යුක්තිය හා සාමය වෙනුවෙන් සිනමා බිමේ අනෝමා!

අනෝමා රාජකරුණා

අනෝමා රාජකරුණා බහුවිධ හැකියාවන් සහිතවූ කලාකාරිනියක්. ඇය කිවිඳියක්, කෙටිකතාකාරිනියක්, ඡායාරූප ශිල්පිනියක්, කෙටි චිත්‍රපට හාටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරියක්. මේ වන විට ඇ තරුණ සිනමා නිර්මාණකරුවන් බිහි කිරීමේ සත් කාර්යයකට දීර්ඝකාලීන අත්දැකීම් ද සහිතව පිවිස තිබෙනවා. ඒ “ Agenda 14” නමින්. මේ ඇය සමග සිදු කරන ලද සංවාදයක සාරංශයක්.

මුල් අවධිය

මම චිත්‍රපටි හදන්න පටන්ගත්තේ මම පුංචි කාලෙදිමයි. මං මගේ පළවෙනි කෙටි චිත්‍රපටය හදනකොට මට වයස 17යි. ඒ කාලෙ අද කාලෙ වගේ නෙමෙයි.  මීට අවුරුදු 40කට වගේ එහා, තාක්ෂණය වෙනස්, සමාජයේ ආකල්ප වෙනස්. විශේෂයෙන් කාන්තාවන්ට, ගැහැණු ළමයින්ට සුදුසු වෘත්තීන් පිළිබඳව, ඔවුන්ගේ ගමන් බිමන් පිළිබඳව තිබුණු සමාජ ආකල්ප පසුගාමීයි. එවැනි කාලෙක විශේෂයෙන්ම සිනමාව කියන්නේ තරුණ ගැහැණු ළමයෙකුට එකතු වෙන්න අමාරු ක්ෂේත්‍රයක් වෙලා තිබුණේ.

එවැනි කාලෙක ඉතාම සුවිශේෂයෙන් මතක් කරන්න ඕන ඇන්ඩෘ ජයමාන්න මගේ සිනමා ගුරුවරයා. ඔහු වගේ කිහිප දෙනෙකුගේ පිහිට විතරයි අපිට තිබුනෙ. ජ්‍යෙෂ්ඨයෝ අලුතින් ක්ෂේත්‍රයට එන අයට උදව් කරන්නෙ නැත්තේ ඇයි කියන එක මට ඒ කාලේ තදින්ම දැනිලා තිබුණා. ඒ නිසාම මට ඒ් කාලෙම අවශ්‍යතාවයක් තිබුණා මම යමක් දන්නවනම් ඒක ඊළඟ පරම්පරාවත් එක්ක බෙදා ගන්න.

ගමේ තිබුණු සාමූහිකත්වය ගිනි ගැනීම

මම ඉපදුනේ පානදුර “මාලමුල්ල” කියන ගමේ. මම පාසැල් ගියේ “වඳුරාමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයට” සහ  “පානදුර බාලිකා මහා විද්‍යාලයට”.  විශේෂයෙන්ම මම ශිෂ්‍යත්වය සමත් වෙලා  හයවෙනි වසරේ ඉඳලා ඉගෙන ගත් පානදුර බාලිකා විද්‍යාලය පානදුර නගර මධ්‍යයේ පිහිටි බාලිකා පාසලක්. අපේ පාසල ඉස්සරහා එදා සිට අදටත් තියෙනවා හින්දු කෝවිලක්. විශේෂයෙන් කොළඹ ඉඳල පානදුරට යද්දී අපට මුණගැහෙනවා “සරික්කාමුල්ල” වගේ තැන්. සරික්කාමුල්ල කියන්නේ වඩා වැඩි මුස්ලිම් ජනගහනයක් ඉන්න පානදුරේට අයිති ගමක්. පානදුරේ රන්කොත් විහාරය, වැලිපිටිය පන්සල, කෝවිලගොඩැල්ල පන්සල, ගල්ගොඩ විහාරය වගේ පන්සල් ගොඩාක් තිබුනා. හැබැයි   මේ සියලු විහාර මධ්‍යයේ පානදුර නගරයේ මහා වීදිය තියෙනවා. අපි පුංචි කාලේ මහා වීදිය කියන්නෙ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු තුන්කොට්ඨාසයම කිසිදු ගැටුමකින් තොරව ඉතා මිත්‍රශීලීව ව්‍යාපාර කරගත්තු වීදියක්. මේ වීදිය අසූ තුනේදී එකපාරටම ගිනි ගන්නවා.  එකපාරටම දවස් දෙකක් තුනක් ඇතුලත පානදුර නගරය අළු බවට පත් වෙලා සම්පුර්ණයෙන්ම දෙමළ ජාතිකයන්ගෙන් තොර, දෙමළ ජාතිකයන් සියලු දෙනාම  පලවා හැරි නගරයක් බවට පත්වෙනවා.

