ලසන්තගේ නඩුව ගැන නීතිපතිගේ ලිපි 03ක් උසාවියට!

The Attorney General sends 3 letters to the court regarding Lasantha's case

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවන් තිදෙනකුට එරෙහිව නීති මගින් කටයුතු නොකරන බවට සඳහන් කරමින් නීතිපතිවරයා මුලින් නිකුත් කළ මුදා හැරීමේ නියෝගය අනුව කටයුතු නොකරන ලෙස නීතිපතිවරයා යළිත් වරක් ලිඛිතව දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මුලින් නීතිපතිවරයා නිකුත් කළ මුදා හැරීමේ නියෝගයේ සඳහන් වන්නේ එදින සිට දින 14ක් ඇතුළත නීතිපතිවරයාගේ නියෝගය ගැන අධිකරණයට දැනුම් දිය යුතු බවයි. එම දින 14 අදින් අවසන් වීමට නියමිතව තිබුණු අතර ඊයේ (13) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් නඩුව කැඳවීය.

ඊයේ (13) දිනයේ මෙම නඩුව කැඳවන බව දැන ගැනීමෙන් පසු මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීහු උදෑසන 9.30 සිට අධිකරණය අසලට පැමිණ සිටියහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී කීර්තිසංහ මහතා සහ පොලිස් සැරයන් සිල්වා යන මහත්වරු අද උදෑසනම අධිකරණයට පැමිණ සිටියහ. පස්වරු 11ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංගසිංහ මහතා අධිකරණයට පැමිණියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ මෝසම අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ ඩී චතුරිකා ද සිල්වා මහත්මිය ඉදිරියේ අද පස්වරු 1.00ට මෙම නඩුව කැඳවිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පොලිස් සැරයන් සිල්වා සහ එහි ස්ථානාධිපති ඉලංගසිංහ මහතා සමග සහකාර පොලිස් අධිකාරී කීර්තිසිංහ මහතා අධිකරණයේ පෙනී සිටිමින් වැඩිදුරට වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර කරුණු දැක්වූහ. ඔහු තම කරුණු දැක්වීමේදී මෙසේ ද සදහන් කළේය.

‘සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන මෙම නඩුවේ සැකකරුවන් තිදෙනකු නිදහස් කරන ලෙස දැනුම් දෙමින් 2025 ජනවාරි 27 දිනැතිව ලිපියක් යොමු කළා. එම ලිපිය අද දින ඉදිරිපත් කරන වැඩිදුර වාර්තාව සමග ඇමුණුම 01 ලෙස සටහන් කරමින් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුවට අදාල සියලු සාක්කිවල සහ සටහන්වල උදෘත නීතිපතිතුමා වෙත ඉදිරිපත් කළා. ඒ අනුව 2025 පෙබරවාරි 11 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව නැවත ලිපියක් යොමු කරමින් දැනුම් දුන්නා පෙර සඳහන් කළ ලිපිය අනුව කටයුතු නොකරන ලෙස. එම දෙවැනි ලිපිය ඇමුණුම 2 ලෙස සටහන් කරමින් වැඩිදුර වාර්තාව සමග ඉදිරිපත් කරනවා. ඉන් පසු අද දිනයේ නීතිපති දෙපාර්තමේන්තුව තවත් වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාවේ සඳහන් වෙනවා අප විසින් ඉදිරිපත් කරන ලද ගොනු අධ්‍යයනය කිරීමෙන් පසු අදාල උපදෙස් ලබා දෙන තෙක් නීතිපතිවරයාගේ ජනවාරි 27 මුදා හැරීමේ නියෝගය තාවකාලිකව අත්හිටුවන්න කියලා. එම තුන් වැනි වාර්තාව ඇමිණුම තුන ලෙස වැඩිදුර වාර්තාව සමග ඉදිරිපත් කරනවා. මේ වන විට මෙම විමර්ශනයට අදාලව සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ඇති සාක්කි සහිත උදෘත නීතිපතිතුමා වෙත ලබාදී තිබෙනවා. ඒ අනුව එම සියලු දේවල් අධ්‍යයනය කර නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබෙන උපදෙස් දැනුම්දීමට සහ වැඩිදුර කරුණු දැනුම්දීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.’

අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමෙන් පසු මෙම නඩුව මීට පෙර කැඳවන දිනය ලෙස සටහන් කර තිබුණු 2025 මැයි මස 30 වැනිදා ම යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවන් ලෙස සිටින යුද හමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන තිදෙනාට එරෙහිව නීති මගින් කටයුතු නොකරන ලෙස දැනුම්දෙමින් නීතිපති පාරින්ද රණසිංහ මහතා ජනවාරි 27 වැනිදා ලිපියක් යොමු කර තිබිණි. එම ලිපිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්වවලින් දැඩි විවේචනයක් පැමිණි අතර සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්කි තිබියදී ඔවුන් නිදහස් කරන ලෙස දැනුම් දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළහ. ඒ අනුව අද දිනයේ නීතිපති දෙපාර්තමේන්තුව මුල් නියෝගය තාවකාලිකව අත්හිටුවමින් ලිපියක් නිකුත් කළේය.

– තරිඳු ජයවර්ධන

Social Sharing
අවකාශය නවතම