හැරී : ව්‍යාපාරික ලොව තරුව බැස යයි.

Fitch Ratings upgrade Harry J's Continental Insurance to A+(lka); a major boost to Sri Lankan Insurance Industry

හැරී ජයවර්ධන මියගිය බව අහන්න ලැබුනා. හැරී කියන්නෙ ලංකාවෙ දක්ෂ නෙමෙයි අතිදක්ෂ ව්‍යාපාරිකයෙක්. එහෙම ව්‍යාපාරිකයො දැන් නෑ. තමන්ගෙ අරමුණු වෙනුවෙන් බය නැතුව ගමන් කරන, ‘හොඳ’ නම ගන්න දගලනවා වෙනුවට කලු-සුදු පරාසයන්වල බය නැතුව එහා මෙහා යන ඒ ඕල්ඩ්ස්කූල් ‘ස්වැගර්’ එකට මං ගරු කරනවා. කාලයක් තිස්සෙ හැරීගෙ මේසෙ ඉස්සරහ ඉඳගෙන බැනුම් අහඅහා අයිඩියාස් ප්‍රසන්ට් කරන්න ලැබීම භාග්‍යයක් කියල සලකනවා. හැරී හැමතිස්සෙම මට දැනුනෙ ආඩම්බරකාර සීයා කෙනෙක් වගේ. තමන්ගෙ ව්‍යාපාර ගැන ඉහළ සිට පහලටම දිවෙන දැනුමක් හැරීට තිබුන. ඒක ඉලක්කං ලාභාංශ ගැන දැනුමක් නෙමෙයි. වැඩකරන මිනිස්සු ගැන සංස්කෘතික දැනුමකුත් ඊට ඇතුලත්.

එකපාරක් අපි ඇඩ් එකක් කරගෙන ගියා. කැමරා කෝනයට ගැලපෙන්න ගහක අත්තක් අයිනකින් පළවෙනි ෂොට් එක එනවා. පවුලක් යෝගට් කනවා.

‘ඔය අඹ ගහ කපලා දානවා’ හැරී කිව්වා.

මොන අඹ ගහද? අපි අන්දමන්ද වෙලා.

ඔය කැමරාව ඉස්සරහම තියෙන අඹගහ කපලා දානවා. මට මගේ ප්‍රොඩක්ට් එක කෙලින්ම පේන්න ඕන. අඹ අතු නෙමෙයිනෙ..

හැරී නැගිටලා ගියා. ඒ ෂොට් එක ලස්සනයි. ඒත් හැරීගේ මුරන්ඩු උවමනාවත් ලස්සනයි. අපි ෆ්‍රේම් එකෙන් ‍ෆ්‍රේම් එකට අඹගහ කැපුවා.

හැරී එක්ක ඇඩ්වර්ටයිසින් කරද්දි සිද්ද වෙච්ච සිදුවීම් තාම අපි මතක් කරනවා. ඒ හැම තැනකදිම අපි මොකක් හරි දෙයක් ගැන ඉගෙන ගත්තා. තේ ගැන කරන්න ගියොත් හැරී පැයක් විතර තේ ගැන උගන්නනවා. කිරි ගැන කරන්න ගියත් එහෙමයි.

හැරීට තිබුනා හරිම සියුම් නිරීක්ෂණ. අඳින පළඳින එකේ ඉඳන්ම සියුම් දේවල් හැරී තක්සේරු කරනවා. දවසක් එයාගෙ කර්මාන්ත ශාලාවක සේවකයන් මුනගැහිලා එන අතරෙ හැරී ඉහළ නිලධාරියෙකුට කතා කළා.

‘අර මනුස්සයා ගැන ටිකක් පරීක්ෂාවෙන් ඉන්නවා’ එයා සේවකයෙක් පෙන්නලා කිව්වා.

‘ඇයි සර්..’ නිලධාරියා ඇහුවා.

‘බලනවා එයා දාලා ඉන්න සපත්තු දෙක. ඔය පඩියෙන් එහෙම සපත්තු දෙකක් ගන්න පුළුවන්කමක් නෑ. මිනිහා කොහෙන් හරි වංචා කරනවා වෙන්න පුළුවන්’

හැරීගේ නිරීක්ෂණය හරි ගියා. ඒ සේවකයා වංචා වැලකට අහුවෙලා ගෙදර ගියා. හැරීට තිබුනා හොඳ වගේම නරක ගැනත් ගැඹුරු අවබෝධයක්. එයා හැරි හැරි හිටියෙ නෑ. දැඩි තීන්දු තීරණ ගත්තා. ආධිපත්‍යය උපරිමයෙන් පාවිච්චි කළා.

ලක්ස්ප්‍රේ එක තේවලට මුහු කරන කිරි එකක් විදිහට ‍ගේන්න අපි මීටින් ගනන් රන්ඩු කළා.

‘තමුසෙලා හදන්නෙ මගේ කිරි එක වයිට්නර් එකක් කරන්නද? ‘ හැරී අපිව එලෙව්වා. හැරීට අපි යමක් ප්‍රසන්ට් කරන්න යන්නෙම එළවනවා කියන බලාපොරොත්තුවෙන්.

මේ දරදඩුකම, උද්ධච්චකම කිසි දවසක මට හැරී ගැන තරහක් ඇති කලේ නෑ. ඒ වෙනුවට ඒ වගේ දැවැන්තයින් අතර ඉතුරු වෙලා ඉන්න එකම කෙනෙක් කියන ආදරය හැමදාම ඉතුරු කළා. දැන් හැරීත් ගිහින්. ස්වර්ගයට වුනත් හැරී ලේසි වෙන්නෙ නම් නෑ.

සටහන : චින්තන ධර්මදාස

Social Sharing
නවතම පුවත් විශේෂාංග