ඊයේ විදුලිබල පද්ධතිය බිඳ දැම්මේ වදුරෙක් ද?

ඊයේ දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතුව පානදුර ග්‍රීඩ් උප පොළෙහි ඇති ට්‍රාන්ස්ෆෝමරයක වඳුරකු ගැටීමෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයක් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මාධ්‍ය වෙත පවසා තිබුනි.

බලශක්ති ඇමතිතුමාගේ එම ප්‍රකාශයෙන් පසුව පානදුර ග්‍රීඩ් උප පොළෙහි ඒ අවස්ථාවේ සේවය කරමින් සිටි ආරක්ෂක අංශ සේවකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබුනේ එවැනි සිදුවීමක් එම ස්ථානයේ සිදු නොවූ බවත්, වදුරෙකු ගැටුනේ නම් එම වදුරාගේ කොටසක් හෝ එම ස්ථානයේ තිබිය යුතු බවයි.

මෙවැනි විදුලි බිදවැටීම් පිළිබදව අත්දැකීම් අපට සෑහෙන කාලයක සිට තිබෙන අතර, සමහර අවස්ථාවල දී එවැනි බිද වැටීම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් විය හැකි බවත්, ඒ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදු කරන බවට හිටපු බලශක්ති ඇමතිවරු ප්‍රකාශ කර තිබුනි. නමුත්, එවැනි පරීක්ෂණ සිදු කළ බවක් හෝ ඒ පරීක්ෂනයන්ට සිදු වූ දේ හෝ ඒ සම්බන්ධව කිසිවෙකුට විරුද්ධව නීතිමය පියවර ගෙන ඇති බවක් හෝ ඉන් පසුව වාර්තා වුයේ නැත.

මෙම හදිසි විදුලි බිද වැටීම සම්බන්දව ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු විදුලි ඉංජිනේරුවරයෙකු පහත අදහස් ඉදිරිපත් කර තිබුනි.

මෙම බිදවැටීම සඳහා බලපාන ලද මූලිකම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇත්තේ, ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම හා සමස්ත  විදුලි ජනනයෙන් වැඩි ප්‍රතිශතයක් ස්ථායිතාවය සාපේක්ෂව අඩු සූර්ය විදුලි බලයෙන් නිපදවීමත්ය. කෙසේ නමුත් මෙම තත්ත්වය, නිසි විමර්ශනයක් මගින් තහවුරු කරගත යුතුවේ.

පානදුර විදුලි උප පොලේ 33 kV පෝෂක අංගනය (33 kV Bus Bar) ආශ්‍රිතව සිදුවූ හදිසි විදුලි වැටීමක් සමඟ අඩු විදුලි ඉල්ලුම නිසාත්, ඉහළ සූර්ය විදුලි නිෂ්පාදනය නිසාත් ස්ථායිතාවය අඩු මට්ටමක පැවති ජාතික විදුලි බල පද්ධතිය අසමතුලිත වී, ස්වයංක්‍රීය හදිසි බිඳවැටුම් කළමනාකරණ ක්‍රියාවලිය මගින් පද්ධතිය යථාවත් කර ගැනීමට නොහැකිවීම තුළ සමස්ත දිවයිනේම විදුලි සැපයුම විසන්ධි විය.

ජාතික විදුලිබල පද්ධතිය මෙවැනි අවදානම් තත්ත්වයක ආසන්නයට මීට පෙර ඉරිදා දින කීපයකදීම පැමිණියද, එහිදී විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ දක්ෂතාවය මත පූර්ණ විදුලි විසන්ධි වීමක් සිදු නොවී වළක්වා ගත හැකි විය. කෙසේ නමුත් ඊයේ දින ජාතික විදුලිබල පද්ධතිය පැවති දුර්වල තත්වය හේතුවෙන් සමස්ත විදුලි බිඳ වැටීම වළක්වා ගත නොහැකි විය.

මෙවැනි විදුලි බිඳ වැටුම් ඉදිරියේදී සිදු නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිය ගබඩා කිරීමේ බැටරි පහසුකම් (Battery Storages) හා ජල පොම්ප බලාගාර (Pump Storage) වලට අදාළ ව්‍යාපෘති කඩිනම් කිරීමට දැනටමත් ලංකාවේ විදුලබල මණ්ඩලය හා බලශක්ති අමාත්‍යංශය එක්ව කටයුතු කරමින් පවතී.

ලංකාවේ විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලනය අංශය හා අනෙකුත් අංශ යුහුසුළුව කටයුතු කරමින් සමස්ත විදුලි පද්ධතිය කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියා කරන ලදී.

තවද මේ සම්බන්ධයෙන් ඇතැම් වැරදි මත සමාජ ගත කිරීමට යම් පාර්ශව උත්සාහ ගන්නා බවද අප විසින් නිරීක්ෂණය කර ඇත.

 

 

 

 

 

 

 

 

Social Sharing
නවතම පුවත්