වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සමිත දිල්ෂාන් නැමති 24 හැවිරිදි එක්දරු පියාගේ මරණය සම්බන්ධව වාද්දුව පොලීසියේ පොලිස් කොස්තාපල්වරු හතරදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුනි.
මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ ඊයේ (12) සවස පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මෙම කොස්තාපල්වරු සිව් දෙනා අත්අඩංගුවට ගත් බවත් මේ වන විට ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බවත්ය. මෙම සැකකාර පොලිස් නිලධාරීන් සිව් දෙනා අද (13) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පසුගිය 10 වන සදුදා පස්වරුවේ වාද්දුව පොලිසියේ රථවාහන අංශ නිලධාරින් විසින් රිය අනතුරක් සම්බන්ධ සිදුවීමකට දිල්ෂාන් අත්අඩංගුවට ගෙන එදිනම ඇප මත මුදාහැර තිබේ. ඔහු ගෙදර පැමිණීමෙන් පසුව ලේ වමනය දැමීම නිසා ඥාතීණ් විසින් ඔහු පානදුර රෝහලට ඇතුළත් කර තිබේ. නමුත්, ඊට පසු දින (11) පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දිල්ශාන් මියගොස් තිබුණි.
මෘතදේහය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, අධිකරණ නියෝගයට අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අධිකරණ වෛද්‍ය වාර්තාව ලබා දෙන ලෙස නියෝග කර තිබේ. ඒ අනුව පානදුර මුලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.
මියගොස් ඇති දිල්ශාන් ගේ බිරිඳ වන රෝෂිනී ලක්මාලී මහත්මිය විසින් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත කරන ලද පැමිණිල්ල සැලකිල්ලට ගෙන පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබේ.