”පාලනය කරගන්න බැරි තරම් වේගයෙන් ආව බස් එක ඉස්සරහ නතර කරලා තිබුණු බස් දෙකේ පිටුපස හැප්පුණා. බස් එක ඇතුළේ තුවාල වෙච්ච මිනිස්සු විලාප තියලා කෑගහනවා. එතන හිටිය මිනිස්සු ෆෝන් අරන් වීඩියෝ කර කර හිටියා තුවාලකාරයෝ බේරගන්න ආවේ නැහැ. එම්බියුලන්ස්වලට කෝල් කළා. පැය භාගෙකින් ආවේ නැහැ. එක වාහනයක්වත් නතර කළේ නැහැ. බැරිම තැන මම යකඩ පොල්ලක් අරගෙන මැරයෙක් වගේ පාරට පැනලා ලොරියක් බලෙන් නතර කරල තුවාලකාරයො රෝහල් ගත කරන්න කටයුතු කළා”
කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී පසුගිය සදුදා (10 දා) අලුයම 4.45 ට පමණ මාරක පුද්ගලික බස් අනතුරින් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට කටයුතු කළ ප්‍රදේශ වාසියෙක් දිවයින පුවත්පතට එසේ කියා තිබුනි.
මෙම මාරක බස් අනතුරින් කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු මියගිය අතර බරපතළ තුවාල ලැබූ තවත් 28 දෙනකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබුනි. මින් සිවුදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම අනතුරින් මියගිය පුද්ගලයන් අතර අනතුර සිදුකළ බස් රථයේ කොන්දොස්තරවරයා ද සිටින බව පොලිසිය පවසයි. මෙම අනතුර සිදු කළ බස් රථ රියැදුරු දොරටියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කඳුරුවෙල සිට කොළඹ බලා අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක් ඉදිරියේ නතර කර තිබූ බස් රථ දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මෙම අනතුරින් පුද්ගලයන් තිදෙනකු එම ස්ථානයේදීම මියගිය අතර එක් අයකු මියගොස් ඇත්තේ රෝහල් ගත කිරීමෙන් පසුවය.
මේ ආකාරයේ බිහිසුණු අනතුරු අපට කාලයක සිට අසන්නට ලැබේ. නමුත් කිසිදු රජයකට මෙම තත්ත්වය පාලනය කර ගැනීමට මෙතෙක් නොහැකිවී ඇත. මේ යන විදියට ජනග්රහණයට සාපේක්ෂව මාර්ග අනතුරුවලින් වැඩිම පිරිසක් මිය යන රට බවට ශ්‍රී ලංකාව පත්වීමට බොහෝ ඉඩ තිබේ. මේ ආකාරයෙන් සිදු වන මාරක රිය අනතුරු නිසා දිනකට 7 දෙනෙකු මිය යන බව වාර්තා වේ.
2019 වසරේ සිට 2023 වසර දක්වා සිදුවූ රිය අනතුරු වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13,264ක් බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කළ දත්ත ඔස්සේ අනාවරණය වේ. එමෙන්ම එම කාල සීමාව තුළදී සිදුව තිබෙන බරපතල අනතුරු සංඛ්‍යාව 33,470ක් බව එම වාර්තා පෙන්වා දෙයි.
ලෝක බැංකුවේ මහා මාර්ග ආරක්ෂාව පිළිබඳව නිකුත් කර තිබෙන වාර්තාවට අනුව රිය අනතුරු හේතුවෙන් විපතට පත්වන පිරිසෙන් තුනෙන් දෙකක් අවුරුදු 16-64ත් වන රටේ ශ්‍රම බලකායට දායකත්වය දක්වන වයස් කාණ්ඩයේ පසුවන අය බව පැවසේ.
2024 ජනවාරි 05වැනිදා සිට 2024 අගෝස්තු 10වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරු 1352කින් 1417 දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
යතුරුපැදි අනතුරුවලින් වාර්ෂිකව පුද්ගලයන් දහසක් පමණ මිය යන බව රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පසුගිය දා මාධ්‍ය හමුවේ පැවැසීය. 2023 වසරේ සිදුවූ මාරක රිය අනතුරුවලින් දරුවන් 328 දෙනකු (අවුරුදු 5ත් 18ත් අතර වයසේ පසුවන) මියගොස් ඇතැයි ද හෙතෙම පැවසීය.
රිය අනතුරුවලට හේතුව
ලෝක බැංකු වාර්තාවට අනුව 2011-2018 යන කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ වාහන වල හිමිකාරිත්වය දරනු ලබන සංඛ්‍යාව 67%ක් දක්වා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව පෙන්වා දෙයි.
