ශ්‍රී ලංකාව අබිරහස් ගුහාවකි. මෙරට සිදු වූ බොහෝ දේශපාලන ඝාතනවලට වගඋත්තරකරුවෝ නැත. බොහෝ කුමන්ත්‍රණකාරි දේශපාලන ඝාතන අදාළ වකවානුවල බලයේ සිටි ආණ්ඩු විසින් අධිකරණයේ විනිශ්චය සඳහා යොමුකර නැත. ඊට හේතුව ඒ අපරාධවල පාර්ශ්වකරුවන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන් වීම විය හැකිය. බොහෝ වටිනා මිනිසුන් මෙලෙස මරා දමා තිබේ. ඔවුන්ගේ ඝාතනවල රහස් සැඟව තිබෙන්නේ රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනුවලය. මේ අබිරහස් දේශපාලන ඝාතන පිළිබඳ පසුවිපරම් කෙරෙන ලිපි මාලාවකි.
ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කැබිනට් මණ්ඩලයේ විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් 2005 අගෝස්තු 12 වැනිදා කොළඹ 7, ලොන්ඩන් පෙදෙසේ පිහිටි ඔහුගේ නිවෙසේදී ‘නාඳුනන තුවක්කුකරුවෙකු’ විසින් වෙඩි තබා මරා දමන ලදි. යාබද නිවෙසේ උඩුමහලේ සැඟවී සිටි ස්නයිපර් වෙඩික්කරුවකු රාත්‍රී 11ට පමණ ඇමැතිවරයා නාන තටාකයේ ස්නානය කොට ඉන් පිටතට එමින් සිටියදී වෙඩි තැබු බව පොලීසිය සඳහන් කළේය.
ලක්ෂ්මන් කදිරගාමර් මරණයට පත් වන විට දකුණු ආසියානු කලාපයේ වඩාත් කතාබහට ලක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුව සිටියේය. ඊට ප්‍රබල හේතුවක් වූයේ ඔහු ශ්‍රී ලංකාවට සාමය ළඟා කර දීම සඳහා දැඩි අධිෂ්ඨානසහගත ක්‍රියාවලියක නිරතව සිටීමය. විශේෂ ආරක්ෂාවක් ඇති දේශපාලන නායකයකු ඔහුගේ අසල්වැසි නිවෙසක පළමු මහලේ නානකාමරයක් තුළ සැඟවී සිටි ස්නයිපර් තුවක්කුකරුවකු විසින් වෙඩි තබා මරා දමනු ලැබූ බව පැවසීම ලොව බොහෝ රාජ්‍ය නායකයන් විමතියට පත් කළ සිදුවීමක් විය.
ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමැතිවරයාගේ ඝාතනයේ හෙළි නොවූ විවිධ රහස් තිබේ.
පොලිස් විමර්ෂකවින් පැවැසූ අන්දමට රාත්‍රී 10.00ත් 10.30ත් අතර පිහිනුම් තටාකයේ ස්නානය කිරීමෙන් අනතුරුව නැඟී සිටි විදේශ ඇමැතිවරයාට වෙඩි ප්‍රහාර තුනක් එල්ල වී තිබිණි. ඝාතකයන් රැඳී සිටි බව කියන අංක 42 දරන නිවෙස පිහිටා තිබුණේ කදිරගාමර් මහතාගේ නිවෙසේ සිට සිට මීටර් 30ක් දුරිනි. විදේශ ඇමැතිවරයා වෙඩි ප්‍රහාරයට ලක්ව පැය දෙකහමාරක් යන තුරු අවට කිසිදු නිවෙසක් පොලීසිය විසින් පරීක්ෂා කර නැත.
