සහල් මිල රජයට නීතියෙන් හෝ බලය යෙදීමෙන් හෝ පාලනය කළ නොහැකි බවත්, එසේ කළහොත් විනාශකාරී ප්‍රතිඵල අත්විය හැකි බවත්, පසුගිය ලිපි මගින් අපි පෙන්වා දුන්නෙමු. එසේ වුවත්, ආණ්ඩුව එම උත්සාහය අතහැර නැති බව පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵල අපට ඉදිරියේ දී දැකගත හැකි වනු ඇත.
අප පෙන්වා දුන්නේ වෙළඳ පොළේ සහල් මිල කෘතීම ලෙස පහත හෙලීමට ආණ්ඩුව ක්‍රියා කළහොත් එහි ප්‍රතිඵලය ලෙස ඉදිරි කාලයේ සහල් මිල තවත් ඉහළ යා හැකි බව යි. ඒ සහල් නිෂ්පාදනය පහළ යන හෙයින් ය.
එසේ නම් ප්‍රශ්නය මතුවන්නේ සහල් මිල පහත හෙලීමට රජයට කිසිවක් කළ නොහැකි ද? යනුවෙනි. අපට පෙනෙන ආකාරයට සහල් මිල පහත හෙලීමට කළ හැකි කළ යුතු බොහෝ දේ ඇත. එමගින් සහල් මිල සියයට පනහකින් හෝ වැඩි ප්‍රමාණයකින් පහත හෙළිය හැකි බව පෙන්වා දීම මෙම ලිපියේ අරමුණ වෙයි.
සහල් මිල පහත හෙළිය හැකි වන්නේ වී නිෂ්පාදනයේ පවතින ගැටළු හඳුනාගෙන ඒවා විසඳීම අවශ්‍ය වෙයි. එහි දී වී ගොවිතැනේ ආවේනික ප්‍රශ්න, අකාර්යක්ෂමතාවය සහ එයට හේතු සහ පලදායිතා වැඩිකිරීම ගැන සැලකිල්ල යොමු කළ යුතු වෙයි.
වී ගොවිතැන තනි වෘත්තියක් ලෙස සාර්ථක කළ නොහැකි ය. එයට හේතුව ශ්‍රම යෙදවුමේ තිබෙන ප්‍රශ්නය යි. මෙම ගොවිතැනට වැඩි ශ්‍රම දායකත්වයක් අවශ්‍ය වන්නේ අවස්ථා දෙකක දී ය. එනම්, ඉඩම් සකසා වැපිරීමේ අවස්ථාව සහ අස්වැන්න නෙලීමේ අවස්ථාව යි. ඒ සඳහා ද දැන් යන්ත්‍ර සුත්‍ර යොදාගැනීම සිදුවෙයි. අතර මැදි කාලයේ දී ගොවියාට වී ගොවිතැනට එතරම් ශ්‍රම යෙදීමක් අවශ්‍ය වන්නේ නැත. එබැවින් වී ගොවිතැන සමග වෙනත් ගොවිතැනක් හෝ රැකියාවක් තිබීම අවශ්‍ය වෙයි.
අතීතයේ දී මෙම ප්‍රශ්නය විසඳි තිබුණේ හේන් ගොවිතැන , ගව පාලනය වැනි වෙනත් කටයුතු මගින් ය. පසු කලෙක ගොවි ජනපද ඇතිකරන විට ගොවීන්ට කුඹුරු ඉඩමක් සමග ගොඩ ඉඩමක් ද ලබා දී තිබිණි. පරම්පරා කිහිපයක් ගතවන විට දැන් එම ඉඩම් කැබලි වී ගොසින් ය. ගොඩ ඉඩම් බොහොමයක් යොදාගෙන ඇත්තේ නිවාස ඉදිකිරීම සඳහා ය.