ගමේ මිතුරන් ඇතදී හමුවීම

අපිට හිටපු මිත්‍රයන්, විශේෂයෙන් දෙමළ ජාතිකයන්, එක රැයකින් දෙකකින් අපෙන් ඈත් වුණා. එතකොට මෙන්න මේ සංසිද්ධිය මට විශාල වශයෙන් බලපෑවා. ඊට වසර ගණනාවකට පස්සේ මම චිත්‍රපටි හදනවා වගේම සමාජ පර්යේෂණවල යෙදිලා ඉන්න කෙනෙකු විදියට බස්නාහිර පළාතෙන් පිටට යන්න වුණාම වරින් වර මට මේ අසූ තුනේ ජූලි කලබලයත් එක්ක අවතැන් වෙච්ච පිරිස් ලංකාවෙ තැනින් තැන හම්බෙන්න පටන් ගත්තා. මට හිතෙන්නේ මම ජීවිතේ දකින විදිය වෙනස් වුණා ඒ අත්දැකීම් හරහා.  ඇත්තටම ඒ පශ්චාත්තාපයේ කොටසක් විදියට වෙන්න ඇති මම තාමත් හැකි විදියකට මේ අපේ ජනවාර්ගික මායිම් හරහා අත් දික් කරලා යමක් කරන්න උත්සාහ කරන්නේ. යාපනයේ අන්තර්ජාතික සිනමා උළෙල පටන් අරන් අවුරුදු දහයක් වෙනවා. නමුත් අවුරුදු දහයක සිනමා අත්දැකීමක් නෙවෙයි මට විශේෂයෙන් උතුර නැගෙනහිර තියෙන්නෙ.

තහනම් වුණ චිත්‍රපට

“අම්මා කෙනෙක්” කියන සම්මානයට පාත්‍රවූ මගේ සිනමා නිර්මාණය තහනම් වුණා. පළවෙනි වතාවට මම හිතන්නේ ලංකාවෙ ජනාධිපතිවරයෙකුගෙ තීන්දුවක් මත වාරණය වෙච්චි පළවෙනි රූපවාහිනී නිර්මාණය අයිති වෙන්නේ මට. ඒ් විතරක් නෙවෙයි ඊට කලින් මගේ “සොඳුරිය” කියන නිර්මාණයටත්, “එළියක් නිසා” කියන “ නිහාල් සිල්වා” පළමුවෙනි වතාවට රඟපාපු ටෙලි චිත්‍රපටියටත් යම්කිසි විදියක තහංචි ආවා. ඒ නිසාම විකල්ප ප්‍රචාරණ මාධ්‍යයක් සහ විකල්ප අවකාශයක් සොයා ගැනීමේ අවශ්‍යතාවක් මට තිබුණා. විදේශීය උසස් නිර්මාණ පිටපත් ඒවා නැරඹීමේ අවස්ථාව අහිමි ප්‍රජාවන් වෙත ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවකුත් තිබුණා. සිංහල සහ දෙමළ භාෂාවන්වලට මේ චිත්‍රපටිවල සාරාංශ හදල ගෙනිහින් ඔවුන් සමඟ සාකච්ඡා කරලා සමහරවිට පරිවර්තන ලබාදීලා විශේෂයෙන්ම සුනිලා අබේසේකර එක්ක මං ගමින් ගමට ගිහින් තියෙනවා.

කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල

ඉතින් මේ අත්දැකීමත් එක්ක යම්කිසි විදියකින් එක්තරා අවස්ථාවක ලංකාවට ජාත්‍යන්තර සිනමාව උළෙලක් අවශ්‍ය යැයි කියන අවශ්‍යතාව අපිට කාලයක් මුළුල්ලේ තිබුනා. මම සහභාගි වෙච්ච පළමුවෙනි ජාත්‍යන්තර සිනමා උළෙල වූ කේරළ සිනමා උළෙලේ අත්දැකීම් හා සම්බන්ධතා මත එවැනි සිනමා උළෙලක් ලංකාවේ පැවැත්වීම පිළිබඳව අපි සාකච්චා කලා.  ලංකාවෙ සිනමාව ගැන ලෝක අවධානය යොමු වෙච්ච අවස්ථාවක් තමයි 2005 “ විමුක්ති ජයසුන්දරගේ “ සුළඟ එනු පිණිස” නිර්මාණය Cannes චිතපට උළෙලේ සම්මානයක් දිනා ගැනීම, ඒක ලංකාවට සුවිශේෂී අවස්ථාවක්. ඒ අවස්ථාවේදී පසුබිමේ ඇතිවෙච්ච උනන්දුවත් එක්ක අපි “ Colombo international film festival”  නමින් චිත්‍රපටි උළෙලක් පටන්ගත්ත. ඒ් මෙවලාවෙම මහින්ද රාජපක්ෂ මහත්මා පළවෙනි වතාවට ජනාධිපති ධුරයට පත්වුණා. මේ සිනමා උළෙලට පස්සේ ඒ ඒක්කම ඔහුගේ මහින්ද ප්‍රතිපත්ති මාලාව ඇතුලේ ඔහු කිව්වා “ කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල” නමින් සිනමා උළෙලක් පටන් ගන්නවා කියලා. ඒ වෙනකොටත් අපි එහෙම සිනමා උළෙලක් පටන් අරගෙනයි තිබුණේ. නමුත් ඒක එකවරක් විතරයි පැවැත්වුණේ. එහාට යන්න බැරි වුණා. ඒක මහින්දගේ ප්‍රතිපත්ති මාලාවෙ හිරවුණා.

ඒ වෙනකොට පැවැතිච්ච තත්ත්වය අනුව උතුරු නැගෙනහිර කියන්නේ රජය විසින් වෙනමම පාලනයක් ගෙනගිය ප්‍රදේශයක්. ඒම ප්‍රදේශවල චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරනවානම් විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතුව තිබුණා. මේ වගේ ගැටලු රාශියක් ගැටලු මැද අපි චිත්‍රපටි කීපයක් උතුරු නැගෙනහිරට ගෙනගියා. චිත්‍රපටි ගැන උනන්දුවක් දක්වපු ඉතාම කුඩා කණ්ඩායම් එක්ක බෙදා ගත්තු ඒ අත්දැකීම තමයි අපි පසුකාලයක වඩා වැඩිදියුණු සිනමා උළෙලක් බවට පත් කරලා ”යාපනය අන්තර්ජාතික සිනමා උළෙල”  නමින් ඉදිරිපත් කළේ.

ඒ වෙනකොට අවුරුදු තිහක යුද්ධය නිමා වෙනවා. යුද්ධය විතරයි නිමා වුණේ.  ගැටුම් තිබුණා. අපි කියනවා අපි ඇත්තටම ජීවත් වුණේ යුද්ධයත් නැති සාමයත් නැති කාලෙක. එතකොට සංක්‍රාන්තික යුක්තිය කියන එක ප්‍රශ්නයක් වෙලා තිබුණ සමාජයකට සිනමාව වගේ මාධ්‍යයක් හරහා මොකක්ද කරන්න පුළුවන් කියන කාර්යය පිළිබඳව යම්කිසි විදියක හැඟීමක් අපට තිබුණා. ඇත්තටම චිත්‍රපටි ප්‍රදර්ශනය විතරක් නෙවෙයි සාකච්ඡාවන් ඉන් එහාට ගෙන ගිය දෙපිරිසක් මේ ජන කොට්ටාස අතරින් සහයෝගයෙන් නිර්මාණය වන වැඩපිළිවෙලක් තිබුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට යාපනයේ සිනමා උළෙල ඇතිවුණා.

තරුණ තරුණියන් සමග එක්ව වැඩ කිරීම සදහා සාමය සංහිදියාව සදහා “ Agenda 14” බිහි කිරීම

2011 වසරේ මම “Agenda 14” නමින් පෞද්ගලික ආයතනයක් පටන් ගන්නවා.  ඒක නිෂ්පාදන ආයතනයක්. ලංකාවේ සිනමාවේ ඊළඟ පරම්පරාවට යම්කිසි විදියක පුහුණු කිරීම්,  චිත්‍රපට නිෂ්පාදනය කිරීම් සහ, විශේෂයෙන්ම, ලංකාවේ නිෂ්පාදනය කරන කෙටි චිත්‍රපටි ජාත්‍යන්තරය කරා රැගෙන යාම කියන අරමුණු තුනත් එක්ක තමයි අපි මේ ආයතනය පටන් ගත්තෙ. “දාහතර” නමින් සිනමා සඟරාවක් ද පටන් ගත්තා.