අපරාධ ස්ථානයට පැමිණි පළමු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වූ විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරි අජිත් වික්‍රමසේකර, පසු දින අලුයම 1.00ට පමණ සිද්ධිය පිළිබඳව අංක 42 නිවෙසේ හිමිකරු ලක්ෂ්මන් තලෙයිසිංහම් මහතාට දන්වා, ඔහුගේ නිවෙස පරීක්ෂා කළේය. එහෙත් ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට විමර්ශකයන්ට නොහැකි වූ අතර, පාන්දර 1.00 වන තුරු විමර්ශන නිලධාරීන් එම නිවෙස පරීක්ෂා කිරීමට බලා සිටීම සැක සහිතය.
කදිරගාමර් මහතාට වෙඩි තැබුවේ එල්ටීටීඊ ස්නයිපර්වරයකු නම්, අංක 42 දරන නිවෙසේ ඉහළ මහලේ සිට ඔහුගේ හිසට හෝ පපුවට එක් වෙඩි පහරක් එල්ල කර ඔහු මරාදැමීම ඉතා පහසු ක්‍රියාවකි. ස්නයිපර් වෙඩික්කරුවකුට මීටර් 500ක් 700ක් දුරින් පිහිටි තම ඉලක්කයට තවත් උණ්ඩ තුනක් විදින්නට අවශ්‍ය වන්නේ නැත. ලෝකයේ ඕනෑම හමුදාවක. ස්නයිපර්වරුන් භාවිත කරන තුවක්කු උණ්ඩයකට මීටර් 500ක් පමණ දුරින් සිටින මිනිසකුගේ හිසක් විනාශ කළ හැකිය. එබැවින් මීටර 30ක් පමණ දුරින් ස්නයිපර් ප්‍රහාර හතරකට ගොදුරු වූ පුද්ගලයකුගේ සිරුර බරපතළ ලෙස විනාශ වේ.
කදිරගාමර් මහතාගේ හිසට ඊනියා ස්නයිපර් වෙඩි පහර දෙකක් එල්ල වූ බව වාර්තා වේ. එහෙත්, කදිරගාමර් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අය ඔහුගේ නිසල දේහය හා හිස කොටස ඉතා සාමාන්‍ය ලෙස පැවති බවට සාක්ෂි දරති. මධ්‍යම රාත්‍රියේ ඇමැතිවරයාගේ ඝාතනය දැනගත් වහා ආරක්ෂක අංශ සිදු කළේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ඝාතකයන් සොයා අහසට නැංවීමය. ආරක්ෂක අංශවල එම වෑයම අස්වාභාවික ස්වරූපයක් පෙන්නුම් කළේය. බුලර්ස් පටුමඟේ සිදු වූ වෙඩි තැබීමක් ගැන සොයන්නට හෙලිකොප්ටර් යානා අහසට නැංවීමේ තේරුම කුමක්දැයි වටහාගත නොහැකිය. දහසකට අධික පොලිස් භට පිරිසක් නගරය පුරා සෝදිසි මෙහෙයුම් ආරම්භ කළහ. එහෙත් ඒ වන විටත් ලක්ෂ්මන් කදිරගාමර් ඇමැතිවරයාගේ මිනීමරුවන් පැන ගොස් ඇති බව ආරක්ෂක අංශ නිගමනය කළේය.
පසු දින උදෑසන ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් පවත්වා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළාය. හදිසි අවස්ථාව බලගැන්වීම මඟින් මහජන ආරක්ෂක ආඥාපනත යටතේ සැක සහිත තැනැත්තන් රඳවා තබාගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට බලය පැවරිණි.
පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ගැන අගෝස්තු 13 වැනිදා මෙසේ ප්‍රකාශ කර ඇත:
“භාවිත කරන ලද ආයුධ සහ අපරාධය සිදු කිරීමේ ශෛලිය දෙස බලන විට, එය නිසැකවම එල්ටීටීඊ සංවිධානයේ වැඩකි. මෙවැනි ආයුධ කොටි සංවිධානයට හැර වෙනත් කණ්ඩායමකට නැත. පොලිස් පරීක්ෂණවලට අනුව ඉතා හොඳින් සැලසුම් කර නිශ්චිතව ක්‍රියාත්මක කරන ලද ඝාතනයක ස්වරූපය පෙන්නුම් කර තිබේ.”
