ප්‍රින්ස් (කුමරා) යනු දහසය වැනි සියවසේ ඉතාලි ජාතික දේශපාලන න්‍යායචාර්ය නිකොලෝ මැකියාවෙල්ලී විසින් රචිත අනාගත කුමරුනට රට කරවන හා බලයේ සිටිනට හැටි කියා දෙන මැනුවලයකි. තමන් ගැන දැඩි විශ්වාසයක් හා තමන් කරන දේ නිවැරදි යැයි දැඩි ව විශ්වාස කළ ජවිපේ සමාරම්භක නායක රෝහණ විජේවීර අන් අයගේ උපදෙස් අවවාද වැඩිය ඇසූ බව වාර්තා නොවේ. යම්තාක් දුරකට හෝ විජේවීරට උපදෙසක් දීමට හැකි කෙනෙක් එකල සිටියේ ය. ඔහුගේ උපදෙස් මැකියාවෙල්ලියානු ම නොවූව ද ඔහු ප්‍රින්ස් කෙනෙකු විය. ඒ තනතුරෙන් නොව නමින් ය. ඔහුගේ නම ප්‍රින්ස් ගුණසේකර ය.
හබරාදුව ප්‍රදේශයේ කතළුව ගමේ උපන් ප්‍රින්ස් ගුණසේකර 1956 දී පිහිටවන ලද මහජන එක්සත් පෙරමුණේ සමාරම්භක සාමාජිකයෙකි. එම පක්ෂයෙන් 1960 මුල් මැතිවරණයෙන් හබරාදුව ආසනයෙන් තරඟ වැදුණු ගුණසේකර, ජයග්‍රහණය කළ ද ආණ්ඩුවක් පිහිටවීමට කිසිදු පක්ෂයකට බහුතරයක් නොමැති නිසා නැවත වරක් මැතිවරණයක් පැවැති අතර එහිදී ඔහු පරාජය විය. 1965 පැවති මැතිවරණයෙන් නැවත වරක් ගුණසේකර තරග කර ජයග්‍රහණය කළේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ය. 1970 තරඟ කර කර ජයගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස වූවත්, 1971 දී ඔහු බණ්ඩාරනායක මැතිනිය සමග ඇතිකර ගත් මත ගැටුමකින් ඒ පක්ෂයෙන් වෙන් වී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර අතර, 1972 -1975 කාලය තුළ එකල විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය සමඟ ඔහු අවබෝධයකින් යුක්තව වැඩ කළ බව පැවසේ (විශේෂයෙන් ජවිපේ ගැන යම් සහකම්පිත ස්ථාවරයක් දැරූ රොනී ද මෙල් ආදී අය සමග).
ගුණසේකර මහතා නීතීඥයෙකු ලෙස 71 මහ නඩුවේ දී සැකකාර විප්ලවවාදීන් වෙනුවෙන් ඉදිරියෙන් ම කටයුතු කළ කෙනෙකි (බණ්ඩාරනායක මැතිණිය සමග මත ගැටුමට හේතුව වන්නේ මෙය ය). ඉන් පසුව ද ජවිපේ සමග සමීප සබඳතාවයක් පවත්වනු ලැබූ අතර, ඔහු අයත් වූයේ විජේවීරට වඩා ජ්‍යෙෂ්ඨ පරම්පරාවකට සහ පංති ම ය වශයෙන් ඉතා ඉහල තලයකට ය. ඔහු නිර්ප්‍රභූ වරයෙක් නොවී ය (කොළඹ හතේ රොස්මීඩ් පෙදෙසට නුදුරින් පිහිටි ගුණසේකරගේ නිවස ජවිපෙ නායකත්වය නිතර ආ ගිය තැනක් හෝ අතර, 1982 ජනාධිපතිවරණයට රෝහණ විජේවීර ඉදිරිපත් වූ විට එම නිවස කාර්යබහුල එකක වූ බව පැවසේ). මේ පරම්පරාමය හා පංති වෙනස්කම් මධ්‍යයේ වුව ද අවසානය තෙක් ජවිපේ සමග සිටි ගුණසේකර මහතා කලක් එංගලන්තේ විප්‍රවාසී ව සිට, ඒ රටේ ම මිය ගියේ ය. ඔහුගේ සියවැනි ජන්ම දිනය වෙනුවෙන් පදනම් ආයතනයේ උත්සවයක් පසුගිය මාසයේ මුල පැවැත්වූයේ ගුණසේකර මහතා විසින් රචිත ග්‍රන්ථයක් (අ ලොස්ට් ජෙනරේශන්, 1998, ගොඩගේ සහෝදරයෝ) නැවත නිකුත් කිරීමට ය. ගුණසේකර මහතාගේ දියණිය ගේශ්නිගේ කාරුණික අනුග්‍රහයෙන් එම අවස්ථාවේ වීඩියෝ පටයක් මට ලැබිණ.
