පෙර සටහන අවසන් කළේ මේ විදිහටයි: “පුනර්ජනනීය බලශක්ති ප්‍රභව එකතු කරද්දී පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගන්න අසීරු වෙනවා. ඒ වගේම, මේ ප්‍රශ්නයට විසඳුම්ද තිබෙනවා. අවසාන වශයෙන් මේ ප්‍රශ්නයත් පිරිවැය අවම කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නයක්!”
මේක මැක්කෙක් නෙමෙයි. ඒ කියන්නේ කැරකිලා අන්තිමටම ආර්ථික කරුණු වෙත ප්‍රශ්නය ලඝු කිරීමක් නෙමෙයි. යම් සීමාවකින් එහාට ජාතික විදුලි පද්ධතිය ස්ථායී ලෙස පවත්වා ගැනීමේ ප්‍රශ්නයද ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙනවා.
මේ සටහන් ලියන්නේ අදාළ අංශ වල ඉංජිනේරුවන්ට උපදෙස් දෙන්න නෙමෙයි. ඒ වගේම, මෙහි ආර්ථික කරුණු හා අදාළ සටහන් ලියා පළ කරන්නෙත් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ට උපදෙස් දෙන්න නෙමෙයි. මේ සටහන් දැනුම වෙනුවෙන්, විනෝදය වෙනුවෙන් හෝ වෙනත් හේතුවක් වෙනුවෙන් සිංහල වියුණු හා වත්පොත් සටහන් කියවන සහ එයට ඇබ්බැහි වී සිටින පොදු පාඨකයින් වෙනුවෙන් ලියන සටහන් පමණයි. ඒ අය අතර ඉහත කී කණ්ඩායම් වලට උපදෙස් දිය හැකි විශේෂඥයින් ඉන්න පුළුවන්. ඒ අයට කැමතිනම් ප්‍රතිචාර දක්වමින් සංවාදයට එකතු විය හැකියි.
සටහනක් ලියද්දී අප විසින් වැඩි ප්‍රමුඛතාවය දෙන්නේ ඉලක්ක කණ්ඩායමට පහසුවෙන් තේරුම් ගත හැකි තරම් සරලව අවශ්‍ය කරුණු විස්තර කරන්නයි. නමුත්, වෘත්තීය කටයුතු අතර, වෘත්තීය නොවන කටයුත්තක් ලෙස, එක දිගට මේ සටහන් ලියා පළ කරද්දී ඒ වෙනුවෙන් යෙදවිය හැක්කේ සීමිත කාලයක් පමණක් බැවින් ලියන සටහන් නැවත කියවා සංශෝධනය කර හොඳම විදිහට ඉදිරිපත් කිරීම සඳහා කාලය මිඩංගු කරන්න අමාරුයි. එක දිගට ටයිප් කර ගෙන යන සටහනක් ඒ වහාම පළ කරන එකයි ගොඩක් වෙලාවට කරන්නේ. ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කර අපැහැදිලි තැන්, අත් වැරදි ඇතුළු අනෙකුත් වැරදි ඇත්නම් ඒවා ගැන පැහැදිලි කර ගත හැකි නිසා මෙය ප්‍රශ්නයක්යැයි මා සිතන්නේ නැහැ.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීම යන කාරණයේදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණ අවස්ථිති කළමනාකරණය. නමුත් ඉල්ලුම් කළමනාකරණය ගැන හොඳ අවබෝධයක් නැති අයෙකුට අවස්ථිති කළමනාකරණය ගැන පැහැදිලි කරන්න අමාරුයි. ඉල්ලුම් කළමනාකරණය ගැන කලකට පෙර සටහනක් ලියා පළ කර ඇතැයි සිතා සිටියත් එවැන්නක් හොයා ගන්න බැරි වුනා. ඒ නිසා, පෙර සටහන පටන් ගන්න වුනේ ඉල්ලුම් කළමනාකරණයෙන්. පුළුල් පරාසයක දේවල් තනි ලිපියකින් කතා කරද්දී සමහර අවශ්‍ය ම කරුණු වලට තිබෙන අවධානය නැති වෙනවා. කියවන සමහර අයට අලියාගේ නැට්ට හෝ අලියාගේ කණ පමණක් අහු වෙනවා. නමුත් විෂය දැනුමක් නැති ගොඩක් අයට මේ ගැන යම් දැනුමක් ලබා ගන්න අවශ්‍ය මූලික කරුණු බොහොමයක් පෙර ලිපියේ තිබෙනවා කියා මම හිතනවා.