කදිරගාමර්ගේ පෞද්ගලික නිවෙස ඔහු මිල දී ගෙන ප්‍රතිසංස්කරණය කරන ලද එකකි. එය දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු ජීවත් වීමට සැලසුම් කළ නිවෙසය. ආකර්ෂණීය වටපිටාවක කොළඹ 7, බුලර්ස් පටුමඟේ එය පිහිටා තිබිණි. මුල් පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ සෑහෙන පිරිසක් එම පටුමඟේ ජීවත් වූහ. කදිරගාමර් මේ නිවෙසේ පිහිටි ඔහුගේ පෞද්ගලික පුස්තකාලය ගැන බොහෝ ආඩම්බර වූ අයෙකි. කෙසේ වෙතත්, පිහිනුම් තටාකයෙහි පිහිනීම සඳහා වූ ආශාව නිසා ඔහු වෙනත් ඕනෑම දිනක මෙන් අගෝස්තු 12 දිනදීද බුලර්ස් පටුමඟේ නිවෙස වෙත පැමිණ ඇත.
ස්නානය කොට පිහිනුම් තටාකයෙන් පිටතට පැමිණි කදිරගාමර් එක්වරම ඇදවැටෙණු දුටු ආරක්ෂක නිලධාරියා වහා ඒ දෙසට දිව ගිය බව පවසන අතර, කදිරගාමර්ගේ සිරුරින් ලේ ගලනවා ඒ අවස්ථාවේදී ඔහු දැක තිබේ. පුදුමයට මෙන්, වෙඩි ශබ්දයක් කිසිවකුටත් ඇසී නොතිබිණි. එහෙත් ඇමැතිවරයාගේ පපු පෙදෙසට, ගෙලට සහ හිසට වෙඩි පහර තුනක් වැදී තිබිණි.
ජනාධිපති කාර්යාලය සිය පළමු ප්‍රතිචාරය ලෙස ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මේ ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක දැඩි ශෝකයට පත් වූ බව සහ විදේශ ඇමැතිවරයාගේ ඝාතනය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හෙළා දකින බවයි. රජය මෙවැනි දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලට හිස නොනමන බවත්, මේ ම්ලේච්ඡ ක්‍රියාව සිදු කළ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට උපරිම උත්සාහය ගන්නා බවත් ඉන් වැඩිදුරටත් කියවිණි.
ජනාධිපතිනිය ඇයගේ පළමු ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට වගකිව යුත්තන් ලෙස එල්ටීටීඊය නම් කළේ නැත. ඇයගේ නිවේදනයේ සඳහන් වූයේ වර්තමානයේ පවතින යුද ගැටුම් සාමකාමි තත්ත්වයට පරිවර්තනය වනවාට විරුද්ධ වූ සහ ජනවාර්ගික ගැටුමට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් සඳහා දරන උත්සාහයන් වළක්වාලීමට අධිෂ්ඨාන කරගත් දේශපාලන සතුරන් විසින් ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කරනු ලැබූ බවයි.
විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය ප්‍රකාශයට පත් වී පැය කිහිපයකට පසුව මේ ඝාතනයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව එල්ටීටීඊ සංවිධානය ප්‍රකාශ කළේය. සටන් විරාම ගිවිසුම කඩාකප්පල් කිරීමේ ‘සැඟවුණු න්‍යාය පත්‍රයක්’ සමඟ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් තුළ සිටින කොටස් විදේශ ඇමැතිවරයාගේ ඝාතනය පිටුපස සිටින බව එස්.පී. තමිල් සෙල්වම් ප්‍රකාශ කර තිබිණි. ඒ ප්‍රකාශය ටැමිල් නෙට් වෙබ් අඩවිය වාර්තා කළේය.
කැබිනට් ප්‍රකාශක නිමල් සිරිපාල ද සිල්වා මාධ්‍ය හමුවකදී පැවසුවේ මේ ඝාතනය පැහැදිලිවම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් යනුවෙනි.
