සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නඩු අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට තීරණයක්!

ananda wijepala Criminality in Sri Lanka

විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග ඉදිරියේදී අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ඊයේ (19) අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදු වූ වෙඩී තැබීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළේ ය.

ඔහු සඳහන් කළේ, ඊයේ අලුත්කඩේ අධිකරණය තුළ වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ නිසි ක්‍රමවේදයන්ට අනුව ආරක්ෂක නිලධාරීන් යොදවා සිටි බවයි.

අධිකරණය තුළදී ගිනි අවි භාවිතයට ආරක්ෂක නිලධාරීන් සඳහා අවසරය නොමැති බවත් ප්‍රවේශ වීමේදී නීතිඥවරුන් පරීක්ෂණයට ලක් නොකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අධිකරණ පරිශ්‍රයට පිවිසෙන පුද්ගලයින් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදයේ යම් දුර්වලතාවයක් පැවතුණේ නම් ඉදිරියට එවැන්නක් සිදු නොවීමට ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කරන බවයි.

ඒ අනුව බුද්ධි අංශ ලබා දෙන තොරතුරු මත පදනම්ව මහජන ආරක්ෂක සැලසුම් ශක්තිමත් කිරීම තම අමාත්‍යංශයේ බලාපොරොත්තුව බව අමාත්‍ය ආනන්ද විජයපාල සඳහන් කළේ ය.

මේ අතර ඊයේ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යොදවා විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, ඊට අමතරව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින්ද මූලික විමර්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

theleader.lk

Social Sharing
අවකාශය නවතම