මෙරට සතු වාහන සංඛ්‍යාව පිළිබඳ කරුණු දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පවසා තිබුනේ, ලංකාවේ සිටින පවුල් සංඛ්‍යාව ලක්ෂ 57කට ආසන්න බවත්, රටේ පවතින වාහන ප්‍රමාණය ලක්ෂ 87කට ආසන්න බවත්ය. මේ සම්බන්ධව 2023 වසරේ සංඛාලේඛන පහත දැක්වේ.
වාහන වර්ගය | වාහන ප්‍රමාණය (රු.ලක්ෂ) | වාහන ප්‍රතිශතය | අනතුරුවලට ලක්වීමේ ප්‍රතිශතය | |
1 | මෝටර් සයිකල් | 4,800,000 | 58% | 34% |
2 | ත්රීවිලර් | 1,200,000 | 14% | 16% |
3 | මෝටර් රථ | 900,000 | 11% | 16% |
4 | බස්රථ | 113,000 | 8% | |
5 | දිවිත්ව කාර්ය වාහන | 450,000 | 13% | |
6 | ලොරි රථ | 385,000 | 11% | |
මාර්ග අනතුරු හේතුවෙන් මිය යන පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රමාණයක් මෝටර් බයිසිකල්කරුවන් බව ඉහත වාර්තා මගින් පෙන්වා දේ. එම ප්‍රමාණය 32%. පදිකයන් 31%ක්, රියැදුරන් 7%, මගීන් 12%, පාපැදිකරුවන් 9%ක් හා පසු පැදිකරුවන් 7%ක් රිය අනතුරුවලින් මිය යන බව වසන්ත අතුකෝරල මහතා පවසයි.
රිය අනතුරුවලට වැඩිපුරම ලක්වන්නේ මෝටර් බයිසිකල් වන අතර, එහි ප්‍රතිශතය 34%කි. මෝටර් රථ 16%ක්, ත්‍රිරෝද රථ 16%ක් ලොරි රථ 11%ක්, ද්විත්ව කාර්ය වාහන 13% ක් පෞද්ගලික බස් 6%ක්, ලංගම බස් 2%ක් හා පාපැදිකරුවන් 1%ක් රිය අනතුරුවලට ලක්වේ.
මෙතරම් විශාල වාහන ප්‍රමාණයක් දාවනය කිරීමට තරම් ප්‍රමාණවත් මාර්ග පද්ධතියක් නොමැති වීමත් මෙම අනතුරුවලට තවත් එක් හේතුවක් වී තිබේ.
අපේ මාර්ග පද්ධතියේ ඇති දුර්වලතා මාර්ග අනතුරුවල ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන ලෝක බැංකුව, ශ්‍රී ලංකාවේ දුර්වල මාර්ග ආරක්ෂණ කාර්ය සාධනයට හේතු වී ඇත්තේ ඒ සදහා සිදු කරණ අඩු ආයෝජනය බව පෙන්වාදෙයි. ජාතික මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව 50% කින් අඩු කිරීම සඳහා ඉදිරි දශකය තුළ ඩොලර් බිලියන 2 ක පමණ අමතර ආයෝජනයක් අවශ්‍ය වනු ඇතැයි ලෝක බැංකුව පෙන්වා දී තිබේ.
රිය අනතුරු හේතුවෙන් ජාතික ආර්ථිකයට සිදුවන බලපෑම
මේ සම්බන්දව අදහස් දක්වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වැළැක්වීම පිළිබඳව විද්වත් කමිටු සභාපති සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමත් ධර්මරත්න බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පවසා තිබුනේ මෙලෙස වාර්ෂිකව සිදුවන රිය අනතුරු නිසා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වන බව ය.
“සාමාන්‍යයෙන් සෞඛ්‍ය සේවාවන් සඳහා වාර්ෂිකව වෙන් කරන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව සමාන මුදල් ප්‍රමණයක් මේ රිය අනතුරු නිසා අපට අහිමි වනවා.” මහාචාර්යවරයා පැවසීය.
ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත්තේ මාර්ග අනතුරු නිසා සිදුවන මරණ සහ තුවාල හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට වාර්ෂිකව ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3-5% අතර මුදලක් වැය විය හැකි බවයි.
