නීතිපතිගේ නියෝගයට එරෙහිව තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පසුගිය දා දී පැවැත්වූ විරෝධතාවය.
ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ඉකුත් දා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ආ විරෝධයත් සමග රජය විසින් ඉස්තාපිත කිරීමට නියමිත ස්වාධීන අභිචෝදක කාර්යාලට අදාළ විද්වත් කමිටුවේ සංයුතිය සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා වෙත තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් ලිපියක් යවා ඇති අතර, එම ලිපියේ උපුටා ගැනීම මෙසේය.
“සන්ඩේලීඩර් පුවත්පතේ කර්තෘ නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන 92/2009 දරණ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවේ සාක්කි වසං කිරීමේ සිද්ධියේ සැකකරුවන් තිදෙනකුට නීති මගින් කටයුතු නොකිරීමට නීතිපතිවරයා තීරණය කිරීමත් සමග එම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවිය. රජයේ නීති උපදේශකයාම නඩු පැවරීම නිසා ඇතිවන ‘ලබැඳියාවන් අතර ගැටුම’ ගැන ඒ සම්බන්ධයෙන් ඇතිවූ සමාජ කතාබහේදී අපි පෙන්වා දුන්නෙමු.
ඒ අනුව මතුව ආ විරෝධයත් සමග ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සඳහන් පරිදි ස්වාධීන අභියෝචක කාර්යාලයක් පිහිටුවීමේ යෝජනාව ඉදිරියට ගෙන යෑම සඳහා රජය ගත් තීරණය සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ස්තුතිවන්ත වෙමු.
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා වන මූලික සැකැස්ම සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කරන බව ඔබ අමත්‍යංශය ඊයේ (11) දිනයේ නිවේදනය කළේය. එම යෝජිත කමිටුව සමතුලිතතාවක් නැති කමිටුවක්වන බව බැලූ බල්මට පෙනේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් දෙදෙනකු එහි සිටින අතර එහි තවත් සාමාජිකයකු ලෙස නම් කර තිබෙන අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ද නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ නිලධාරිනියකි. එසේ හෙයින් බැලූ බැල්මට එම කමිටුව අසමතුලිත කමිටුවකි. එසේ හෙයින් අදාල කමිටුව පත් කිරීමේදී පහත සඳහන් යෝජනා ද සලකා බලමින් ස්වාධීන සහ සමතුලිත සංයුතියකින් යුත් කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා සිටිමු.”
ඒ අනුව ඔවුන්ගේ යෝජනාවන් පහත පරිදි වේ.
-
කමිටුවේ සභාපතිවරයා වශයෙන් නීතිය ගැන මනා දැනුමක් ඇති විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් පත්කිරීම වඩාත් සුදුසුවේ.
-
නීතිපතිවරා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නීතිපති දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙක්
-
අධිකරණ අමාත්‍යංශ ලේකම්
-
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක්
-
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් යෝජනා කරන නීතිඥවරයෙක්
-
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් යෝජනා නොකරන එහෙත් අපරාධ නඩු සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති නීතිඥවරයෙක්
-
රාජ්‍ය සේවය ගැන පුළුල් දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්
-
උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති මහේස්ත්‍රාත් නිලයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිය ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙක්
-
මහාධිකරණ විනිසුරුවරයෙක්
-
මේ සම්බන්ධයෙන් දැනුමක් සහ උනන්දුවක් ඇති සිවිල් ක්‍රියාකාරිකයෙක්
එමෙන්ම මොවුන් විසින් තවදුරටත් මෙවැනි ස්වාධීන සහ සමතුලිත කමිටුවක් පත්කිරීමේදී මීට සම්බන්ධ සහ මැදිහත් වන පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම සහ ඔවුන්ගේ යෝජනා විමසීම කමිටුවේ විනිවිදභාවය සහ ස්ථාවර බව සඳහා වැදගත් වන බව මෙම ලිපියේ තවදුරටත් පෙන්වා දී ඇත.