‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්!

Child pregnancies in sri lanka

පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර බීබීසී සිංහල පුවත් සේවයට ලබා දුන් සාකච්ඡාවක් ඇසුරිනි.

ශ්‍රී ලංකාවේ පාසල් යා යුතු වයසේ පසුවන ගැහැනු ළමුන් අතරින් වාර්තා වී ඇති ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10ක කුඩා දැරියක් ද සිටින බව නිල දත්තවලට අනුව අනාවරණය විය.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දත්තවලට අනුව 2023 දී පාසල් යන වයසේ ගැහැනු ළමුන් 163 දෙනෙකු ගැබ්නි මව්වරුන් ලෙස වාර්තා වී ඇති අතර 2024 දී එය 213ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව 2024 වසරේ දී වාර්තා වූ ළමා මව්වරුන් අතර අඩුම වයසේ පසුවන දැරියගේ වයස අවුරුදු 10ක් බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ දත්තවල සඳහන් වේ.

කෙසේ නමුත් වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා වැඩි ළමා මව්වරුන් සංඛ්‍යාවක් මෙරට සිටිය හැකි බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර පැවසුවාය.

1989 නොවැම්බර් මස 20 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු සියලු අය දරුවන් ය.

මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඉ) වගන්තියට අනුව, ස්ත්‍රීය වයස අවු. 16ට අඩු තැනැත්තියක නම් “කැමැත්ත” යන්න අදාළ නොවන නිසා, එවැනි තැනැත්තියක සමග ලිංගික සංසර්ගයක් පැවැත්වීම “දූෂණයක්” ලෙස සැලකෙයි. මෙය “ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය” යි.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර
පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර

අඩු වයස් ප්‍රේම සම්බන්ධතා නිසා ඇති වූ සිදුවීම්

වර්තමානයේ වාර්තාවන ළමා ගැබ් ගැනීම් අතර බොහොමයක් ප්‍රේම සම්බන්ධතාවල ප්‍රතිඵලයක් ලෙස සිදුව ඇති සිද්ධි බව නියෝජ්‍ය පොලිස්පතිනිය සඳහන් කළා ය.

“අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ වයස අවුරුදු 16ට අඩු කැමැත්ත ඇතිව වෙන ඒවායේ ප්‍රවණතාවය. ඒවා දූෂණය කියලා නීතියේ නිර්වචනය හැටියට අයිති වෙනවා වුණාට, ඒවා බලහත්කාරයෙන් වුණ සිදුවීම් නෙමෙයි. යාළුවෙලා සම්බන්ධකම් මත කැමැත්ත දීලා වෙච්ච සිද්ධිවලින් තමයි ගැබ් ගැනීම් වාර්තා වෙන්නේ.”

එවැනි අවස්ථාවල දී බලහත්කාරයෙන් සිදුවූ අපයෝජනවල දී මෙන්ම ගැබ් ගැනීම වැළැක්වීමට අවස්ථාවක් නොමැති බව මෙන්ම බොහෝ විට එම පැමිණිලි ලැබෙන විට ගැබ් ගෙන මාස කිහිපයක් ගත ව ඇති බව ද ඇය පැවසුවාය.

“බලහත්කාරයෙන් වෙන අපයෝජනයක දී අනිවාර්යෙන් පොලිසියට පැමිණිල්ල එනවා. ඊට පස්සේ ඒ අවශ්‍ය දේවල් සිද්ධ වෙනවා, ගැබ් ගැනීම් වළක්වන්න වුණත්. මොකද පළවෙනි පැය 24, 48 ඇතුළත ආවොත්, අධිකරණය, වෛද්‍යවරු අවශ්‍ය දේවල් කරනවා. ගොඩක්ම එන්නේ සම්බන්ධතා පවත්වලා ඒවායෙන් වෙච්ච දේවල්වල දී ඒගොල්ලෝ ඒවා හංඟගෙන ඉඳලා කාලයක් යද්දි තමයි දැනගන්නේ.”

