ජාත්‍යන්තර සබඳතා විෂයෙහි ඇළුම් කරන්නෝ රාජ්‍ය තාන්ත්‍රිකයා යනු කවුදැයි අසන සම්ප්‍රදායික පැනයට ලබාදෙන සුපුරුදු පිළිතුරක් ඇත්තේය. ඒ මෙපරිදිය. “A diplomat is someone who can tell you to go to hell in such a way that you actually look forward to the trip. ”රාජ්‍ය තාන්ත්‍රිකයා යනු ඔබ සැබෑවටම සංචාරයකට එක් කරන්නා සේ ඔබට නිරය වෙත යොමු වන්න යැයි කිව හැකි තැනැත්තෙකි”. බැලූ බැල්මට මෙවදන් නිශේධාර්ථ දනවන ඇත්තය. එහෙත් එවදන් මඟින් අවධාරණය කරනු ලබන්නේ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයා, හිස් හෝ කුරිරු පණිවුඩයක් වුව, එය අසන්නා වෙත දනවනු ඇත්තේ සවනට මී බිඳු හෙළන්නා සේ බවයි. ජූලි ද එලෙසය. ජූලි ජේ.චංග් යනු අලියානා බී. ටෙප්ලිට්ස් වෙතින් හිස්වූ තානාපති ධූරය සඳහා වසර 2022 පෙබරවාරි මස 25 වැනි දින බයිඩන් ආණ්ඩුව විසින් පත්කරන ලද තානාපතිනියයි.
ඇය 29 වසරක අඛණ්ඩ විදේශ සේවා අත්දැකීම් සහිත සම්මානිත තැනැත්තියකි. මෙරටේ විදෙස් තානාපති දූත සේවාවේ අතීතය සහ වර්තමානය එකට යා කොට සරල නිරීක්ෂණයක් කරන්නේ නම් කිව හැක්කේ ප්‍රේමදාස යුගයේ මෙරටේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයා වූ ඩේවිඩ් ග්ලැස්ටන් (1991) හෝ වික්‍රමසිංහ සමයේ (2000) සාම ක්‍රියාවලිය පිටුපස සිටි නොර්වේ විශේෂ නියෝජිත එරික් සෝල්හයිම් හා සමාන්තරව හෝ ඊටත් වඩා මෙරටේ විවාදයට, අපවාදයට හා තැනින් තැන කලාතුරකින් වෙසෙස් පැසසුමට ලක්වූ විදෙස් දූත මණ්ඩල නියෝජිතයෙක් වේනම් ඒ මෙකී ජූලි නෝනා බවයි.
ඇය මේ ගෙවා දමන්නේ තම ශ්‍රී ලංකා මෙහෙයුමෙහි අවසන් දින කිහිපයයි. තාක්ෂණිකව ඇය අද දිනය වන විට මෙරටේ දින 1091ක් ගත කොට ඇත. ඒ අනුව එක්සත් ජනපද විදෙස් ප්‍රතිපත්තියේ අසාමාන්‍ය වෙනසක් සිදු නොවන්නේ නම් ඇය මෙහි රැඳී සිටිනු ඇත්තේ තවත් දින 05 ක් පමණි. එකී දින 05 තුළ සමහරවිටෙක ඇය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හමුවී තමා මෙම දූපත් රාජ්‍යයෙහි පවත්වන අවසන් රාජ්‍ය තාන්ත්‍රික හමුව පවත්වනු ඇත්තේය.