නැවත ඉල්ලුම් කළමනාකරණයෙන්ම පටන් ගත්තොත්, විදුලි ඉල්ලුම සාමාන්‍යයෙන් දවසේ වෙලාව අනුව විශාල ලෙස විචලනය වෙනවා. ඒ වගේම, සතියේ දිනවල සහ සති අන්තයේ ඉල්ලුමෙහි ස්වභාවය වෙනස්. සිංහල අවුරුදු දවස් ඇතුළු නිවාඩු දවස්, මැතිවරණ ප්රතිඵල විකාශනය කෙරෙන දවස් වැනි විශේෂ දවස් වල තවත් වෙනස් වෙනවා.
සාමාන්‍යයෙන් සතියේ දවසක වැඩිම විදුලි ඉල්ලුමක් තිබෙන්නේ රාත්‍රී හතට පමණ. අඩුම ඉල්ලුමක් තියෙන්නේ පාන්දර දෙකේ සිට හතර පමණ දක්වා කාලය තුළයි. උදාහරණයක් ලෙස 2025 පෙබරවාරි 7 දින විදුලි ඉල්ලුමේ ස්වභාවය දෙස බැලුවොත් (මේ සමඟ පළ කරන පළමු රූප සටහන දෙස බලන්න) සතියේ දිනක ලංකාවේ විදුලි ඉල්ලුම වෙනස් වන ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන්. පෙබරවාරි 7 ගත්තේ “වඳුරා පනින්න කලින්” අන්තිම සතියේ දවස නිසා.
ඉහත ප්‍රස්ථාරයෙන් දවස පුරා විදුලි ඉල්ලුම විචලනය වූ ආකාරය වගේම එම ඉල්ලුම විවිධ බලශක්ති ප්‍රභව වලින් සැපිරූ ආකාරයත් පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඉල්ලුමෙන් පටන් ගත්තොත්, ඉල්ලුම අඩුම අවස්ථාවේදීත් එය මෙගාවොට් 1500ක් පමණ වෙනවා. උපරිම ඉල්ලුම මෙගා වොට් 2700ක් පමණ දක්වා යනවා.
සැපයුම පැත්තෙන් බැලුවොත්, ගල් අඟුරු බලාගාර දවස පුරාම උපරිම ධාරිතාවයෙන් වැඩ කරලා තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් නිපදවෙන විදුලිය එසේ නිපදවද්දී එසැණින් පද්ධතියට එකතු කරගෙන තිබෙනවා. එම සැපයුම විචලනය වී තිබෙන්නේ බොහෝ දුරට පාලනයකින් තොරවයි. දවස තුළ ඉල්ලුම ඉහළ යද්දී, ඊට අනුරූපව මුලින්ම ජල විදුලිය සහ දෙවනුව තාප විදුලිය නිපදවා තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සිදු වන දෙය.
සැපයුම මේ විදිහට කළමනාකරණය කරන්න හේතු ගණනාවක් තිබෙනවා. අවම පිරිවැයකින් විදුලිය නිපදවීමේ අවශ්‍යතාවය ඒ අතරින් එකක්. එය ආර්ථික කරුණක්. නමුත් මෙහිදී පිරිවැය අවම කරන්න වෙන්නේ පද්ධතියේ ස්ථායීතාවය ගැනද සිතමිනුයි.