මෙරට නීතියට අනුව කුඩා දරුවෙක් වුව ද ගැබ් ගත් පසුව මවගේ ජීවිතයට හානිදායක නොවන අවස්ථාවක දී හැර ගර්භණී භාවය නිමා කිරීමට නීතියෙන් හැකියාවක් නොමැත.

වර්තමානයේ වාර්තා වන ඇතැම් සිදුවීම්වල දී ගැබ් ගැනීම්වලට වගකිව යුතු පිරිමි පාර්ශවය අවුරුදු 18ට අඩු ළමුන් වන බව ද රේණුකා ජයසුන්ද නියෝජ්‍ය පොලිස්පතිවරිය සඳහන් කළාය.

එමෙන්ම මෑත කාලයේ දත්තවලට අනුව මෙම සිදුවීම්වලට අවුරුදු 14 – 17 වයසේ පසුවන ගැහැනු දරුවන් ගොදුරු විම වැඩි වශයෙන් දක්නට ඇති බව ද කියා සිටියා ය.

ළමා මව්වරුන්ගේ දරුවන් මෙලොව එළිය දකින්නේ ‘වින්දිතයන්’ ලෙසින් කී නියෝජ්‍ය පොලිස්පතිනිය මෙම සිදුවිම් කෙරෙහි සමාජයේ අවධානය යොමු විය බවත් අවධාරණය කළා ය.

“කවුරුවත් ඒ ගැන සාකච්ඡා කරනවා මම දැකලා නැහැ. මේ අය අධිකරණයෙන් කාට හරි භාර දෙනවා, ගොඩක් වෙලාවට පවුලෙම අයට භාර දෙන්නේ ඒ අය කැමති නම් හදාවඩා ගන්න ගන්නවා.”

නොදැනුවත්කම නිසා සිදුවන ළමා ගැබ් ගැනිම්

දරුවන් මෙවන් ඛේදවාචකයන්ට මුහුණ දීමට ලිංගිකත්වය පිළිබඳ දැනුම අවම වීම ප්‍රධානත ම හේතුවක් බව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර කියා සිටියාය.

“ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනය, ඒ ගැන තියෙන දැනීම සහ අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් ආරක්ෂා වෙන්න තියෙන නොදැනුවත්කම මේකට එක හේතුවක්. ලිංගික සම්බන්ධතාවයක් පවත්වන කෙනෙක් නම් අනිවාර්යෙන් ආරක්ෂාව ගැන දැනගෙන ඉන්නත් ඕනේනේ. අපිට පිළිගන්න වෙනවා වයස අදාළ වෙලා නැහැ ඒක පවත්වන්න කියලා. එහෙම නම් වයස අදාළ වෙන්නේ නැහැ, ඒවා ගැන දැනගන්නත්.”

“අපි කේස් බලද්දි ඒ ළමයි ඒවා ගැන දැනගෙන ඉඳලා නෑ කියන එක තමයි තේරෙන්නේ.” යැයි මෙවැනි සිදුවීම් පිළිබඳව විමර්ශනය කර ලබා ගත් අත්දැකීම් අනුව ඇය පැවසුවාය.

“අපි ඔය සිද්ධි අධ්‍යනය කරද්දි ගොඩක් දකිනවා පවුල්වල තියෙන ගැටලු. ගොඩක් දරුවෝ අනාරක්ෂිත යි. හේතුව අම්මා, තාත්තා දෙපැත්තකට ගිහිල්ලා, ඒ අයගේ තියෙන ප්‍රශ්න. ඒ වගේ තත්ත්වයක දී තමයි ප්‍රේම සම්බන්ධයකට වුණත් ඉතා වේලාසනින් යන්නේ.”

කෙසේවෙතත්, නිවැරදිව ම මෙවැනි තත්ත්වයන් සඳහා හේතු කිව නොහැකි බව ද පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ ප්‍රධානි, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්ද සඳහන් කළාය.

– බීබීසී සිංහල පුවත් සේවය

Social Sharing
අවකාශය නවතම විශේෂාංග