පැමිණිලි භාර නොගත්තොත් දැඩි පියවර – පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

පොලිස් සථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට විවිධ හේතු දක්වමින් පැමිණිලි භාර නොගෙන්නා නිලධාරීන්ට මෙන්ම, මූලස්ථාන පොලිස් පරීක්‍ෂකට හෝ ස්ථානාධිපතිවරයාට ද එරෙහිව විනය ක්‍රියාමාර්ග හා නීති ක්‍රියා මාර්ග ගන්නා බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

පෙබ 01දා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ එම චක්‍රලේඛනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණ දෙන නිලධාරි, කොට්ඨාස භාර නිලධාරි / අධ්‍යක්‍ෂ, දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදන නිලධාරීන්, මු. පො. ප. / ස්ථානාධිපතිවරුන් වෙත යොමු කර තිබේ. එමෙන්ම, මෙම චක්‍රෙල්ඛනය මගින් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ 82 (අ) ප්‍රතිපාදන අනුව අදාල නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියාව පවතින බවයි.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 වගන්තියේ පැහැදිලිව වරදක් පිළිබඳ තොරතුරු, තැනැත්තන් විසින් ලබාදීම සහ ඒවා සටහන් කර ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් කාර්ය පටිපාටිය ඉතා පැහැදිලිව සඳහන් කර ඇති බවත් එනම්, 109 (1) වරදක් සිදු කිරීම පිළිබඳව සෑම තොරතුරක්ම පොලිස් නිලධරයකු වෙත වාචිකව හෝ ලියවිල්ලකින් දෙනු ලැබිය හැකිය.

එසේ ලබාදෙනු ලබන තොරතුරු ඉහත කී පනතේ 109 (3) උප වගන්තියට අනුව අදාළ තොරතුර තොරතුරු සටහන් පොතේ අප්‍රමාදව ඇතුළත් කළ යුතු බව සඳහන් වේ. එකී තොරතුර ලද නිලධාරියා ස්ථානභාර නිලධාරියා නොවන්නේ නම් අදාළ තොරතුරු වහාම පොලිස් ස්ථානභාර නිලධාරියා වෙත වාර්තා කිරීම අදාළ පොලිස් ස්ථානයට අනුයුක්ත අනෙක් නිලධාරීන්ගේ වගකීම වේ.

එසේම, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 107 (1) උප වගන්තිය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවමින් “යම් සංඥය වරදක් සිදු කිරීම වැළැක්වීමේ කාර්ය සඳහා සෑම සාම නිලධාරියකු විසින්ම මැදිහත් වී ක්‍රියා කළ යුතු අතර ඔහු විසින් එය තමාගේ උපරිම හැකියාව යොදවා වැළැක්විය යුතුය.”

එපමණක් ද නොව පොලිස් ආඥා පනතේ 56 වගන්තියේ සඳහන් පහත කරුණු කෙරෙහි වැඩිදුරටත් ඔබගේ අවධානය යොමු කරවමින් සියලුම අපරාධ, වැරදි සහ පොදු හිරිහැර වැළැක්වීමට තමාගේ සම්පූර්ණ ධෛර්ය හා ශක්තිය යෙදවීම, සාමය ආරක්ෂා කිරීම, පොදු සාමය සම්බන්ධයෙන් ආරංචි එක් රැස් කිරීම හා ඒවා දැන්වීම කළ යුතුය.

කරුණු එසේ හෙයින්, ඉහත කී නෛතික ප්‍රතිපාදන කෙරෙහි අවධානය යොමු කරමින් පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි සටහන් කිරීම හා ඒවා විමර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධරයන්ගේ යුතුකමක් හා වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතුය.

තවද, පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සටහන් කිරීම සම්බන්ධයෙන් 2002.10.14 වන දින නිකුත් කරන ලද පොලිස්පති චක්‍රලේඛ 1667/2002 චක්‍රලේඛය ද, 2007.09.07 වන දිනැති පොලිස්පති චක්‍රලේඛ 2020/2007 සහ 2024.10.29 වන දිනැතිව නිතුත් කරන ලද CRTM 744 පරිදි “1997 කෙටි දුරකථනය ඔස්සේ මහජනතාවගෙන් ලැබෙන තොරතුරු හා පැමිණිලි” යන මැයෙන් නිකුත් කරන ලද දුරකථන පණිවුඩය කෙරෙහි ද ඔබගේ අවධානය යොමු කරවමි.

මූලාශ්‍ර – දිවයින

Social Sharing
නවතම පුවත්