ය ප්‍රකාශවලින් ඔබ්බට ගොස් අන්තර්ජාතික ප්‍රජාව විසින් මතුකරන ලද ගැටළු විසඳීම සඳහා ස්ථාවර පියවර ගත යුතුය. එහිදී ප්‍රධාන පියවර අතරට, අවතැන් වූ ප්‍රජාවන්ට ඉඩම් ආපසු ලබාදීම ඇතුළත් විය හැකිය. උතුර සහ නැගෙනහිර පළාත්වල බොහෝ පිරිසක් හමුදාව විසින් අත්පත් කරගත් ඉඩම් හේතුවෙන් අවතැන්ව සිටිති. ජීවනෝපායන් යථාතත්ත්වයට පත්කිරීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය මෙම ඉඩම් ඒවායේ නියම හිමිකරුවන්ට ආපසු ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතුය.

දිගුකාලීන රැඳවියන් නිදහස් කිරීමෙන් මෙය තහවුරු කළ යුතුය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ සැළකිව යුතු පිරිසක් රඳවා තබා ඇති අතර, සමහරුන්ට විධිමත් චෝදනා ඉදිරිපත් කර නොමැත. නිසි ක්‍රියාදාමය සහතික කිරීම සහ විශ්වාසදායක සාක්ෂි නොමැති අය නිදහස් කිරීම මගින් යුක්තිය සහ මානව හිමිකම් සඳහා සැබෑ කැපවීමක් පෙන්නුම් කරයි. අවසාන වශයෙන්, රජය උතුර හා නැගෙනහිර හමුදාව යෙදවීම අඩුකිරීමට ද කටයුතු කළ යුතුය. සිවිල් ප්‍රදේශවලට අඛණ්ඩව හමුදාව යෙදවීම ආතතීන් අවුස්සන අතර, එමගින් ප්‍රතිසන්ධාන උත්සාහයන් අඩපණ කරයි. පළාත් පාලන ව්‍යුහයන් බලගැන්වීම සමඟ හමුදාකරණය ඉවත් කිරීම, මෙම කලාපවල ජීවිතය සාමාන්‍යකරණය කිරීම සඳහා තීරණාත්මක පියවරක් වනු ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ අනෙකුත් අන්තර්ජාතික හා ජාතික පාර්ශ්වකරුවන් සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගනිමින්  සැබෑ, සහතික කළ හැකි ක්‍රියාමාර්ග සමඟ රජය ඉදිරියට යායුතුය. ඉඩම් ප්‍රතිසංස්කරණය, රැඳවියන් නිදහස් කිරීම සහ හමුදාකරණය ඉවත් කිරීම වැනි මූලික ගැටළු විසඳීම අන්තර්ජාතික ප්‍රජාව සමඟ විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට පමණක් නොව, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහාද අභ්‍යන්තරිකව දායක වනු ඇත. සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර අව්‍යාජ ලෙස ක්‍රියාත්මක කරන ලද සත්‍යය සහ සංහිඳියා කොමිසමක් පිහිටුවීමෙන් පසුව මෙය අවශ්‍ය වේ.

සාමාන්‍යයෙන්, සමහර රජයේ ආයතනවලට, පාර්ශ්වකරුවන් යන පැහැදිලි කිරීමට, වින්දිතයන් සහ දිවි ගලවාගත් කණ්ඩායම් පමණක් සීමා වේ. පරමාදර්ශී පාර්ශවකරුවන් අතරට සත්‍යය සහ සංහිඳියා ක්‍රියාවලියක අවශ්‍යතාවය හඳුනාගන්නා ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන්, අධිකරණ සහ නීති ආයතන, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ ආගමික සහ ප්‍රජා නායකයන් ද ඇතුළත් විය යුතුය. නවාස් කොමිෂන් වාර්තාව මෙම වැදගත් මුලපිරීම සඳහා අඩිතාලම දමා ඇති අතර, එහි සාර්ථකත්වය සහතික කිරීම ඔවුන් සියලුදෙනාගේම වගකීමකි. අන්තර්ජාතික සම්මතයන් බිඳවැටීමෙන් වඩවඩාත් කරදරයට පත්වන ලෝකයක, හෘද සාක්ෂියේ හඬ වීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබේ. ලෝකයේ සුවකිරීමේ ක්‍රියාවලීන් සඳහා දායකවීමට ශ්‍රී ලංකාවට තම කොටස ඉටුකළ හැකිය.

Social Sharing
අවකාශය නවතම