අගෝස්තු 14 දා ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක රූපවාහිනී දේශනයකදී මෙසේ සඳහන් කළාය:
“පරීක්ෂණවල මූලික ඇඟවීම්වලින් පෙනී යන්නේ මේ ම්ලේච්ඡ ඝාතනයේ වගකීම එල්ටීටීඊ සංවිධානය විසින් භාර ගත යුතු බවයි. ඉතා සැලසුම්සහගතව සහ නිශ්චිතව ක්‍රියාත්මක වූ එල්ටීටීඊ මෙහෙයුමක සියලු සලකුණු මේ ඝාතනයේ තිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළිව තිබේ.”
ඝාතකයන් රැඳී සිටි නිවෙස ලෙස පොලීසිය හඳුන්වා දුන් නිවෙස කදිරගාමර්ගේ නිවෙසට යාබදව පිහිටා තිබූ අතර, නිවාස දෙක වෙන් වන්නේ පටු මංතීරුවකිනි. ඒ නිවෙසේ බිම් මහලේ පදිංචිව සිටියේ විශ්‍රාමික පොලිස් නිලධාරියකු වූ ලක්ෂ්මන් තලෙයිසිංහම් සහ ඔහුගේ බිරියය. ඉහළ මාලයේ සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ තමාට කිසිදු හෝඩුවාවක් නොවූ බව නිවෙස් හිමියා පොලීසියට පවසා ඇත. මේ සිදුවීමේ පුදුමසහගත විශේෂත්වයක් වන්නේ පොලීසිය නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට කිසිදු උනන්දුවක් නොදැක්වීමය.
නිවැසියන් විසින් පරිහරණය නොකොට වසා දමා තිබූ කොටස කිසියම් පිරිසක් විසින් ආයතනයක් ආරම්භ කිරීම සඳහා කුලියට ගෙන තිබූ බවට නිල නොලත් ආරංචි පැතිර ගියත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වී තිබුණේ නැත. නිවෙසේ උඩුමහලේ නානකාමරයේ කැමරා ආධාරකයක් වැනි සකස් කරන ලද ත්‍රිපාදකයක් තිබූ බව පොලීසිය පවසයි. කදිරගාමර් නිවෙසේ පිහිනුම් තටාකයට පැහැදිලි ඉලක්කයක් ගත හැකි වන පරිදි ඒ අසල වූ පිහිඹියා ගසෙහි අත්තක් කපා ඉවත් කර තිබී ඇත. පොලීසිය ප්‍රකාශ කරන අන්දමට ඝාතකයන් දින කිහිපයක පටන් මේ ස්ථානයේ සුපරික්ෂාකාරීව සිට ඇත. ඔවුන් විසින් එහි ගෙන එන ලද චොක්ලට්, චීස්, බිස්කට් සහ කෙටි කෑම වර්ගවල දවටන හා ඉතිරි කොටස් වැසිකිළියේ මුල්ලක වූ කසළ ගොඩෙහි තිබී ඇත. එහි තිබී මූත්‍ර සහ අසූචි සහිත පොලිතීන් බෑග්ද සොයාගෙන ඇති අතර, ආගන්තුකයන් එහි සිටින බව හඳුනාගැනීම වැළැක්වීම සඳහා වැසිකිළියේ ෆ්ලෂ් භාවිත නොකළ බවද පොලීසිය කියයි. පරීක්‍ෂණ පිළිබඳ තොරතුරු මාධ්‍යයට නිකුත් කළද, පොලීසිය ඝාතකයන් සම්බන්ධ තොරතුරක් ප්‍රසිද්ධියට පත් කළේ නැත. ඝාතකයන් පළමු මහලේ නාන කාමරයට ඇතුළු වූයේ කෙසේද? සහ ඔවුන් පලා ගියේ කෙසේද? යන්න පරීක්ෂණ අංශ විසින් හෙළි කරගනු ලැබුවේද නැත.