ගල් අඟුරු බලාගාර වල එක් ප්‍රශ්නයක් වන්නේ ඒවා පණ ගන්වා ක්‍රියාත්මක කර විදුලි බල පද්ධතියට එකතු කිරීම සඳහා විශාල කාලයක් අවශ්‍ය වීමයි. මෙම කාලය දින හතර පහක් දක්වා කාලයක් විය හැකියි. ඒ නිසා, සාමාන්‍යයෙන් ගල් අඟුරු බලාගාර එක දිගටම ක්‍රියාත්මකව තබා ගන්නවා. පුනර්ජනනීය බල ශක්තිය (අඩු වශයෙන් ලංකාවේ සන්දර්භයේදී) ගබඩා කර තබා ගත නොහැකි බැවින් එසැණින් පද්ධතියට එකතු කර ගන්නට සිදු වෙනවා. මීට සාපේක්ෂව උදුන් තෙල් (Furnace oil) බලාගාර වහාම මෙන් පණ ගැන්විය හැකි අතර, ජල විදුලි බලාගාරද කෙටි කාලයක් ඇතුළත පණ ගැන්විය හැකියි.
ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවන්නේනම්, එහිදී ප්‍රයෝජනයට නොගැනෙන ජලය ජලාශ වල ඉතිරි වෙනවා. මෙය අවශ්‍ය වෙලාවක විදුලි ශක්තිය බවට පත කර ගත් හැකි විභව ශක්තිය ඉතිරි වීමක්. උදුන් තෙල් හෝ ඩීසල් බලාගාර ක්‍රියාත්මක නොවන විට ඉන්ධන ඉතිරි වෙනවා. ජල විදුලිය වඩා ලාභදායී බැවින් සාමාන්‍යයෙන් කරන්නේ ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යද්දී මුලින් ජල විදුලිය පද්ධතියට එකතු කර, ජල විදුලි බලාගාර ධාරිතා මට්ටමට ආසන්න වෙද්දී උදුන් තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීමයි. ඉල්ලුම අඩු වෙද්දී මුලින් උදුන් තෙල් බලාගාර අක්‍රිය කර පසුව ජල විදුලි නිෂ්පාදනය ක්‍රමයෙන් අඩු කරනවා. ගල් අඟුරු බලාගාර අක්‍රිය කිරීම සඳහාද පැය ගණනාවක් යන බැවින් සාමාන්‍යයෙන් එය නිතරම කරන්නේ නැහැ.
ලංකාවේ මෙගාවොට් 270ක ශුද්ධ ධාරිතාවයක් ඇති ගල් අඟුරු විදුලි ජනක යන්ත්‍ර තුනක් තිබෙනවා. ඒ කියන්නේ මෙගාවොට් 810ක ශුද්ධ ධාරිතාවයක්. 2025 පෙබරවාරි 7 දින දවස පුරාම එම බලාගාර තුන එක දිගටම ක්‍රියාත්මකව පැවතී ඇති බව පළමු රූප සටහනෙහි දැකිය හැකියි. අපි මෙය සතියේ දිනයක විදුලි ඉල්ලුම සපයන සාමාන්‍ය ආකාරය සේ සලකමු.
මෙහිදී ඉල්ලුම විචලනය වන ආකාරය අනුව ජල විදුලි බලාගාර සහ උදුන් තෙල් බලාගාර ක්‍රියාත්මක කරමින් පද්ධතියට එකතු කර තිබෙන්නේ පෙර දත්ත මත පදනම්ව විදුලි ඉල්ලුම පුරෝකථනය කර එම පුරෝකථන මත පදනම්වයි. මෙම පුරෝකථන සියයට සියයක්ම නිවැරදි නැහැ. එහෙත් පුරෝකථන සෑහෙන තරම් නිවැරදි නිසා පුරෝකථන සහ සැබෑ ඉල්ලුම අතර වෙනස ගැලපිය හැකි පරිදි සැපයුම සීරුමාරු කිරීම ඒ තරම් අමාරු දෙයක් වී නැහැ (මේ සමඟ පළ කරන දෙවන රූප සටහන බලන්න).
