පොලිසිවලට කඩාපනින්න පොලිසියෙන්ම බළකායක්

අපරාධ මර්දන කටයුතු ඇතුළු මහජන සේවය නිසි ලෙස පොලිස් ස්ථාන මඟින් සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා පෙර දැනුම්දීමකින් තොරව පොලිස් ස්ථාන තුළ හදිසි වැටලීම් සිදු කිරීමට පොලිස් හමුදාවක් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් යොදවා ඇති බවට වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ අධීක්ෂණයෙන් පොලිස් අධිකාරීවරු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනකුගෙන්ද සමන්විත මෙම පොලිස් වැටලීම් හමුවේ පොලීස් ස්ථානවල දෛනික කාර්‍යයන් වර්තමානය වනවිට ක්‍රමවත්ව සිදුවෙමින් පවතින බව සඳහන් වේ. මෙම පොලිස් කණ්ඩායම පොලිස්පතිවරයාට ඝෘජුව වගකියන කණ්ඩායමක් වන අතර රටපුරා ඇති පොලිස් ස්ථාන 607ම ඔවුන්ගේ පරීක්ෂාවට ලක්වන බව වාර්තා වේ. එමෙන්ම ඇතැම් පොලිස් ස්ථාන එකවරකට වඩා වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කෙරෙනු ඇති බව සඳහන්ය. දැනටමත් පොලිස් ස්ථාන රැසක් මෙම පොලිස් කණ්ඩායමේ දැඩි පරීක්ෂාවට ලක්ව තිබේ.

ඒ අනුව මෙම වැටලීම් තුළින්,

1. පොලිස් ස්ථානවලට පැමිණෙන පැමිණිලි නිසි ලෙස විමර්ශනයට ලක් වන්නේ ද?

2. අපරාධ පැමිණිලි විසඳා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේද?

3. සුළු පැමිණිලි විභාග කිරීම් නිසි ලෙස සිදුව තිබේද?

4. වරෙන්තු ක්‍රියාත්මක කිරීම

5. අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම්වල ප්‍රගතිය මෙහි දී විශේෂයෙන් සලකා බලා විමර්ශනයන්ට ලක්කෙරනු ඇත.

6. පොලිසිවල ඇති පොත්පත් ද පරීක්ෂාවට ලක්කරන අතර විසඳා අවසන් බව සඳහන් පැමිණිලි සැබෑ ලෙසම විසඳා තිබේදැයි සැකහැර දැන ගැනීමට අහඹු ලෙස තෝරාගන්නා පැමිණිලිවලට සම්බන්ධ පැමිණිලිකරුවන්ට දුරකථන ඇමතුම් දෙමින් තොරතුරු ද විමසීමක් ද

පොලිස් හමුදාව විසින් සිදුකරන බවට වාර්තා වේ. එපමණක්ම නොව පොලිස් අවි ගබඩාවන් සහ පොලිසියේ නඩු බඩු ගබඩාවන්ද මෙහි දී පරීක්ෂාවට ලක්කරන බවත් එසේම පොලිස් ස්ථානවල ඇති භාණ්ඩ ලේඛනද වෙන වෙනම පරීක්ෂාවට ලක්කරන බව ද සඳහන්ය. මෙලෙස දැනට සිදුකරන ලද හදිසි පරීක්ෂා කිරීම් තුළින් ඇතැම් පොලිස් ස්ථානවල භාණ්ඩ අඩු වැඩිවීම් දක්නට ලැබී ඇති අතර ඇතැම් සුළු පැමිණිලි මෙන්ම අපරාධ විමර්ශන නිසි ලෙස සිදුකර නොමැති අවස්ථා ද අනාවරණය වී තිබේ.

පසුගිය කාලයේ අපරාධ අඩුබව පෙන්වීමට ව්‍යජ පැමිණිලි පොත් පොලිස් ස්ථාන මගින් පවත්වාගෙන ගොස් තිබුණු අතර ඇතැම් පොලිස් ස්ථාන මගින් පැමිණිලිකරුවන් රස්තියාදුකරමින් පැමිණිලිකරුවන්ගේ පැමිණිලි සටහන් නොකරගන්නා තත්ත්වයක් ඇති වී තිබේ. මෙම විමර්ශනයන් තුළින් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ කාර්ය සාධනයද ඇගයීමකට ලක්කරන අතර එම කාර්‍ය සාධනයට අනුව පොලිස් ස්ථානාධිපතිවරු තවදුරටත් එම තනතුරුවල රැඳී සිටීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණ ගැනීමට නියමිතය.

පොලිස් ස්ථානයන් තුළ මේ ආකාරයෙන් පරීක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකා පොලිසියට මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ 33 වැනි පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි එන්.කේ. ඉලංගකෝන් මහතා විසිනි.

Social Sharing
අවකාශය නවතම