කදිරගාමර් ඝාතනය එල්ටීටීඊයේ ක්‍රියාකාරකමක් ලෙස ප්‍රකාශයට පත් කළ නමුදු විධිමත් ආරක්ෂාවක් යොදවා තිබූ කොළඹ 7, ලොන්ඩන් පටුමඟ වැනි ප්‍රදේශයකට එල්ටීටීඊ සාමාජිකයන් එතරම් පහසුවෙන් ඇතුළු වූයේ කෙසේද? විදේශ ඇමැතිවරයාගේ නිවෙසට යාබද නිවෙස ඔවුන්ගේ තිප්පොළක් බවට පත් කරගත්තේ කෙසේද? ස්නයිපර් තුවක්කු ඇතුළු ගිනිඅවි එම ස්ථානයට ගෙන ආවා නම් එසේ ගෙන ආවේ කෙසේද? ගෙහිමියන්ට නොදැන එම නිවෙසේම කොටසක කොටි සාමාජිකයන් රැඳී සිටියේ කෙසේද? මෙවැනි ප්‍රශ්න ගණනාවකට පොලීසියට පිළිතුරු නොතිබිණ.
ඊළඟ ප්‍රශ්නය වන්නේ මේ මොහොතේ කදිරගාමර් ඝාතනය කිරීමෙන් එල්ටීටීඊය අපේක්ෂා කළේ කුමක්ද යන්නයි. එක් පැත්තකින් සාම සාකච්ඡා සාර්ථක තත්ත්වයකට ගෙන ඒම ඔවුන්ගේ අභිප්‍රාය විය. වඩාත් සංවිධානාත්මක සන්නද්ධ වශයෙන් තහවුරු වීමට අවකාශය සලසා ගැනීමත්, සාම සාකච්ඡාවලදී කේවල් කිරීමෙන් වැඩි පංගුව අත්පත් කරගැනීමත් ඒ මොහොතේ එල්ටීටීඊ න්‍යාය පත්‍රය විය. ඒ නිසාම මේ අවස්ථාව කදිරගාමර් ඝාතනයට නිසි අවස්ථාව ලෙස කොටි සංවිධානය තීරණය කරනු ඇතැයි සිතිය නොහැකිය.
කදිරගාමර් සෑහෙන කාලයක සිට කොටින්ගේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටි බව සත්‍යයකි. කොටින්ගේ ඝාතනයට ගොදුරු විය හැකි අනතුරක් පවතින බව කදිරිගාමර්ද දැන සිටියේය. ඔවුන් ඔහු මරා දැමුවා නම්, මේ මොහොතේ එසේ කිරීමට හේතු වන දේශපාලන ආස්ථානය තරමක් අපැහැදිලිය. දේශපාලන ක්‍රියාවලියේ ගමන්මඟට තීරණාත්මක ලෙස බලපාන යම් නිශ්චිත අවස්ථාවක ඔහු ඝාතනය කිරීමට කොටි සංවිධානය තීරණය කර තිබුණාට සැකයක් නැත. එහෙත් ඒ අවස්ථාව මෙය නොවන බව ඉතා පැහැදිලිය.
ඔවුන් නැවත යුද්ධයකට යෑමට උත්සුක නොවන බව සිතන මොහොතක ඝාතනය සිදු වූ බැවින් කොටින්ගේ මැදිහත් වීමක් පිළිබඳ ප්‍රශ්නයක් මතු වන බව ඉන්දියාවේ ඇතැම් මාධ්‍ය පවසා තිබිණි. මේ අවස්ථාව වන විට කරුණාගේ කණ්ඩායම එල්ටීටීඊ සංවිධානයෙන් කැඩී යෑමෙන් කොටින් පසුබෑමකට ගොදුරු වී සිටි බවද සැලකිල්ලට ගත යුතුය.