ගුණසේකර මහතාගේ ශතක ජන්ම සංවත්සරය සමරණ අවස්ථාවේ මුඛ්‍ය දේශනය කරනු ලැබුවේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ය. කෙටි කාලයක් තුළ වුව ද, මහාචාර්ය දේවසිරි, ජනතා විමුක්ති පෙරමුණේ පරිණාමය හා වර්තමානයේ ජාතික ජනබලවේගය ලෙස බලය අත්පත් කර ගැනීම ගැන අගනා විග්‍රහයක් කළේ ය. බාහිර හා අභ්‍යන්තර සාධක කිහිපයක්, 1980 සිට ඔහු ගෙන හැර පෑ නමුත්, යට කී බල පෙරළියේ හැරවුම් ලක්ෂය ලෙස මහාචාර්යවරයා හඳුනා ගත්තේ 2022 ය. ඔහු කීවේ, 2022 ජනතා නැගිටීම අවසන් වශයෙන් සම්ප්‍රදායික දේශපාලන ආධිපත්‍යයට අභියෝග කළ බවත්, බොහෝ අය ඒ ක්‍රියාවලිය අහිංසක ලෙස හැඳින් වූවත්, එය ප්‍රංශ විප්ලවය මෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වූ බවය. කිසිවෙකු විසින් මෙහෙය නොවූවත්, මැයි නමය සිදු වූ ගෙවල් ගිනි තැබීම් සම්ප්‍රදායික දේශපාලනයට විරුද්ධව කෙරුණු සංකේතාත්මක ප්‍රචණ්ඩ ප්‍රහාරයක් බවත්, ඒ හරහා සම්ප්‍රදායික දේශපාලන පන්තියේ මරණය හා අවසානය සිදු වූ බව, මහාචාර්යවරයා සිනාසෙමින් කීවේය. අනතුරු ව පත් වූ රනිල් වික්‍රමසිංහ කළේ, අරගලය විසින් බිහිකළ ආණ්ඩු බලය නමැති දරුවා වැල් පාලමෙන් ගොඩ කර, පරිස්සමෙන් අනුර කුමාර දිසානායකට බාර දීම බව ය.
මහාචාර්යතුමා මේ බල සංක්‍රාන්තිය වන කාලයේ ද ඉන් අනතුරුව ද, වරින් වර ප්‍රින්සාකාරයේ (මැකියාවෙල්ලියානු අරුතකින් ම පමණක් නොව, නව ජනපති දිසානායකගේ දෙවැනි නමේ ඉංග්‍රීසි පරිවර්තනය ප්‍රින්ස් විය හැකි බැවිනි) ඉංග්‍රීසි නම උපදෙස්, යෝජනා, අවවාද හා අනතුරු හැඟවීම් කළ බව මතක් කළ යුතු ය. ව්‍යුහාත්මක හා විධිමත් (ෆෝමල්) ආකාරයෙන් ඒවා නව බලධර පංතියට සම්ප්‍රේෂණය නොවුනත්, එතුමාගේ අදහස් සහ සිතිවිලි, නීති හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ තීන්දු තීරණ අරභයා යම් බලපෑමක් හා පීඩනයක් එල්ල කරනු දක්නට ලැබේ. විශේෂයෙන් ජාතික ජනබල ආණ්ඩුවේ මුල් කථානායකගේ අධ්‍යාපන සහතික ගැන සමාජයේ ප්‍රශ්න කිරීමේ දී ප්‍රමුඛ හඬක් නැගුවේ යට කී මහාචාර්යවරයා ය. මේ පීඩනය හමුවේ කතානායකවරයා තමා තනතුරින් ඉල්ලා අස් වූ අතර ඉන් අනතුරු ව මැති ඇමතිවරු කිහිප දෙනෙක් ම හෙමින් සීරුවේ ආචාර්ය, මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ආදී පට්ටම් භාවිතය නවතා දැමූ හ.