ඉහත ප්‍රස්ථාර දෙස බැලු විට පාන්දර දෙකේ සිට හතර දක්වා කාලය මෙන්ම උදේ දහයේ සිට හවස දෙක පමණ දක්වා කාලයද විදුලි ඉල්ලුම අඩු කාලයක් ලෙස හඳුනා ගත හැකියි. නමුත් මෙම ප්‍රස්ථාර වල වහල මත සවි කර ඇති සහ අනෙකුත් කුඩා සූර්ය කෝෂ වලින් නිපදවන විදුලි බලය පෙන්වා නැහැ. මෙහි තිබෙන්නේ විදුලිබල මණ්ඩලයට දවස පුරා දුරස්ථව නිරීක්ෂණය කළ හැකි වඩා විශාල පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් ලබා දෙන විදුලි සැපයුම පමණයි. ඒ නිසා දිවා කාලය තුළ සැබෑ විදුලි ඉල්ලුම මෙන්ම සැපයුමද මේ ප්‍රස්ථාරයෙන් පෙනෙනවාට වඩා වැඩියි.
දැන් අපි නිවාඩු දින වල තත්ත්වය විමසා බලමු. සාමාන්‍ය කරුණක් ලෙස ඉරිදා දින වලදී ලංකාවේ විදුලි ඉල්ලුම අඩුයි. මේ සමඟ පළ කරන තුන් වන රූප සටහනෙහි දැකිය හැක්කේ 2025 පෙබරවාරි 2 දින විදුලි ඉල්ලුම හා සැපයුමයි. පෙබරවාරි 2 ගත්තේ “වඳුරා පනින්න කලින්” අන්තිම ඉරිදා දිනය නිසා.
ප්‍රස්ථාරය දෙස බැලු විට ඔබට පෙනෙනු ඇත්තේ එදින අළුයම් කාලයේදීද මෙගාවොට් 1400කට නොඅඩු අවම ඉල්ලුමක් තිබී ඇති බවයි. එහෙත්, උදේ 10:30 පමණ සිට පස්වරු 2:00 පමණ දක්වා කාලය තුළ විදුලි ඉල්ලුම මෙගාවොට් 850 පමණ දක්වා පහත වැටී ඇති ආකාරය ඔබට දැකිය හැකියි. බොහෝ දෙනෙකු නිදන පාන්දර කාලයේ විදුලි ඉල්ලුමට වඩා විශාල ලෙස දිවා කාලයේදී විදුලි ඉල්ලුම අඩුවීම ඔබට පැහැදිලි කළ හැකිද?
ඇත්තටම මෙහිදී සිදුව තිබෙන්නේ විදුලි ඉල්ලුම ඒ තරමටම පහත වැටීමක් නෙමෙයි. සූර්ය බලයෙන් හදන විදුලිය ඉහළ යාමයි. මෙම විදුලි නිපැයුම එසැණින් දුරස්ථව මැනිය නොහැකි බැවින් මේ දත්ත වල එම විදුලි සැපයුම නැහැ. (එසේ කළ හැකි තරම් තාක්ෂනය දියුණු බව කිසිවෙකු මතක් කරන්න අවශ්‍ය නැහැ. මේ ලංකාවේ පවතින තත්ත්වයයි.). හොඳින් ඉර එලිය වැටී කුඩා සූර්ය කෝෂ වලින් වැඩිපුර විදුලිය නිපදවද්දී එක පැත්තකින් පද්ධතියට වැඩියෙන් වදුලිය සැපයීමක් වෙනවා. අනෙක් පැත්තෙන් එසේ පද්ධතියට විදුලිය සැපයුවේ නැතත්, එම විදුලිය පරිභෝජනය කෙරෙන බැවින් පද්ධතියෙන් විදුලිය සැපයිය යුත්තේ අඩුවෙන්. කෙටියෙන් කිවුවොත්, මේ අයුරින් විදුලි සැපයුම ඉහළ යාම පද්ධති පාලනය සඳහා යොදා ගන්නා දත්ත වල නිරූපණය වන්නේ ඉල්ලුම අඩුවීමක් ලෙසයි. මෙය මේ හේතුව නිසාම ප්‍රශ්නයක් වන්නේ නැහැ.