සැලකිල්ල යොමු කළ යුතු අනෙක් කරුණ වන්නේ අගමැතිවරයා ලෙස ලක්ෂ්මන් කදිරගාමර් පත්කරන ලෙස 2003 අවුරුද්දේ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිනි චන්ද්‍රිකාගෙන් ඉල්ලා තිබීමයි. අගමැති ධුරය පිළිබඳ පුරප්පාඩුව ඇති වන විට මහින්ද රාජපක්ෂ අගමැති කළ යුතු යැයි පොදු පෙරමුණේ පිරිසක් ජනාධිපතිනියගෙන් ඉල්ලා තිබුණි.
ඒ අවස්ථාවේ ජවිපෙ යෝජනා කළේ අගමැති ධුරයට වඩාත්ම සුදුසු පුද්ගලයා වන්නේ විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් බවයි. මේ අදහස ඉදිරිපත් කරමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා තිබුණේ “අපේ ඇසට පෙනෙන අන්දමට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයෙකි. පටු වාර්ගික, ආගම්වාදී සහ වෙනත් බැඳීම්වලින් ඔබ්බට නැඟී සිටින ශ්‍රී ලාංකික ආදර්ශය විදේශ ඇමති කදිරගාමර් තුළින් අපි දුටුවෙමු. ඔහුගේ කැපවීම අපි අත්දුටුවෙමු. අප රට මුහුණ දී සිටින ත්‍රස්තවාදී ව්‍යසනයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ දේහයට එල්ල වන තර්ජනයන්ට ඵලදායි ලෙස ප්‍රතිචාර දක්වන්නට ඔහුට වඩාත් සුදුසු ස්ථානය විදේශ ඇමැති කාර්යාලය නොව, අගමැති කාර්යාලයයි,” යනුවෙනි.
ජවිපෙ ඉදිරිපත් කළ මේ යෝජනාව නිසා අගමැති ධුරය අපේක්ෂාවෙන් සිටි පොදු පෙරමුණේ ඇතැම් කොටස් බරපතළ ලෙස කැලඹීමට පත්ව සිටි බව රහසක් නොවේ. කදිරගාමර් ඝාතනය පිළිබඳ පරීක්‍ෂණ දියාරු ශෛලියකින් ඉදිරියට යන විට සැබෑ ඝාතකයන් කවුරුද යන්න පිළිබඳ සමාජයේ සැක සංකා මතු වීම නොවැළැක්විය හැකිය.
මුත්තයියා සභාදේවන් කොළඹ, කිරුළපන, පොල්හේන්ගොඩ පදිංචිව සිටි දෙමළ ජාතිකයෙකි. ජීවිකාව සඳහා ඔහු එදිනෙදා කුලී වැඩ කළේය. කොළඹ ප්‍රභූ නිවාසවල උද්‍යාන එළිපෙහෙළි කිරීම, ගස්වල අතු කැපීම, උදලු ගෑම සභාදේවන්ගේ රාජකාරිය විය. සිදුවීම ඇරඹෙන්නේ 2005 අගෝස්තු 13 දිනදීය. සභාදේවන් සිය බිරිය සමඟ කිරුළපන පොළට ගොස් ආපසු එමින් සිටියදී කොළඹ අරපාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි. අනතුරුව ඔහු රැගෙන යන්නේ බුලර්ස් පටුමඟේ පිහිටි තලෙයිසිංහම්ගේ නිවෙස වෙතය.
ඒ නිවෙසේ බැල්කනිය අසල තිබුණු ගසක අතු පෙන්නා, ඒවා කැපුවේ ඔහුදැයි පොලීසිය ප්‍රශ්න කළේය. ඒ අතු ඊට මාසයකට පමණ පෙර දවසක තමා විසින් කපන ලද බව සභාදේවන් පිළිගත්තේය. ඒවා කපන ලද්දේ තමන්ගේ ඉල්ලීම මත බව තලෙයිසිංහම් නමැති නිවෙස් හිමිකරු පොලීසියට පැවසීය. කදිරගාමර් ඝාතනය සඳහා වෙඩි තැබුවේ මෙකී නිවෙසේ බැල්කනියට ආසන්න කවුළුවක් තුළින් බව කියමින් පොලීසිය විසින් සභාදේවන් අත්අඩංගුවට ගන්නා ලදි.