මේ අකාරයේ දුර්වල මාර්ග පද්ධතියක අධික වේගයයෙන් රිය පැදවීම මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතුවක් වී තිබේ. පසුගිය දා කුරුණෑගල, තෝරයායේ බස් අනතුර සිදුවන අවස්ථාවේ අදාල බස්රථය පැයට කිලෝමීටර් 90ක පමණ වේගයෙන් ධාවනය කර ඇති බව පොලීසිය පවසයි. වර්තමානයේ බොහෝ බස් රථ රියැදුරන් කිසිදු මාර්ග සංඥාවක් නොතකමින් අධික වේගයෙන් රිය ධාවනය කරන ආකාරය අප ඕනතරම් දැක ඇත. සමහර රියදුරන් තම වාහනය පදවන්නේ ඇග කිළිපොලා යන ආකාරයෙන්ය. බොහෝ බස් රථ රියැදුරන් රුපියල් ශතවලට මහා මාර්ගයේ මරාගන්නේ මිනිස් ජීවිත පිළිබඳ තඹ සතේකට මායිම් නොකරමිනි.
අනෙක් කාරණය වන්නේ මත්ද්‍රව්‍ය භාවිතාකර රිය පැදවීමයි. මෑතකදී මෙරට සිදු කළ සමීක්ෂණ රැසකින්ම හෙළි වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා රිය අනතුරු සිදුවීම වැඩි වී ඇති බවයි. මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අනතුරු සිදුවීමේ ප්‍රතිශතය 6-8% අතර පවතී. ආරක්ෂක විධිවිධාන පිළි නොපැදීමද රිය අනතුරු බහුල වීමට මෙන්ම එයින් සිදුවන හානි ඉහළ යෑමට තවත් ප්‍රධාන හේතුවකි. ආරක්ෂිත හිස් වැසුම් සහ ආසන පටි පැළඳ නොයෑම සහ ළමා රැඳවුම් භාවිත නොකිරීම මාර්ග අනතුරු වලින් සිදුවන හානි ඉහළ නැංවීමට හේතු වී ඇති බව පොලිස් වාර්තා පෙන්වා දේ.
රිය අනතුරු ඉහළ යෑමට බලපාන අනෙක් ප්‍රබලම සාධකය වන්නේ ජංගම දුරකථන භාවිතයයි. මෙම වරද අද වනවිට සෑම කෙනෙක්ම පාහේ සිදු කරන අතර මගී ජීවිත සිය ගණනක් අතින් ගත් බස් රථ රියැදුරන් නිරන්තරව ජංගම දුරකථනය එක් අතකින් ගෙන රිය පදවන ආකාරය දැකගත හැකිය. සුදුදා තෝරයාය මාරක බස් අනතුර සිදුවන අවස්ථාවේ දී ද රියදුරු දීර්ඝ දුරකතන ඇමතුක පැමිණි බව එම බස් රථයේ ගමන්ගත් මගීන් මාධ්‍ය වෙත පවසා තිබුනි.
දශක තුනක් තිස්සේ පැවති යුධ සමයේ අපි බියෙන් සිටියේ කොයි මොහොතක බෝම්බයකට හො වෙඩි පහරකට ගොදුරුවේදැයි යන සැකයෙනි. එම කාලය තුළ දිනකට සිවිල් වැසියන් 9 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් යුද්ධයේ ගොදුරු බවට පත්වී ජිවිතක්ෂයට පත්වූ බව වාර්තා විය. මේ වන විට යුද්ධය හමාර වී දශකයට වැඩි කාලයක් ගත වී ඇත. නමුත්, අද ආයුධ සන්නද්ධ යුද්ධයක් නැතත් යුධ ටැංකිමෙන් ඉවක් බවක් නැතිව පාරේ දුවන මගමරුවෙකු යටවී මිය යා හැකි බවට ඇති වන මරණ බියකින් ජීවත්වන්නට සියළු දෙනාටම සිදුව තිබේ.
මේ මගමරුවන් විසින් දිනකට මිනිස් ජීවිත හතක් බිලි ගන්නා අතර, පුර්ණ අබාධ වලට මෙන්ම විවිධාකරයේ තුවාලවලට ගොදුරුවන මිනිසුන් ප්‍රමාණයත්, මේ අනතුරු හේතුවෙන් සිදු වන විශාල දේපල හානියත් සමග ගත් විට පාරේ විනයක් නැති ප්‍රශ්ණය රටේ පැවති යුද්ධයට සමාන ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. මෙම ජාතික ගැටළුව විසදීම සදහා රජය, විපක්ෂය ඇතුළු සියළු පුරවැසියන් වැඩි අවධානයක් මීට යොමු විය යුතුය.
– පිලිප් දිසානායක
2024 රිය අනතුරු පිළිබදව පොලිස් වාර්තාව පහත
https://www.police.lk/wp-content/uploads/2025/01/traffic_accidents_new1.pdf