නීතිය අතට ගෙන බලවත් මිනිස්සු පමණක් රකින නීතියකට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පසුගිය 16 වැනිදා මුලතිව් නගර ශාලාවේ පැවැති රැස්වීමකදී පැවසීය.
එළඹෙන වසරේ සිට දරුවන්ගේ ඉගෙනුම් ක්‍රම අලුත් කරමින් ගුරුවරුන්ට මනා පුහුණුවක් ලබා දෙමින් දරුවන්ට සතුටින් ඉගෙනීමට හැකි පාසල් පද්ධතියක් ගොඩනැගීමට උත්සාහ කරන අතර මේ රට වෙනස් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව වත්මන් ආණ්ඩුව තදින්ම විශ්වාස කරන බව පවසමින් ආණ්ඩුව සහ පුරවැසියා එක ලෙස එක් වූ විට ඒ වෙනස්කම් හැකි ඉක්මනින් ලඟා කරගත හැකි බවද සඳහන් කළාය.
මෙහිදී පැමිණ සිටි මහජනතාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය,
” අපි ඇවිත් ඉන්නෙ ඔබ දුන් ජනවරමත් එක්ක. අපට එකඟතාවය තියෙන්නෙ ඔබත් එක්ක. සියලුදෙනාට සමානාත්මතාවය තියෙන සියලුදෙනා පිළිගන්නා සියලුදෙනාට ආරක්ෂිතව ජීවත් විය හැකි රටක් අපි එකතුවෙලා හදමු. එකතුවුණාම අපි ශක්තිමත් , කාටවත් අපි බෙදන්න බෑ. ඔබ මේ රටේ විශාල වෙනසක් සිදු කලා. ඒ වෙනස වෙන පැත්තකට ගෙනියන්න අපි ඉඩදෙන්නෙ නෑ. ජාතිවාදය අවුස්සන්න අපි ඉඩ දෙන්නෙ නෑ . නීතිය ඕනෑ විදිහට අතට අරගෙන බලවත් මිනිස්සු විතරක් රකින නීතියකට අපි ඉඩ තියන්නෙ නෑ.
මෙතෙක් කල් මේ රටේ සංවර්ධනය හැම ප්‍රදේශයකම එකම විදිහට වෙලා නෑ. අපි සමස්ථ දිවයිනම කේන්ද්‍ර කරගත් සංවර්ධන ක්‍රමයක් සැලසුම් කරමින් යනවා.
අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට මෙන්ම ළමයි 300 අඩුවෙන් සිටින පාසල්වල දරුවන්ට රුපියල් 6000/= වවුචරය පාසල් උපකරණ මිලදී ගන්න අපි දීලා තියෙනවා.
2026 අපි නව විෂය නිර්දේශයක් හඳුන්වා දෙන්න කටයුතු කරනවා. පාසල් අධ්‍යාපනය අවසන් කරලා සමාජයට යන දරුවාට තමන්ගේ අනාගත ගමන්මග සකස් වෙලා තියෙන්න ඕන . අපි දන්නවා මේක කරන්න ලේසි නෑ. අපි තෝරගෙන තියෙන මාර්ගයත් ලේසි නෑ හැබැයි අපි කොහොම හරි මේක කරන්න ඕන. ඔබ අප මත තබලා තියෙන විශ්වාසය ඒ බලාපොරොත්තුව අපි රැක ගන්නවා.”
සියලුදෙනාටම පොහොසත් රටක්, සියලු දෙනාටම ලස්සන ජීවිතයක් ලබා දීම වෙනුවෙන් රට ගොඩනැගීමේ ක්‍රියාවලියට සියළු දෙනාම එකතුවන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉල්ලා සිටියාය.