සභාදේවන් පැවසූ ආකාරයට නිවෙසේ බැල්කනිය දෙසට වැවෙන පිහිඹියා ගසක අතු කපාදැමීම මාස එක හමාරකට පමණ වරක් දිගින් දිගටම ඔහු අතින් කෙරී තිබේ. ඔහුට එහි විශේෂයක් තිබී නැත. එමෙන්ම මේ තලෙයිසිංහම් නමැත්තා හිටපු ඉහළ පොලිස් නිලධාරියකුගේ පුතකු බවද කියවෙන අතර, ඔහු මේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත් වන්නේද නැත. ගසේ අතු කපන්න නියෝග දුන් තැනැත්තා නිදහස් වන අතර, අතු කැපූ තැනැත්තා අත්අඩංගුවට පත් වේ! කෙසේ නමුත් කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙනයන ලදුව ඔහුට චෝදනා එල්ල වන්නේ ලක්ෂ්මන් කදිරගාමර්ට වෙඩි තැබීමේ මුල් පෙළේ විත්තිකරුවකු වශයෙනි.
මාස තුනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබනු ලබන සභාදේවන් 2005 නොවැම්බර් 16 දින රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබේ. ඉන් පසුව 2008 වසරේදී කොළඹ අංක 1 මහාධිකරණයේ HC/4226/08 නඩු අංකය යටතේ සභාදේවන්ට එරෙහිව නඩු පැවරෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා යටතේය. මේ නඩුවෙහි සෙසු චුදිතයන් අතර එල්ටීටීඊ නායක ප්‍රභාකරන්, එහි බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාන් සහ සභාදේවන්ගේ දුරකතනයේ තිබූ අංකයක් නිසා අත්අඩංගුවට ගනු ලැබූ ඔහුගේ අසල්වැසි ඥාතියකු වන බාබු නමැත්තෙක්ද වෙති. සභාදේවන් පවසන ආකාරයට මෙකී කොටි නායකයන් සමඟ කුමන්ත්‍රණය කරනු තබා ඔහු කිසි දිනක කොටි සාමාජිකයකු දැක වත් නැත.
පොලීසිය සභාදේවන්ට එරෙහිව නඩු පැවරීමට උපයෝගි කරගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුගෙන් ගත් පාපෝ්චාරණ ලියවිල්ලකි. සිංහල භාෂාව තබා දෙමළ භාෂාව වත් ලිවීමට, කියවීමට නොදන්නා සභාදේවන් එකී පාපෝච්චාරණයේ අඩංගු වූයේ කුමක්ද කියා හරිහැටි දැන සිටියේ නැත.
දියවැඩියා රෝගයෙන් පීඩා විඳිමින්, නිසි ප්‍රතිකාරයක්ද නැතිව, දෑසේ පෙනීමද දුර්වල වෙමින් සිරගතව සිටි මේ මිනිසා වසර 15කට පසු – එනම්: 2019 ජූනි 22 දින – නොකළ වරදක් වෙනුවෙන් බන්ධනාගාරයේදීම මියගියේය.
ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම් දීමේ ආධ්‍යාශයෙන් ක්‍රියා කළ උත්තම මිනිසකු වූ ලක්ෂ්මන් කදිරගාමර් වෙඩි තබා මරා දමන ලද අතර, මේ ඝාතනය පිටුපස සිටියෝ කවරහුදැයි හෙළි වූයේ නැත. එහෙත්, සභාදේවන් නමැති අහිංසක දෙමළ මිනිසා ඒ වෙනුවෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවීය.
උදේනි සමන් කුමාර
ඡායාරූප – ලේක්හවුස් පුස්තකාලය අනුග්‍රහයෙනි.
සිළුමිණ පුවත්පතින් උපුටා ගැනිණි