මැකියාවෙල්ලියානු කුමරාට අමතර ව සාහිත්‍ය ලෝකයේ තවත් කුමරෙක් සිටී. ඒ පුංචි කුමරා ය. ප්‍රංශ බසින් ලියැවුණු
‘ල පෙටි ප්‍රන්ස’ (ඉංග්‍රීසියෙන්, ලිට්ල් ප්‍රින්ස්)
නම් අපූරු පරිකල්පනයක් විකාශනය වන ප්‍රබන්ධයේ කතුවරයා වූයේ අන්ටුආන් ඩ සන්එක්සුපරී ය. අනුර කුමාර ජනාධිපති තවමත් පරිවාස කාලයක සිටින නිසා දෝ බොහෝ දෙනා ඔහුට සලකන්නේ පුංචි කුමරෙකු ලෙස ය. ඒ නිසා සමාජයේ බොහෝ දෙනා සුළු පරිමාණයේ වෙන්ඩ-මැකියාවෙල්ලි භූමිකාවක් ද රඟනු නිරීක්ෂණය කළ හැක. මේ වෙන්ඩ-මැකියාවෙලි හතු සෑම අස්සක ම මුල්ලක ම පිපෙන්නේ යට කී බල සංක්‍රාන්තියෙන් අනතුරු ව නව දේශපාලන සමාජ දේහය කෙලෙස සංවිධානය විය යුතු ද යන්න ගැන ට්‍රීටීස හා විනිශ්චයන් ඉදිරිපත් කිරීමට ය.
මේ ආකාරයෙන් ජනතා පරමාධිපත්‍යයේ හා අධිකරණ ව්‍යවස්ථාදායක හා විධායක බල ස්වරූපය නැවත නිර්වචනය කිරීමට දැඩි බලපෑමක් කෙරේ. මේ කතිකාවේ අධි රංගයක් අපට දැකබලා ගත හැකි වූයේ, පසුගිය සතියේ නීතිපති විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ගැන නිකුත් කළ ලිපියක් පසුබිම් කොට ය. පහත දැක්වෙන්නේ ඒ අරභයා ඉස්මතු වූ එක් අපූරු වෙන්ඩ-මැකියාවෙල්ලි අදහසකි :
“වත්මන් නීතිපතිගේ නමට අගින් කනිෂ්ඨ යන්න වරහන් තුළ යෙදේ. ඉන් ගම්‍ය කරනුයේ එම නමින් ම අධිකරණ ක්ෂේත්‍රයෙහි ඉහළම තනතුරක් හෙබ වූ පුද්ගලයා, වත්මන් නීතිපතිගේ පියා ය. පියාගෙන් පුතාට යන සම්ප්‍රදායික බල අනුප්‍රාප්තිය මින් තහවුරු කෙරේ. ප්‍රභූ උරුමය නඩත්තු වන්නේ හා ස්ථාපිත වන්නේ මෙයාකාරයට ය. නීතිපති තම වෘත්තිය අයිතිය තහවුරු කර ගැනීමට උත්සුක වන්නේ තම ප්‍රභූත්ව උරුමය ආරක්ෂා කර ගැනීමට ය. වත්මන් ආණ්ඩුව මෙතෙක් පැවති ප්‍රභූ ක්‍රම අවසන් කළ නිසා හා ඒවා තවදුරටත් නො ඉවසන නිසාඑම නිසා සම්ප්‍රදායික ප්‍රභූ ක්‍රමය නියෝජනය කරන වත්මන් නීතිපති මෙම තනතුර දැරීමට සුදුසු නැත” (සාරාංශගත කිරීම මගේ ය).
මහාචාර්යවරයා යට කී විග්‍රහයේ 2022 මැයි නමය සවස් වරුවේ සලකුණු කළ එක්තරා දේශපාලන ආධිපත්‍යයක, සම්ප්‍රදායක හා පංතියක අවසානය නැවත මතක් කර ගත යුතු අතර ඒ අවසානයේ තවත් වටයක් සාමාජීය, පරිපාලනමය හා නිලධර තන්ත්‍රය තුළත් ක්‍රියාත්මක වීමට දැන් මග සකස් වේ ද යන්න විමසිය යුතු ය. මේ අනගි ඔවදන් අපගේ පුංචි කුමරු බැති පෙමින් පිළිගෙන ආණ්ඩුකරණය පිණිස සොඳින් අකුරු උගෙනු ගනු ඇතැයි අපි උදක් ම සිතමු.
මෙම ලිපිය අනිද්දා පුවත්පතේ ‘ඉඳහිට’ කොලමේ පලවිය