“Due to continues land fragmentation, more than 50 percent of total rice production comes from smallholders who cultivate less than 0.4 ha per household. About 25 percent of the total production comes from landholding of 0.4 to 0.8 ha per household. Commercial rice farming is limited only to the eastern province where paddy fields of more than 2 ha are common which contribute less than 25 percent of the total production. Nearly 83 percent of the area sown in 2019–2020 Maha season fell under the single owned category. “
The status of water use efficiency and productivity with a focus on paddy rice in Sri Lanka
FOOD AND AGRICULTURE ORGANIZATION OF THE UNITED NATIONS Rome, 2023
https://openknowledge.fao.org/server/api/core/bitstreams/b436a98c-5634-4c03-969e-16cd6ce66b4a/content
මේ වන විට ඉඩම් හිමිකමේ ද බොහෝ වෙනස්කම් සිදු වී තිබේ. වෙනත් වෘත්තිකයෝ ,රජයේ සේවකයෝ, ගුරුවරු, විදුහල්පතිවරු, විශ්‍රාමිකයෝ ආදී විශාල පිරිසක් කුඹුරු හිමිකරුවෝ වී සිටිති. ඒ ඔවුන්ගේ අදායම් මාර්ගයට අමතර ආදායමක් ලබා ගැනීමේ අරමුණින් ය. කුඩා ඉඩම් හිමියන් හෝ අඳ ගොවීන් ලෙස හෝ වී ගොවිත්නේ යෙදෙන උදවිය ද කෘෂිකාර්මික කම්කරුවන් ලෙස හෝ වෙනත් ආකරයිකින් සේවය කරන බව ද පෙනෙන්නට තිබේ. ගොවිතැනේ තිබෙන මෙම තත්ත්වය ද සම්පත් අපතේ යාමට සහ අකාර්යක්ෂම භාවයට ප්‍රධාන හේතුවකි.
“The total area under rice cultivation has gradually increased from about 400 000 ha to over 600 000 ha during the last two decades. Despite this increase, the average landholding of rice farmers is less than one hectare which account for more than 50 percent of rice production. Economically, small-scale rice farming is not a lucrative business, but it plays an important role in poverty alleviation, local employment generation and ensuring household food security of smallholders. Although average rice production in the country amounts to 3.71 million tonnes a year, low yields and low resource use efficiency as compared to other rice producing countries in the region are still a challeng”
The status of water use efficiency and productivity with a focus on paddy rice in Sri Lanka
FOOD AND AGRICULTURE ORGANIZATION OF THE UNITED NATIONS Rome, 2023
https://openknowledge.fao.org/server/api/core/bitstreams/b436a98c-5634-4c03-969e-16cd6ce66b4a/content
මෙම ගොවිතැන සිදුවන්නේ කුඩා ව්‍යවසයක් වශයෙනි. ඒ සඳහා ශ්‍රමය ඇතුළු සියලු දේ මුදල් ගෙවා ලබාගත යුතු ය. බිත්තර වී , කුඹුරු සැකසීම, සී සෑම සිට අස්වනු නෙලීම දක්වා සියලු දේ සිදුවන්නේ මුදලට ය. අද සිටින වී ගොවීන් අතරින් කුඩා ඉඩම් හිමි පිරිසක් හැරුණු විට බහුතරය කුඹුරට බහින්නේ නැත. එය කරන්නේ කෘෂිකාර්මික කම්කරුවන් විසිනි. ඒ සියල්ලට ගෙවීම් කළ යුතු ය. ගොවියා බුලත් විටේ මිලත් නිෂ්පාදන වියදමට ඇතුළත් කොට ඇතැයි ඇතැම් ඇමතිවරුන් මැසිවිලි නගන්නේ ඒ නිසා ය.
කලක් මගේ දේශපාලන ගුරුවරයකු වූ සහ මගේ බිරිඳගේ මාමා කෙනෙකු වන අධිනීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා දැන් ජාතික සංවිධාන එකමුතුවේ නායකයෙකි. ඔහු දේශීය ආර්ථිකය අගයන අයෙකි. දැනට කොළඹ ආසන්න ප්‍රදේශයක වාසය කරන ඒ මහතා ගාල්ලේ තම ගම් ප්‍රදේශයේ සංචාරයකින් පසු කම්පා වුයේ ගොවීන් කුඹුරු වගාකර නොතිබීම පිළිබඳව ය. ගොවීන් ප්‍රකාශ කොට ඇත්තේ වගා කටයුතු සඳහා කම්කරුවකුට දිනකට රුපියල් 3500 ක වැටුපක් ගෙවිය යුතු බව සහ එම ගෙවීම් කොට වගා කිරීමෙන් ලාභයක් නැති බව යි.
මෙබඳු තොරතුරු තවත් ඇත.
මෙහි තේරුම නම් දැනට සිටින වී ගොවීන් බහුතරය අමුඩ ගහන්නේවත් උදලු ගෙන කුඹුරට බහින්නේවත් නැති බවයි. ඔවුන් අමුඩ ගහන්නේ සහ උදලු කරට ගන්නේ පෙළපාලි යෑම සඳහා ය. එය දේශපාලන ක්‍රියාවකි.
තත්ත්වය මෙය බැවින් තමන් යොදන මුදලට සාධාරණ ලාභයක් ගොවීහු බලාපොරොත්තු වෙති. සහතික මිලක් ඉල්ලන්නේ ඒ නිසා ය. ඔවුන් බලාපොරොත්තු වන්නේ වෙළෙඳපොළේ මිලට වඩා ඉහළ මිලකි.
එසේ වුවත්, ශ්‍රී ලංකාව ලොව ඉහළ ම සහල් මිලක් පවතින රටකි. වෙළෙඳපොළේ ගෙවන මිල සහ සහනාධාර ලෙස, වාරිමාර්ග සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා ඉහළ මිලක් ගෙවීමට ජනතාවට සිදු වී තිබේ. එයට හේතුව ලෙස විද්වතුන් හඳුනාගෙන ඇත්තේ මෙරට කෘෂිකර්මයේ පවතින අකාර්යක්ෂමතාවය යි. එම ආකර්යක්ෂමතවයේ ප්‍රධානතම හේතුව කුඩා ඉඩම් හිමිකම යි. එම ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුව ඇත.
මෙම ඉඩම් යළි එකතු කිරීම රජයට කළ නොහැකි ය. ඒ සඳහා ඉඩම් වෙළෙඳපොළක් සඳහා ඉඩකඩ විවර කරමින් ගොවි ජනයාට තම ඉඩම් හිමිකම ලබාදිය යුතු ය. තම ඉඩම් විශාල කර ගැනීමට අවශ්‍ය, හැකි අයට ඒ සඳහා ඉඩ ලබාදිය යුතු ය. තම කුඩා ඉඩම් විකුණන අයට ද ඒ සඳහා ඉඩ දිය යුතු ය.
ඒ සමග කළ යුතු තවත් කාර්යයක් වන්නේ එතරම් ඵලදායී නැති කුඹුරු ඉඩම් සුදුසු වෙනත් වගාවන් සඳහා යොදා ගැනීමට ඉඩ දීමයි. ඒ සඳහා පවතින තහංචි ඉවත් කළ යුතු අතර මගපෙන්වීම් සහ දිරි ගැන්වීම් කළ යුතු වෙයි.
මෙහි පළමු පියවර ගොවියාට ඉඩම් අයිතිය ලබාදීම යි. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ආරම්භ කළ වැඩ සටහන උරුමය යි. ජනාධිපතිවරණයේ අවසන් කාලයේ දී ජාතික ජන බලවේගය ද පොරොන්දු වුයේ එම වැඩ සටහන ඉදිරියට ගෙනයන බවට ය. ඊට පෙර මොන පොරොන්දු දී තිබුණත් ඒවා අතහැර ආණ්ඩුවට දැන් මේ පොරොන්දුව ක්‍රියාත්මක කළ හැකි ය. ගොවිතැනේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට එය අත්‍යවශ්‍ය මුල් පියවරකි.
ඊළඟ වැදගත් පියවර වී ගොවිත්නේ ඵලදායීතාවය ඉහළ නැංවීම යි. අපරටේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටෙයරයකට වී ටොන් 4.2 කි. චීනය ඔස්ට්‍රේලියාව වැනි රටවල් හෙක්ටෙයරයකින් ටොන් 9 ක් අස්වනු ගන්නා බව කියති. ජනාධිපති රනිල් ප්‍රකාශ කළ ඉලක්කය ටොන් අටකි. එම ඉලක්කයට නොගියත් ටොන් 6 ක හෝ 7 ක ඉලක්කයකට යාමේ හැකියාව තිබිය යුතු ය. එසේ කළහොත් රටේ වී නිෂ්පාදනය ඉහළ යන අතර ගොවීන්ට ඉහළ ආදායමක් ලැබෙන අතර ම සහල් මිල ද සියයට 50 කට වැඩි ප්‍රමාණයකින් පහළ දැමිය හැකි වනු ඇත.
මේ සඳහා බොහෝ දේ කළ යුතු වෙයි. එසේ වුවත්, මේ රටේ ගොවිතැනේ අකාර්යක්ෂමතාවය පිටුදැක ඉහළ ඵලදයීතාවයක් ඇතිකර ගැනීම සඳහා මේ ක්‍රියාමාර්ග ගත යුතු ම ය.
සහල් මිල ස්ථාවර ලෙස සහ දිගුකාලීනව පහත හෙළිය හැක්කේ මෙම ක්‍රියාමාර්ග සාර්ථක කරගැනීම මගින් පමණකි.
සී ජේ අමරතුංග – www.yukthiya.lk