පසුගිය පෙබරවාරි 19 වන දින බන්ධනාගාර බලධාරීන්ගේ භාරයේ සිටියදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පෙබරවාරි 21 වන දින අත්අඩංගුවේ සිටියදී පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිදුවීම් හරහා නීතියේ ආධිපත්‍යයට සිදුවූ බරපතළ තර්ජනය මතු කරමින් පසුගිය දිනවල මෙරට තුළ සිදුවූ ඝාතන ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමය කණස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය හරහා නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ, අපරාධ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා අනීතිකව, අධිකරණ ක්‍රියාවලියකින් තොරව සිදු කරන ඝාතන කිසිසේත්ම විසඳුමක් නොවන අතර අපරාධ මැඩපැවැත්විය හැකි වනුයේ රාජ්‍යය නීතියේ ආධිපත්‍යයට අනුගත වන විට පමණක් බවයි.
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවන පොලිසිය මෙන්ම බන්ධනාගාර බලධාරීන්ද මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා දැඩි ප්‍රවේශම් සහගතව සහ උපරිම වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වන බවද නීතීඥ සංගමය අවධාරණය කර තිබේ.
නිසි පරීක්ෂණවලින් තොරව අතීතයේදීද මෙවැනිම ඝාතන සිදුව ඇති බවත්, එම ඝාතනවලට සම්බන්ධ වූ වරදකරුවන් නීතිය හමුවට පමුණුවීමට මේ වන විටත් කිසිදු අර්ථාන්විත ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් නීතීඥ සංගමය කණගාටුවෙන් යුතුව පවසා සිටින අතර, පොලිසිය අතින් ඉහත සඳහන් පුද්ගලයින් දෙදෙනා ඝාතනය වූයේ කෙසේද යන්න විමර්ශනය කිරීම සඳහා වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ඝාතනය වීමේ සිදුවීම් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් නීතිඥ සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
දිගින් දිගටම මෙම පරීක්ෂණවල ප්‍රගතිය නිරීක්ෂණ කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පියවර ගන්න බවත්, සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් එම සංගමයේ නිරන්තර සහයෝගය ලබා දෙන බවත් නීතිඥ සංගමය අවසාන වශයෙන් පවසා තිබේ.