ලතින් බසින් වහරණ ලෙසම ‘මිත්‍රත්වය තුළින් සාමය’ (Ex Amicitia Pax) ඇතිකරලීම ඩිප්ලෝමැටිකයන්ගේ වෘත්තීයබවෙහි උත්කෘෂ්ඨ ලක්ෂණය වන්නේ නම් සාමය කෙසේ වෙතත් ජූලි හැමවිටම කොන්දේසි විරහිත මිත්‍රත්වයේ දෑත් සතර දෙසින් පැමිණෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශව වෙත විදහා තබා ගැනීමට සමත් වූ කතක් බව අගති විරහිතව දැක්විය යුතුව ඇත්තේය. එබැවින් සමාන සිතිවිලි සහිත හා රහිත පරදුකාරකයන් අතර වෙනසක් නොමැතිවම ජූලි අතිශය ජනාදරයට පත්ව සිටින්නීය. කරුණු කෙසේවෙතත් බයිඩන් ආණ්ඩුවේ තෝරාගැනීම ට්‍රම්ප් සහ ඉලෝන් මස්ක් ද පිළිගන්නේ නම් බොහෝදුරට මෙරටේ මීළඟ තානාපතිනිය හෙවත් ජූලි අනුප්රාප්තිකාව වනු ඇත්තේ එළිසබෙත් කේ. හොර්ස්ට්ය (Elizabeth K. Horst).
ඒ අල්ලපනල්ලේ ඇමෙරිකා එක්සත් ජනපද වාසීහු තම අභිනව හෙවත් 47 වන ජනාධිපතිවරයා තෝරාගත්හ. එය ගෝලීය සංදර්භයක නිවැසි සැම දැඩි තිගැස්මකට ලක්කරන්නක් වූ බව නොකිවමනාය. එමඟින් තවත් එක් ප්‍රචලිත මුසා බසක්ද බිඳ වැටිණි. එනම් බටහිර රාජ්‍ය දේශපාලන අධිකාරියේ වෙනස්කම් මත්තේ තම විදෙස් ප්‍රතිපත්තිය වෙනස් නොකරන්නේය යන්නයි. එක්සත් ජනපද ඕවල් මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකා කැරොලින් ලෙවිට් තම මුවින් මුදාහරින සෑම ආක්‍රමණශීලි හා අහංකාර වදනක් පාසා ඩිමොක්රට්වරුන් පරසක්වල ගසන අතර මෙතෙක් ඩිමොක්රට්වරුන් කල එකදු ක්‍රියාවක් හෝ එක්සත් ජනපද ජනයාගේ අභිලාශ මූර්තිමත් කොට නොමැති බව පවසා සිටින්නීය.
මෙයනම් මහා අරුමැසි මොහොතකි. පෑම් බොන්ඩි එක්සත් ජනපද නීතිපතිවරිය ලෙසින්ද, ඉලෝන් මස්ක් නිල නොවන රාජ්‍ය නායකයා ලෙසින්ද, කැරොලින් ලෙවිට් එදාමෙදා තුර එක්සත් ජනපදය බිහිකළ ලාබාලතම හා අහංකාර පරවශ ම මාධ්‍ය ප්‍රකාශිකාව ලෙසින්ද ලෝක ප්‍රජාව අමතමින් ඩිමොක්‍රටික්වරුන් වෙත සිදුකරන අපවාද හා තර්ජන යනු මෙතෙක් එක්සත් ජනපදයේ සිදුවූ සාහසිකම පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා සංතතිය බව නොවළහා සටහන් කොට තැබිය යුතුය. බලය මෘදු ලෙස හුවමාරු වුවද, රිපබ්ලිකන්වරුන්, ඩිමොක්රටික්වරුන්ට එරෙහිව අරඹා ඇති අදිසි වාග් සංග්‍රාමය දුරාතීතයේ ඇති වුනැයි කියන සුර -අසුර යුද්ධය සිහිගන්වන්නේය.
මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවේ වාමාංශික නැඹුරුවක් හා ප්‍රචණ්ඩකාරී අතීතයක් සහිත දේශපාලන ව්‍යාපාරයක් වුවද, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනබලවේගය ලෙස නිර්මාණය වී අනුර කුමාර දිසානායක (AKD) අදියුරුවරයා ලෙස තබාගෙන මෙරටේ අවසන් වරට පවත්වන ලද ජනාධිපතිවරණය, කවර ලෙසින් පැවැත්වූයේද යන්න ඇමෙරිකාව සිහිනෙන් පවා දැකීම වටීයැයි පැවසීම ඔවුනට කරන අපහාසයක් නොවේ. ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ අභියස AKD තම පාක්ෂිකයන් හැසිරවූ විලාශය මැතිවරණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට දශක ගණනාවක් තිස්සේ ටියුෂන් ලබාදුන් ඇමෙරිකාව, ඩොලර් බිලියනයක් හෝ ලබාදී උගත යුතු යහපත් පරිචයකි. සෑම ජයග්රහණයකදී ම එහි ප්‍රීතිය භුක්ති විඳීමට රස නුසුන් කිරිබත් අනුභව කරන ශ්‍රී ලාංකිකයන්, මෙවර විපාක්ෂිකයා විපිළසර වේයැයි සිතා කිරිබත් හෝ නොකෑම AKD පෑ පෙළහරකි. එවන් ජේ.වී.පී.කාරයන් අභියස ඇමෙරිකාවේ රිපබ්ලිකන්වරු තමන් තුළ නැති ශ්‍රේෂ්ඨත්වයක් සොයා යන්නන් වන අතර ඔවුන් කෙදිනක හෝ තම නැතිවී ගියේයැයි කියන ශ්‍රේෂ්ඨත්වය සොයාගනු ඇත්තේ නිරයේ ප්‍රධාන දොරටුව අසළිනි (පශ්චාත් මැතිවරණ සමයේ රාජ්‍යකරණය හා සබැඳි NPP කෙරුවාවට මෙමඟින් කිසිදු සහතිකයක් ලබාදීමට අදහස් නොකෙරේ).
ජූලි ද මේ සුර-අසුර යුද්ධයේ යම් නිශ්චිත තැනක ස්ථානගතව සිටින්නියකි. ඊට හේතුව නම් ට්‍රම්ප් -මස්ක් සුසංයෝගය සිතන පරිදි ඇමෙරිකාව නැවත විශිෂ්ඨත්වයට පත්කිරීමේ දිව මතුර USAID අහෝසි කිරීම වීමයි. ශ්‍රී ලංකාව යනු USAID තදින් වෙළාගත් හා මෙරටේ පාර්ලිමේන්තුවේ සිට මරණාධාර සමිතිය දක්වා ඇදහිය නොහැකි අන්දමේ සහයක් තිළිණ කල ප්‍රමුඛතම විදෙස් ආයතන පද්ධතියයි. ඊට සමගාමීව කවදත් සිදුවන පරිදි සරත් වීරසේකර ඇතුලු ජාති(ක)වාදී සුලුතරය ගාලුපාරබදව දිස්වන විසල් ඇමෙරිකානු තානාපති මන්දිරය දෙස බලාගෙන කුමක් හෝ මුමුනමින් සම්ප්‍රදායික විරිත්තීම සිදුකොට ඇත්තේය. මෙවන් ප්රවණතා රජයන මොහොතක ජූලි බත්තරමුල්ල, නෙලුම් මාවතේ ස්ථාපිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලය වෙත පාතබා තිබේ.
තම දේශපාලන පක්ෂය පිහිටුවා ඉතා කෙටි කලෙකින් ප්‍රාදේශීය මෙන්ම ආණ්ඩු බලයද ලත් පොහොට්ටු පක්ෂයේ කාර්යාලය වෙත ජූලි පා තැබීම කිසිසේත් නොවිය යුත්තක් නොවේ. ඇය එහි යා යුතුමය. එහෙත් ඇය එහි ගිය මොහොත සංකේතීයය. පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ රෑ සිහිනෙනුත් USAID අරමුදල් ලත් ශ්‍රී ලාංකිකයන් ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලමින් සිටී. ඒ අතරතුර පොහොට්ටුවේ ඉදිරිපෙළ බර දරන්නන් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්වෙමින් එයම ප්රතිරාවය කරමින් සිටී. එවැනි නිමේෂයක ජූලි එහි යෑම එක් පසෙකින් නාමල්ට ගෞරවයකි. එමඟින් සන් කරනු ලබන්නේ මේ මොහොතේ විපක්ෂය සතු ඉතා සීමිත අනාගත ආයෝජනය කිහිපයෙන් එකක් ඔහු බවයි.
තවත් පසෙකින් ජූලි තම ඩිප්ලෝමැටික අත්දැකීම මෙහිදී කදිමට අභ්‍යාස කරන්නීය. එනම් තමන් වෙත අපවාද නැගීමේ ඉමහත් බලයක් සහිත පක්ෂය හා තැනැත්තා ඇය මොනවට හඳුනා ගැනීමයි. විමල් වීරවංශ කවරක් තෙපලුවද මේ මොහොතේ ඔහුට සවන් දෙන්නෙක් මේ දෙරණත නැති වග ඉතා පැහැදිළිය. එනයින් ඇය නෙලුම් මාවතට ගොස් USAID ආධාර පිළිබඳ ඇමෙරිකානු තානාපති කාර්යාලය ද විගණනයක් කරනු ලබන බව ශපථ කළාය. ඊට ප්‍රතිචාර ලෙස සුබ බසක් තෙපලිය යුතු නිසාදෝ පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් ද කියූවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අභියස සිටි යේ පොහොට්ටුවන් වුවද එය කිසිසේත් තම පක්ෂයේ තීරණයක් නොවන බවයි. ඒ ද ජූලිගේ ජයකි (නාමල් කෙදිනක හෝ ජනපති තරඟයට ඉදිරිපත් වනු ඇතිද, එදින ඔහුගේ ජයග්‍රහණය පසුපස විදෙස් රටවල් කිහිපයක් සිටිනු ඇති අතර එකී රටවල් ලැයිස්තුවේ යම් හෙයකින් ඇමෙරිකාව සිටින්නේ නම් එලෙස ජූලි එහි ගිය දිනය පෙරකී අනාගත ආයෝජනයේ ප්‍රාථමික ගිණුම ඇරඹු දිනයද වනු ඇත්තේය).
ඉදින්, රාජපක්ෂ විරෝධය හමුවේ මැඩ ගත් සිතින් හා විඩාපත් ගතින් කල් ගෙවන ලද සිවිල් සමාජ සාමාජිකයෝ සිතිය යුත්තේ ලෝක පර්යායේ චලනයට සමතුලිත ගෝලීය බලවතුන්ගේ ප්‍රතිචාර හැමවිතමන්ට රුචිකර හා වාසිසහගත නොවන බවයි.
දැන් මා ඔබෙන් මෙසේ අසමි. ජූලි යනු මෙම සටහන ඇරඹුමේදීම දැක්වූ පරිදි අසහාය පරිචයෙන් හා සතතාභ්‍යාසයෙන් තම වෘත්තීමය විදෙස් සේවාවේ කෙළ පැමිණි තැනැත්තියක් නොවේද? ඊට නිදසුන් පරිදි එක් කරුණක් ගැන පමණක් අවධානය යොමු කිරීම වටී. එනම් USAID මඟින් මෙරටට ලබාදෙන ලද අරමුදල් විගණනයයි.
රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙක් ලෙස මමද එවැන්නක් මෙරටේ පාර්ලිමේන්තුවෙන් මෙන්ම ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ද සිදුකරන්නේ නම් ඉතා කැමැත්තෙමි. එවැනි අභ්‍යාසයකදී හෙළි විය හැකි කරුණු කිහිපයක් සැකෙවින් මෙලෙසය.
01. USAID ඇතුලු මෙරටේ ක්‍රියාත්මක තානාපති කාර්යාල සහ මහා කොමසාරිස් කාර්යාල තම අරමුදල් අතරින් වැඩි ප්‍රතිශතයක් ලබාදී ඇත්තේ වීරවංශ/ගම්මන්පිල දෙබෑයන් හෝ නාමල් කුමරුන් කියන පරිදි රාජ්‍ය නොවන සංවිධාන වලට නොවේ. රජයේ විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් දියත් කිරීම සඳහාය.
