තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!

Delays in cases in Sri Lanka

අධිකරණ පද්ධතියේ සමස්ත ලෙස විසඳීමට ඇති (pending) නඩු සංඛ්‍යාව 1,131,818ක් වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇති අතර වාර්තාවන අන්දමට ශ්‍රේෂ්ඨාධිකරණයේ (pending) නඩු 5,785ක්, අභියාචනාධිකරණයේ නඩු 4,572ක්, අපරාධ නඩු විභාග වන මහාධිකරණයන්හි නඩු 6,286ක්, වාණිජ මහාධිකරණයේ නඩු 6,146ක්, විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයේ නඩු 3ක්, මහාධිකරණයේ නඩු 27,324ක්, දිසා අධිකරණයේ 262,665ක්, ළමා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 1,260ක් යනාදී වශයෙන් මෙම නඩු තවමත් විසඳී නොමැත.

මේ වනවිටත් නඩු විභාග කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය නියෝජනය කරමින් කාරක සභාව වෙත පැමිණ සිටි නිලධාරීහු ප්‍රකාශ කර ඇති අන්දමට මෙම ගැටළුව සම්බන්ධයෙන් විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම අධිකරණ පද්ධතියයේ විසඳීමට නියමිත නඩු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ බැවින්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවීම පිළිබඳ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාකච්ඡාවට ලක් වී ඇත.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව හෙළි වී ඇත.

මන්ත්‍රීවරු පවසා ඇති අන්දමට නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් විශාල ප්‍රමාදයක් පවත්නා බවත් දිවයින පුරා පොලිස් කොට්ඨාස මගින් ලැබෙන්නා වූ අපරාධ නඩු විභාග කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයට අනුයුක්තව ඇත්තේ රජයේ අධි නීතිඥවරු 70ක් පමණ බවත් පැමිණ සිටි නිලධාරීන් විසින් මෙහි දී පෙන්වා දී ඇත.

එමෙන්ම පවරා ඇති නඩු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට රජයේ අධි නීතිඥවරයෙක් වසර ගණනාවක අත්දැකීම් සහ පළපුරුද්දකින් යුක්ත විය යුතු බවත්, ජ්‍යෙෂ්ඨත්වය ප්‍රධාන සාධකයක් බවත් ඔවුහු තවදුරටත් පෙන්වා දුන්හ.

Social Sharing
අවකාශය නවතම