IMF සිවුවැනි ණය වාරිකය නිදහස් කරන්න අනුමැතිය

ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය වීමට විස්තීර්ණ ණය අරමුදල් පහසුකමේ සිවුවැනි ණය වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 334ක මුදලක් නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට දී ඇති ණය අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය මැන බැලීමට කළ තෙවැනි සමාලෝචනයට මෙලෙස එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය හිමිව තිබේ. ඒ සමඟ මෙරටටදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ සිවුවැනි වාරිකය ලෙස දීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 334 වහාම නිදහස් කිරීමටද අවසර දී ඇත.

ඒ සමඟ මෙතෙක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.34 දක්වා ඉහළ යන අතර ණය අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ප්‍රගතිය ඉතාමත් ශක්තිමත් බවත් සමාජීය වියදම් ඉලක්කය හැර පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට සපුරාලිය යුතු දර්ශක ඉලක්ක සියල්ල ශ්‍රී ලංකාව සපුරා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

එසේම පසුගිය ජනවාරි මස අවසන් වනවිට සපුරාලිය යුතු ව්‍යුහාත්මක කඩඉම් සියල්ල ශ්‍රී ලංකාව සපුරා හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර තිබෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන අතර ශ්‍රී ලංකාව මෑතකදී සාර්ථකව අවසන් කළ බැඳුම්කර හුවමාරුව ණය තිරසරභාවය නැවත ඇති කිරීමේ දිශාවට තැබූ ප්‍රධාන සන්ධිස්ථානයක් බව ද පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ඵලදරමින් තිබෙන බවත් මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ගමන ඉන් වේගවත් වී ඇති බවත් පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කෙසේ වෙතත් තවත් මෙරට ආර්ථිකය අවදානම් තත්ත්වයේ පසුවන අතර ණය තිරසරභාවය ඇති කිරීමටත්, ආර්ථිකය කල්පවතින යථා තත්ත්වයකට පත්කිරීමේ මාර්ගයකට යොමු කිරීම සඳහාත් ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ඉදිරියට රැගෙන යාම අත්‍යවශ්‍ය බවත් කියා සිටියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3ක පමණ මාස 48ක විස්තීරණ ණය අරමුදල් පහසුකම් පසුගිය 2023 වසරේ මාර්තු 20 වැනිදා අනුමත කෙරිණි. ශ්‍රී ලංකාව පිළිබඳ විධායක මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා මෙසේ සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සාර්ථක වෙමින් තිබෙන අතර ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. උද්ධමනය පහළ මට්ටමක පවතිනවා. ආදායම් රැස් කිරීම වර්ධනය වෙමින් පවතිනවා. එමෙන්ම සංචිත අඛණ්ඩව ඉහළ යමින් පවතිනවා. 2023 වසරේ තුන්වැනි කාර්තුවේ සිට ධන ආර්ථික වර්ධනයක් නැවත ආරම්භ වීමෙන් පසු ආර්ථික වර්ධනයේ සාමාන්‍යය 4.3%ක් වුණා. 2024 වසර අග වනවිට, ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 2018 සහ 2023 වසර අතර සිදු වූ ආර්ථික හානියෙන් 40%ක් පමණ යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වී ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. 2025 වසරේදී ආර්ථික වර්ධනය යථා තත්ත්වයට පත්වීම දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. ආර්ථිකය තවමත් අවදානම් මට්ටමක පවතින බැවින්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය හා ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා සහ දිගුකාලීන අඛණ්ඩ වර්ධනයක් ඇති කිරීමට ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පවත්වාගැනීම ඉතා වැදගත් වෙනවා. ප්‍රතිපත්තිමය වැරදීම් ඇතිවීමට ඉඩක් නැහැ.

සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර අනෙකුත් සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගනිමින් වැඩසටහන් කාර්යසාධනය ශක්තිමත් වී තිබෙනවා. 2025 වසරේ ජනවාරි මස අග වනවිට සපුරාගත යුතු බොහෝ ව්‍යුහාත්මක මිනුම් දඬු නියමිත කලට හෝ ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක කර තිබෙනවා. රාජ්‍ය මූල්‍ය තිරසර භාවය යථා තත්ත්වයට පත්කිරීම සහ රජයට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව සැපයීමට හැකි බව සහතික කිරීමට තිරසර ලෙස ආදායම් රැස් කිරීමේ ප්‍රයත්නයන් ඉතා වැදගත් වේ. ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීමට බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ බදු නිදහස් කිරීම්වලින් වැළකී සිටීම ප්‍රධාන වෙනවා. ආර්ථික දුෂ්කරතා ලිහිල් කිරීමට සහ දිළිඳු හා අවදානමට ලක්විය හැකි කාණ්ඩවලට ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියට සහභාගි විය හැකි බව සහතික කිරීම සඳහා, සමාජ වියදම් ඉලක්ක සපුරා ගැනීම සහ සමාජ ආරක්ෂණ ජාලයේ ප්‍රතිසංස්කරණ දිගටම කරගෙන යාම වැදගත් වෙනවා.

රජය සතු ව්‍යවසායයන්ගේ රාජ්‍ය මූල්‍ය අවදානම් පාලනය කිරීමට ප්‍රමාදයකින් තොරව පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපනය කිරීම අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඉදිරියට ගෙනයාමේ ප්‍රගතිය කැපී පෙනේ. මෑතකදී බැඳුම්කර හුවමාරුව සාර්ථකව නිම කිරීම, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ ප්‍රධාන සංධිස්ථානයක්. නිල ණය හිමි කමිටුව සහ දැනට ඉතිරි ණය හිමියන් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් කාලෝචිත ලෙස අවසන් කිරීම වර්තමානයේ ප්‍රමුඛතාවක් වෙනවා.

මුදල් ප්‍රතිපත්තිය මිල ස්ථායිතාව පවත්වා ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු අතර, රජයේ අය-වැය පරතරය මහ බැංකුව මඟින් මූල්‍යකරණය වැළැක්වීමට සහ මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට තිරසර කැපවීමක් මඟින් සහය විය යුතු වෙනවා. බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැංවීමට සහ විදේශීය අංශය නැවත තුලනය කිරීමට පහසුකම් සැලසීම සඳහා විනිමය අනුපාතිකයේ නම්‍යශීලීභාවය අඛණ්ඩව පවත්වා ගැනීම සහ ගෙවුම් තුලනයේ පාලන පියවර ක්‍රමයෙන් ඉවත් කිරීම ඉතා වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ දිගුකාලීන විභවය අත්කර ගැනීමට දිගුකාලීන ව්‍යුහාත්මක අභියෝගවලට විසඳුම් සෙවිය යුතු අතර, පාලන ප්‍රතිසංස්කරණ ස්ථිරව ක්‍රියාත්මක කිරීම ද ඊට ඇතුළත් වෙනවා” යැයි ප්‍රකාශ කර තිබේ.

මහින්ද අලුත්ගෙදර

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Social Sharing
ආර්ථික පුවත්