83ට පසු දෙමළ සිනමාව

අසූ තුනට පෙර ලංකාවෙ සිනමා ක්ෂේත්‍රයේ ආයෝජන වැඩියෙන්ම තිබුනේ දෙමළ නිෂ්පාදකවරුන්ගේ. චිත්‍රාගාර අයිති වුණේ දෙමළ ජාතිකයින්ට. අසු තුනේ කලබලත් එක්ක ලංකාවෙ දෙමළ නිෂ්පාදකවරුන්ගේ චිත්‍රාගාර ඇතුළු මේ සියල්ල ගිනිබත් කළා. අසූ තුනට පස්සේ ලංකාවෙහි දෙමළ සිනමාව කියලා එකක් තිබුණෙ නෑ.

ජාත්‍යන්තර අවධානය යොමු වන කෙටි චිත්‍රපට රැසක් බිහි කිරීම

එවැනි තත්ත්වයක් යටතේ දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශවලට ගිහින් කෙටි චිත්‍රපටි හදන්න උත්සාහ කරමින් හිටපු පිරිස් එක්ක දකුණේ චිත්‍රපට හදන්න හිටපු තරුණ පිරිස් ගෙනල්ලා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළා. විවිධ අපහාස උපහාස මැද කළ ඒ් කටයුතුවල ප්‍රතිඵලයක් විදියට අද 2024 වන විට ජාත්‍යන්තර අවධානය පවා දිනා ගත්ත නිර්මාණ මේ පුහුණු වැඩසටහන් ඇතුළේ අපිට හදන්න පුළුවන් වුණා.

අද දවසේ උතුරු නැගෙනහිර සිනමාකරණයේ යෙදෙන බොහෝ සිනමාකරුවෝ ඉපදිලා තියෙන්නෙම යුද්ධය ඇතුලේ. අවතැන්වීම් ඇතුළේ. සරණාගත කඳවුරු ඇතුලේ. ඒ අත්දැකීම් ඔවුන් නිර්මාණ හරහා ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට ඔවුන්ගේ කෝපය, ඔවුන්ගේ හිමිකම් අහිමිවීම්, ඒවගේ දේවල් කතා කරන්න උත්සාහ කරනවා. ඉතිං එවැනි නිර්මාණ සමහර වෙලාවට   “ Agenda 14” කියන චිත්‍රපට උළෙලට ලැබෙනවා. මේ දාහතරවෙනි අවුරුද්ද තමයි උළෙල පවත්වන්නේ. අපේ උළෙලේ ආරම්භක අවස්ථාවේ ඉඳලම මානව හිමිකම් සඳහා සම්මානයක් පිරිනමනවා.

අපි සාමාන්‍යයෙන් ඕනෑම වැඩසටහනක් කරනකොට විශේෂයෙන්ම ප්‍රධාන භාෂා දෙකෙන්ම කරන්න උත්සාහ කරනවා.  මේ භාෂා අතර පරිවර්තන කටයුතුයි එක්ක යම්කිසි විදියකට සංවාදයක් ගොඩ නගන්නත් උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට අපේ තියනවා ජාත්‍යන්තර සම්මානලාභී චිත්‍රපටයක් ත්‍රිකුණාමලයේ “ ආනන්ද රාමනන්” නිර්මාණය කරපු “ Tickets Please” කියලා. මේ නිර්මාණයට පාදක වෙන්නේ කොළඹ එන සිංහල භාෂාව කතා කරන්න බැරි කෙනෙක් පෞද්ගලික ප්‍රවාහනේ පෞද්ගලික බස් රථයකින් කොළඹ ඉඳලා රත්මලානට ගමන් කරන ගමන. අපි අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් පුහුණු කිරීම යටතේ ඔලුවිල් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වෙලා හිටපු “ෆාතිමා නෆ්ලා” ඇගේ ජීවිතය පිළිබඳව කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. සංස්ථාපිත ආගම් කාන්තාවන්ගේ ශරීරය පාලනය කරන්නේ, කොටින්ම උදේ නැගිටවන එකේ ඉදල කොහොමද මේ කාන්තාවන්ගෙ තීරණ ගැනීමට මේ සංස්ථාපිත ආගම බලපාන්නේ කොහොමද කියන එක පිළිබඳව. ලංකාව වගේ රටකින් විශේෂයෙන්ම ජනවාර්ගිකත්වය සහ ආගමික බැඳීම් කියන ඒවා හැමතිස්සේම ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කරනවා සහ ඒක දේශපාලනිකයි.

මගේ උත්සාහය අසූ තුනත් එක්ක මට තිබුණු පශ්චාත්තාපයත් එක්ක ආපු දෙයක්. මම මට කළ හැකි පමණින් සුළු පමණින් ඉතාම සුළු පියවරයන් ගත්තා. ඒකෙන් මම උත්සාහ කරලා තියෙනවා යම් කිසි විදිහකින් මනුස්සයෙක් විදියට මගේ කාර්ය කොටස කරන්න.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග