ජනපති සහ නීතිපති අතර හමුවේදී කතා කළ දේ ගැන අධිකරණ ඇමති කිව්වේ මොනවා ද?

වසර 16කට ඉහතදී මහමග වෙඩි තබා ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ නඩුවක සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කර තිබීම සැලකිල්ලට ගෙන නීතිපතිවරයා ඉවත් කරන ලෙස දැඩි විරෝධතා එල්ල වෙමින් තිබේ.

ඔහු ඉවත් කළ යුතු බවට බල කරමින් බ්‍රහස්පතින්දා (පෙබ:06) උද්ඝෝෂණයක් ද පැවැත්විණි.

මෙවැනි වාතාවරණයක් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක, නීතිපති පාරින්ද රණසිංහ හමුවී සාකච්ඡාවක නිරත වූ බව වාර්තා විය.

ජනාධිපති සහ නීතිපති කතා කළේ මොනවා ද?

ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී කතාබහට ලක්වූයේ කුමක් ද යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විමසීමක් කළේ ය.

“දීර්ඝ සාකච්ඡාවක් වුණා. ඒ සාකච්ඡාවේදී රජයේ ප්‍රතිපත්ති වගේ දේවල් ගැන සාකච්ඡා වුණා. දීර්ඝ සාර්ථක සාකච්ඡාවක් තිබුණා, නඩු කටයුතු සම්බන්ධයෙන්. අපිට ආණ්ඩුවක් වශයෙන් නීතිපතිට උපදෙස් දෙන්න බෑනෙ, කොහොම ද නඩු පවරන්නෙ කියල. ඒත් අපි සාකච්ඡා කළා. සාකච්ඡා කරපු සියලු දේ මේ වෙලාවෙ මාධ්‍යයට කියන එක සුදුසු නෑ.”

එම සාකච්ඡාවේදී නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු නොවූ බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

“ඒ වෙලාවෙ එහෙම දෙයක් සාකච්ඡා වුණේ නෑ. නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් වුණේ නෑ. මම එතන හිටියා එහෙම දෙයක් කතා වුණේ නැහැ. නීතිපති ඉවත් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒත් ඒ ගැන සාකච්ඡාවක් වුණේ නැති නිසා අපි ඒ ගැන අවධානයක් යොමු කළේ නැහැ.”

එහිදී සාකච්ඡා කෙරුණු ඇතැම් කරුණු පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ, මෙවන් අදහසකි.

“ඉතා ම සුබවාදී ආකල්පයකින් යුතුව, මොක ද අපි ඔක්කොම එකට වැඩ කරන යාන්ත්‍රණයක් නෙ. ඒ සාකච්ඡාව සිද්ධ කෙරුණා. රජයේ ප්‍රතිපත්ති ගැන, රජය යන මාර්ගය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තා. නමුත් අපි එක එක නඩු ගැන හෝ ඒ නඩු පවරන්නෙ නැද්ද වගේ දේවල් සාකච්ඡා කරන එක සුදුසු නැහැ. හැබැයි කරුණු පැහැදිලි කිරීමක් වුණා.”

නීතිපතිගෙන් පැහැදිලි කිරීමක්

මේ අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ (පරිපාලන) ඇන්ජලෝ වැන්හොෆ්ගේ අත්සනින් යුතු නිවේදනයක් සිකුරාදා (පෙබ:07) නිකුත් කර තිබිණි.

එහි සඳහන් වන්නේ, ‘අපරාධ චෝදනා ගොනු කිරීමට අදාළ සාක්ෂි නොමැති වීම මත අදාළ සාක්ෂිකරුවන් නිදහස් කළ’ බව ය.

කෙසේ වෙතත්, එම නිදහස් කිරීම නව සාක්ෂි හෙළිදරව්වීම මත අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා සලකා බැලීමට බාධාවක් නොවන බව ද එම නිවේදනයේ දැක්වේ.

ලසන්තගේ දියණියට අගමැතිනියගෙන් ප්‍රතිචාර

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අහිම්සා වික්‍රමතුංග යොමු කළ ලිපිය තමන් වෙත ලැබී ඇති බවත් එම ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය නම් අලුතින් නඩු පැවරීමට කටයුතු කරන බවත්, යුක්තිය ඉටුකිරීමට රජයට ගත හැකි සෑම නීතිමය පියවරක් ම ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවා ය.

“අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලි යි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි සූදානම්. ඉස්සරත් අපගේ ස්ථාවරය වුණේ ඒක. වර්තමානයේ ද අපගේ ස්ථාවරය එය යි. මෙම කාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට අපි හැකි සෑම දෙයක් ම කරන බවට මම ඇයට සහතික වෙනවා.”

‘නීතිපති ඉවත් කළ යුතු නැහැ’

මෙම සිද්ධිය හමුවේ නීතිපතිවරයා ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නැතැයි නම හෙළි කිරීමට අකමැති ජ්‍යෙෂ්ඨ නිතීඥයෙකු බීබීසී සිංහල වෙත පැවසීය.

“නීතිපති කියන්නේ ස්වාධීන නිලධාරියෙක්. ඔහු ක්‍රියා කරන්නේ සාක්ෂි මත පදනම්ව. ඒ නිසා ඔහු සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒකට එරෙහිව අධිකරණය හමුවට යන්න පුළුවන්. එහෙම නොකර ඔහු ඉවත් කළ යුතු යි කියල බලපෑම් කරන එක තේරුමක් නෑ. මට හිතෙන විදිහට නීතිපතිවරයා ගන්නා තීරණ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් මේ වැරදි වටහා ගැනීම් සිද්ධ නොවෙන්න පුළුවන්.”

නීතිපති යනු කවුද?

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නීති නිලධාරියා නීතිපතිවරයා වන අතර දෙපාර්තමේන්තු ප්‍රධානියා හා ගණන් දීමේ නිලධාරියා වශයෙන් නීතිපතිවරයා කටයුතු කරයි.

‘ඒ’ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වන නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1933/13, 2015.09.21 දරන ගැසට් පත්‍රය අනුව අධිකරණ අමාත්‍යංශය භාරයේ පවතී.

නීතිපති දෙපාර්තමේන්තුව, මධ්‍යම රජයට, පළාත් සභාවලට රජයේ දෙපාර්තමේන්තුවලට, ව්‍යවස්ථාපිත මණ්ඩල හා අනිකුත් අර්ධ රාජ්‍ය ආයතනවලට නීතිමය සහය ලබා දෙයි. එකී සහය ලබා දීමේදී දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් ප්‍රධාන වශයෙන් සිවිල්, අපරාධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ වාණිජ යන කාරණා සම්බන්ධයෙන් රජයට සහ රජයට අයත් ආයතනවලට උපදෙස් දීමත්, දිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අනෙකුත් අධිකරණවල හා කම්කරු විනිශ්චය සභාවල පවරා ඇති නඩුවලදී රජය සහ රාජ්‍ය ආයතන නියෝජනය කිරීමත් සිදු කරනු ලැබේ.

සිවිල් අංශය, අපරාධ නඩු අංශය හා රාජ්‍ය නීතිඥ අංශය වශයෙන් ප්‍රධාන අංශ තුනක් මගින් දෙපාර්තමේන්තුවේ සිවිල් හා අපරාධ නඩු වලට අදාලව කටයුතු ඉටු කරනු ලබයි.

නීතිපති පාරින්ද රණසිංහ

ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ නීතිපති ධූරයට පත් කරන ලද්දේ, 2024 ජූලි මස 12 වන දා ය. ඒ, එවකට ජනාධිපති ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ විසිනි. ඔහු ශ්‍රී ලංකාවේ 49 වන නීතිපතිවරයා ය.

BBC සිංහල

Social Sharing
අවකාශය නවතම