මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පළා යමින් සිටිය දී පොලිස් අත්අඩංගුවට ගත් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු සගවා ඇති ආයුධ පෙන්වීම යාමේ දී ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් පොලිස් වෙඩි පහරකින් මිය ගිය බව පොලිසිය පෙබරවාරි මස 22 දින නිවේදනය කළේ ය.
මේ ආකාරයේ හාසය උපදවන ප්‍රවෘත්ති පසුගිය කාලය පුරාම අසන්නට ලැබුනි. මෙසේ අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් සගවා ඇති ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරින් මිය ගිය අවස්ථා පිළිබදව විශාල ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ අපට තිබේ. මේ පිළිබදව සමාජය තුළත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුලත් අවස්ථා ගනනාවක දී ගැඹුරින් සාකච්ඡා වී තිබුනි.
මෙහි ප්‍රථිලයක් ලෙස අත්අඩංගුවට පත්වන සැකකරුවන් විමර්ශනයන් සදහා විශේෂයෙන් ආයුධ පෙන්වීමට පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස්කර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස 2023 වර්ෂයේ දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුනි.
මෙම මාර්ගෝපදේශ සැකසීමට පාදක වුයේ 2008 වසරේ කොම්පඤ්ඤ වීදිය පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවෙකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේ දී පළායාමට තැත් කළේයැ යි වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුවක් හේතුවෙනි.
නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහාත්, පොලිසිය කෙරෙහි පවතින අවිශ්වාසය දුරු කිරීමත්, අනාගතයේ දී මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා මෙම මාර්ගෝපදේශ සකස්කර අධිකරණය හමුවේ ගොනුකරන ලෙස පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරනය නියෝග කර තිබුනි.
මොනවද මේ මාර්ගෝපදේශ?
අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකුගේ ජීවිතය ආරක්ෂා කිරීම පොලිස් නිලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් විය යුතු අතර, ස්වභාවික අසනීපයක් වැනි අවස්ථාවල දී පවා ඔවුන්ගෙන් තොරතුරු විමසා රෝහල්ගතකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ යුතුය
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්, මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, ත්‍රස්තවාදී කටයුතු වැනි භයානක අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තැබීමේ දී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය
එවැනි සැකකරුවන් අත්අඩංගුවේ සිටින අවස්ථාවල දී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගබලා ගත යුතු අතර, සෑම පැය භාගයකට වරක්ම සැකකරු පිළිබඳව පරීක්ෂාකර උප සේවා නිලධාරියා විසින් ඒ පිළිබඳව සටහන් යෙදිය යුතුය
එවැනි සැකකරුවකු පිටතට රැගෙනයාමට අවශ්‍ය අවස්ථාවේ දී ඒ පිළිබඳව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීවරයා දැනුවත් කර ඊට අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය
අවශ්‍ය කරුණක දී හැර සැකකරුවන් පිටතට රැගෙන නොයාමට වගබලා ගත යුතු අතර එසේ පිටතට රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව නිශ්චිතව සටහන් විය යුතුය
අවි ආයුධ උදුරාගැනීමට තැත් කිරීමේ සිද්ධීන් හා සැකකරුවන් පැනයාම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගත යුතු අතර, එසේ කිරීමට නොහැකි වන පරිදි අදාළ සැකකරු සුදුසු වාහනයක් තුළ සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමට ද වග බලා ගත යුතුය
ගිනි අවි සහ අත්බෝම්බ සඟවා ඇති ස්ථානවලට සැකකරුවන් රැගෙන යන අවස්ථාවල දී අත් විලංගු ලා රැගෙන යාමට නිලධාරීන් වගබලා ගත යුතු අතර, සැකකරුගේ මඟපෙන්වීම මත නිලධාරීන් විසින් අදාළ සෝදිසිය සහ පරීක්ෂාව සැකකරු ඉදිරියේ සිදුකළ යුතුය
එවැනි සෑම අවස්ථාවක දීම වීඩියෝගත කිරීමට නිලධාරීන් වගබලා ගත යුතු අතර, එවැනි වීඩියෝ දර්ශන සැකකරුවකුට එරෙහිව සාක්ෂියක් වශයෙන් ද යොදා ගැනීමට හැකියාව පවතින අතර යම් සිදුවීමක් ඇති වුණහොත් එහි විනිවිදභාවය ආරක්ෂා කිරීමටත් වැදගත් වේ
කිසිදු අවස්ථාවක සැකකරුවකු කායිකව හෝ මානසිකව වධ හිංසනයට භාජනය නොවීමට වගබලා ගත යුතු අතර, පාපොච්චාරණයන් ලබාගැනීම සඳහා තර්ජනය කිරීම, පෙළඹවීම් හා පොරොන්දු ලබාදීම වැනි ක්‍රියා නොකිරිමට වග බලා ගත යුතුය
සැකකරුගේ ළඟම ඥාතීන්ට හා නීතිඥවරයාට අවශ්‍ය අවස්ථාවල දී ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදීමට කටයුතු කළ යුතුය
පොලිස් විමර්ශනවලට බාධා නොවන පරිදි ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උපරිම සහාය ලබා දිය යුතුය
අත්අඩංගුවට පත් සැකකරුවෙකු මියගිය අවස්ථාවක දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය ද අදාළ මාර්ගඋපදේශ මාලාවේ ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවේ දී යම් පුද්ගලයෙකු මියගිය අවස්ථාවක ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කළ යුතු වේ
පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවකු මියගිය අවස්ථාවකට අදාළ විමර්ශනය අවස්ථානුකූලව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, පළාත භාර නියෝජ්‍ය පොලිස්පති හෝ කොට්ඨාශය භාර අධීක්ෂණ නිලධාරියාගේ අධීක්ෂණය යටතේ විමර්ශනය සිදුකළ යුතුය
එවැනි විමර්ශනයක් සිද්ධිය වූ පොලිස් ස්ථානයෙන් පරිබාහිර වෙනත් පොලිස් ස්ථානයක නිලධාරීන් යොදවා සිදුකළ යුතුය
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුගේ ළඟම ඥාතීන්ගෙන් හා බාහිර පාර්ශවයන්ගෙන් හැකිතාක් ස්වාධීන සාක්ෂි සටහන් කරගැනීම වැදගත් වේ
එවැනි සිදුවීමක දී යම් නිලධාරියෙකුගේ රාජකාරිය පැහැර හැරීමක් වැනි කරුණක් අනාවරණය වුවොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කළ යුතු අතර, එවැනි අවස්ථාවක අදාළ සිද්ධිය පිළිබඳව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරු තමන් යටතේ තිබෙන විශේෂ විමර්ශන ඒකකය මඟින් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතුය
සිද්ධියේ සංකීර්ණභාවය මත අදාළ විමර්ශනය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් සිදුකළ යුතු බවට පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තීරණය කරන අවස්ථාවක අදාළ විමර්ශනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශය ද සහිතව පොලිස්පතිවරයා වෙත යොමු කළ යුතුය
මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිටතට විමර්ශන කටයුතු සඳහා රැගෙන යාමේ දී මෙම උපදෙස් මාලාව අනුව කටයුතු කිරීමට නිලධාරීන් වගබලා ගත යුතුය
මෙම උපදෙස්වලට පටහැනිව යම් නිලධාරියෙකු කටයුතු කර ඇතිබවට අනාවරණය වුවහොත්, ඔහුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පතිවරයා විසින් 2023 වසරේ දී දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට නිකුත්කර තිබෙන මෙම මාර්ගෝපදේශ මාලාව තුළන් අවධාරණය කර තිබේ.