මේ අයුරින්, හොඳින් ඉර පායා ඇති ඉරිදා දිනක ජාතික විදුලි බල පද්ධතියෙන් (කුඩා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හැර) සැපයිය යුතු විදුලි බලය මෙගාවොට් 850 පමණ දක්වා අඩු විය හැකියි. දවසේ උපරිම ඉල්ලුම මෙගාවොට් 2400 පමණ මට්ටමක ඇති බවද අපට නිරීක්ෂණය කළ හැකියි. මෙම ඉරිදා දිනය තුළ විදුලි ඉල්ලුම සපුරා තිබෙන්නේ කෙසේද?
මෙම ඉරිදා දිනයේදීද මූලික ඉල්ලුම ගල් අඟුරු වලින් සපයා ඇති අතර, පුනර්ජනීය බලශක්තියද එකතු කරගැනීමෙන් පසුව, ඉල්ලුම විචලනය වෙද්දී පළමුව ජල විදුලියද, දෙවනුව උදුන් තෙල් වලින් නිපදවන තාප විදුලියද පද්ධතියට එකතු කර තිබෙනවා. එහෙත් එදින ක්‍රියාත්මකව තිබී ඇත්තේ ගල් අඟුරු ජනක යන්ත්‍ර තුනෙන් දෙකක් පමණයි. මීට හේතුව ගල් අඟුරු ජනක යන්ත්‍ර තුනම සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කර පද්ධතිය ස්ථායී ලෙස පවත්වා ගත නොහැකි වීමයි. සූර්ය බල විදුලි සැපයුම ඉහළ ගොස් දිවා කාලයේදී විදුලි ඉල්ලුම අඩු වෙද්දී එම ජනක යන්ත්‍ර දෙකේ විදුලි බල සැපයුමද සීමා කර තිබෙනවා.
ජාතික විදුලි බල පද්ධතිය ස්ථායී ලෙස පවත්වා ගැනීම මෙගාවොට් වලින් ඉල්ලුම හා සැපයුම සමතුලිත කිරීමක් ලෙස සරල අංක ගණිතයෙන් පැහැදිලි කරන්න බැහැ. මෙගාවොට් වලින් ඉල්ලුම හා සැපයුම සමතුලිත විය යුතු වුවත් එය අනිවාර්ය අවශ්‍යතාවයක් මිස ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි.
විදුලිය ජනනය කරන තැන සිට පාරිභෝගිකයා තෙක් සම්ප්‍රේෂණය කරද්දී විදුලි ශක්තිය හානි වීමක් සිදු වෙනවා. මෙය සරල පිරිවැය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. සපයන විදුලියේ ගුණාත්මක භාවය පිළිබඳ මෙන්ම, පද්ධතියේ ස්ථායීතාවය පිළිබඳ ප්‍රශ්නයක්ද මෙහි තිබෙනවා. විදුලි බල පද්ධතියේ එකම තැනකින් පද්ධතියට විදුලිය සපයද්දී පද්ධතිය පුරා එහි අවස්ථිතිය පවත්වා ගැනීම වඩා අසීරුයි. පද්ධතියට අවස්ථිතියක් සපයන ජල විදුලිය සහ තාප විදුලිය රටේ විවිධ තැන් කිහිපයකින් පද්ධතියට එකතු වෙද්දී පද්ධතිය ස්ථාවරව තබා ගැනීම වඩා පහසු වෙනවා. ඉල්ලුම අඩු වෙද්දී ගල් අඟුරු වලින් විදුලිය නිපදවීම සීමා කර ජල විදුලි සැපයුමද යම් මට්ටමක පවත්වා ගෙන ගොස් තිබෙන්නේ ඒ නිසා.
