වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව සංශෝධන ඇතුළත් නීතියක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවට වාර්තාවන අතර කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පවතින ගැටළු පිළිබඳව රජය සිය අවධානය යොමුකර ඇති බවයි.
කැබිනට් තීරණයේ සදහන් වන ආකාරයට ‘ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සම්බන්ධයෙන් එවකට පැවති තර්ජනයන්ට මුහුණ දීම සඳහා 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පනවා ඇති අතර පසුකාලීනව 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් එම නීතියට සංශෝධන හඳුන්වා දීය. එමෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ පුළුල් නීතියක් ප්‍රකාශ කිරීම සඳහා වන අන්තර්කාලීන පියවරක් අනුගමනය කර තිබේ. ඉන් අනතුරුව, ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳව පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, එකී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කර ඇත.
ඒ අනුව, එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදුකළ යුතු සංශෝධන හඳුනාගෙන එකී සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කර ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර එකී පනත් කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කිරීම පිණිස සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවට වාර්තා වේ