02. USAID අරමුදල් පිළිබඳ විගණනයක් කිරීම ආණ්ඩුවේ කාර්යාලයකින් උප්පැන්න සහතිකයේ කොපියක් ගැනීමටත් වඩා පහසු කාර්යයකි. ඇමෙරිකානු තානාපති කාර්යාලය එකී අරමුදල් පිළිබඳ සෑම නිමේෂයකදීම අවදියෙන් හා අවබෝධයෙන් සිටි අතර USAID සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය යනු මෙරටේ ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය තරම්වත් දුරස්ථ ආයතන දෙකක් නොවේ. පොහොට්ටුව සිතනවාට වඩා ජූලි සුහුරු හැකියාවෙන් පිරිපුන්ය (Smart).
03. එවැනි විගණනයකදී සිදුවිය හැකි එක් ප්රතිවිපාකයක් විය හැක්කේ USAID යනු කුමක්දැයි කියා හෝ නොදන්නා සේ හැසිරෙන සරසවි ඇදුරන්, මෙන්ම වෙනත් වෘත්තිකයන් සහ තවත් බොහෝ රජයේ විශ්‍රාමිකයන් නිරාවරණය වීමයි. කෙසේ වෙතත් අවසන NGO බැනුම් ඇසුවද USAID සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම විදෙස්හි මෙරටේ පිහිටි අනෙකුත් තානාපති කාර්යාල සහ මහා කොමසාරිස් කාර්යාල බෙදාහරින අරමුදල් යනු මෙරටේ රාජ්‍ය දේහයේ ඓන්ද්‍රීය කොටසක් බව ඉහත විගණනයෙන් හෝ ජනීජනයා දැනගනු ඇත (තානාපති කාර්යාල සහ මහා කොමසාරිස් කාර්යාල මඟින් සංවිධානය කරන ඔවුන්ගේ වාර්ෂිකව පැවැත්වෙන සම්ප්‍රදායික දින සැමරීම සඳහා ජෙෆර්සන් මන්දිරය ඇතුලු අනෙකුත් පරිශ්‍ර වෙත ගොස් එහි සිටින අමුත්තන් අතර වැජඹෙන ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලන නායකයන් හඳුනාගැනීම අභ්‍යාසයක් ලෙස සිදුකරන්න. එදින සිට ඔබ රැල්ලට විදෙස් දූත මණ්ඩල විවේචනය කිරීමේ පුරුද්ද අත් හරිනු ඇත).
ගාර්ඩියන් වෙබ් අඩවිය මෑතදී දැක්වූයේ ජූලි ශ්‍රී ලංකා සිතියම තම වම් පාදයේ සිත්තම් කරගෙන සිටින බවයි. ඒ පුවත ඇසූ සමහරු ඊට දුන් අර්ථකතන අතර
වැඩිමනත් ඒවා පැවතියේ ජූලිගේ ක්‍රියාව සංකේතාත්මක බවත් එය ශ්‍රී ලංකාව යම් අවතක්සේරුසහගත මානයකින් දැකීමේ උත්සහයක් බවත්ය. එහෙත් ජූලි තම තෙවසරක කාලය මෙරටේ සිටිමින් කල කී දෑ පිරික්සීමේදී තහවුරු වනු ඇත්තේ කුමක්ද?
ඇය අනාගතවාදී ඩිප්ලෝමැටිකියක් බවත්, ට්‍රුම්ප් -මස්ක් සුසංයෝගය, ඇමෙරිකානු විදෙස් පිළිවෙත පසෙකලා ඇය ශ්‍රී ලංකාවේ සේවයට නැවත කැඳවුවහොත් එයද පුදුමයට කරුණක් නොවන බවත්ය. එදිනට රාජපක්ෂවාදීන් වුව සිතනු ඇත්තේ ජූලි අප ලංකා සිතියම තම වම් පාදයේ නොව ශරීරයේ කොතැනක වුව කොටා ගැනීම මුසප්පු වීමට තරම් බරපතල කරුණක් නොවන බවයි.
ශ්‍රී ලංකාව බංකලොත් වී ඇත්තේ ජූලි නෝනා වැන්නන් අපි අතර සිටින නිසා නොවේ. අප සතුව ජූලි වැන්නන් නොමැති වීම නිසාය.
මංජුල ගජනායක