මෙහි පළ කරන හතරවන රූප සටහනෙහි ඔබට දැකිය හැක්කේ 2025 පෙබරවාරි 2 දින දිවා කාලයේදී සැබෑ විදුලි ඉල්ලුම පුරෝකථනය කර තිබුණු විදුලි ඉල්ලුමට වඩා මෙගාවොට් 300කින් පමණ පහත වැටී ඇති ආකාරයයි. මේ අයුරින් පුරෝකථන වැරදීමට ප්‍රධාන හේතුවක් වන්නේ එදින ඉර එළිය හොඳින් වැටී සූර්ය බල විදුලි ජනනය විශාල ලෙස ඉහළ යාමයි. එම දිනයේ දිවා කාලයේදී සැපයුම දුරස්ථව නිරීක්ෂණය කළ හැකි සූර්ය විදුලි ජනක වල විදුලි සැපයුම මෙගාවොට් 75 පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අයුරින් පුරෝකථන වැරදීමට හේතුව සූර්ය බල විදුලි ජනනය විශාල ලෙස ඉහළ යාම බව මා කියන්නේ ඇයි?
මෙම දිනයට පෙර ඉරිදා දිනය වන 2025 ජනවාරි 26 දින සිදු වී තිබෙන්නේ හරියටම මෙහි අනෙක් පැත්තයි. එදින දිවා කාලයේදී සැබෑ විදුලි ඉල්ලුම පුරෝකථන වලට වඩා මෙගාවොට් 200කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එදින අවම ඉල්ලුම තිබී ඇත්තේ මෙගා වොට් 1200 පමණ ඉහළ මට්ටමකයි. එමෙන්ම, එදින දිවා කාලයේදී සැපයුම දුරස්ථව නිරීක්ෂණය කළ හැකි සූර්ය විදුලි ජනක වල විදුලි සැපයුම තිබී ඇත්තේ මෙගාවොට් 45 නොඉක්මවන මට්ටමකයි.
නිරීක්ෂණය කළ හැකි සූර්ය විදුලි ජනක වල විදුලි සැපයුම ඇසුරෙන් නිරීක්ෂණය කළ නොහැකි කුඩා සූර්ය විදුලි ජනක වල විදුලි සැපයුම පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. එම සැපයුම මෙගාවොට් 45කින් පමණ වැඩි වෙද්දී විදුලි ඉල්ලුම මෙගාවොට් 300 ඉක්මවා පහත වැටී තිබෙනවා. ඒ අනුව පෙනෙන්නේ කුඩා සූර්ය විදුලි ජනක වල විදුලි සැපයුම වෙනස් වෙද්දී පද්ධතියේ විදුලි ඉල්ලුම මෙගාවොට් 300-400කින් පමණ විචලනය විය හැකි බවයි. මේ අයුරින් විදුලි ඉල්ලුම විචලනය වෙද්දී පුරෝකථන මත පදනම්ව පෙර සැලසුම් කර විදුලි ජනක ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියා විරහිත කිරීම වඩා අසීරු වෙනවා. එමෙන්ම පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීමද වඩා අසීරු වෙනවා. පද්ධතියේ ස්ථායීතාවය අඩු වන තරමට “සුළු වරදකින්” පද්ධතියම ක්‍රියා විරහිත වීමේ අවදානමද ඉහළ යනවා.
මේ තත්ත්වය ජාතික විදුලි බල පද්ධතියේ අවස්ථිතිය කෙරෙහි බලපාන්නේ කොහොමද? “වඳුරා පැනපු දවසේ” සිදු වුනේ කුමක්ද? මෙවැනි තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා කෙටිකාලීනව හා දිගුකාලීනව කළ හැකි දේවල් තිබේද? මේ දේවල් ගැන ඉදිරියේදී කතා කරමු.
#ඉකොනොමැට්ටා #economatta