අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු මේ වන විට නීතිඥ භාවය අත්හිටුවා තිබෙන ධර්මසිරි කරුණාරත්න මහතාට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම වසර 10කට අත්හිටුවන ලෙස නියෝග කළේය. ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල අද දින සිට දින 90 ක තුළ ගෙවා අවසන් කළ යුතු බවටද නියෝග කළහ.
යසන්ත කෝදාගොඩ අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ අතර, වග උත්තරකරු අදාල චෝදනාවට වරද පිළිගැනීම නිසාත් වගඋත්තරකරුගේ මානසික තත්ත්වය යනාදී කරුණු සැලකිල්ලට ගෙන මෙලෙස අත්හිටවූ සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරු සඳහන් කළේය.
අභියාචනාධීකරණ ලේඛනාගාරයේ තිබූ නඩු ගොනුවක තිබූ ලේඛනයක් අනීතික ලෙස ලබාගෙන එය විනාශ කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මෙම පුද්ගලයාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණි.
එම නඩුකරයට අදාලව වග උත්තරකරු විසින් ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක අධිකරණ ක්‍රියාදාමය විවේචනය කරමින් කරුණු දක්වා තිබූ බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර තිබූ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේය.
එම සිද්ධියට අදාළව ඉදිරිපත් කෙරුණු තවත් පැමිණිල්ලක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය වග උත්තරකරු නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති ආකාරය බැලූ බැල්මටම පෙනී යන හෙයින් ඔහුගේ නීතිඥ භාවය තාවකාලිකව අත්හිටුවීමටද මීට පෙර තීරණය කර තිබුණේය.