මහජන මුදල්වලින් ලබන වැටුප් පෞද්ගලිකව අරගත්තත් එකයි, පක්ෂෙ අරගෙන මන්ත්‍රීවරයා පක්ෂෙන් වැටුප් අරගත්තත් එකයි. දෙකෙන්ම කෙරෙන්නෙ එකම වැඩේ. ඒ කියන්නෙ මහජන බදු මුදල් වැය වීම. මන්ත්‍රීවරුන් ජීවත් වීම වගේම සමාජ සේවය යන දෙකම පෞද්ගලිකව වැටුප් ගත්තත් සිදුවෙනවා.
හැබැයි, මෙතනදි වෙනත් දෙයක් සිදුවෙනවා. මීට කලින් අසාධාරණයි කියපු මන්ත්‍රී වැටුප් හා වරප්‍රසාද දැන් පක්ෂෙන් ලබාගන්නවා. එමගින් පක්ෂ යාන්ත්‍රණයක් ද නඩත්තු කරනවා. මහජනතාව විසින් ඡන්දයෙන් පත් කළ නියෝජිතයාට මහජන මුදලින් ගෙවන වැටුපෙන් කොයි තරම් මුදලක් ලබාදෙනවාද කියන එක පවා තීරණය කරන්නෙ පක්ෂය.
2004 කාලෙ හිටපු ජවිපෙ මන්ත්‍රීවරුන්ගෙනුත් පෙන්නුම් කරපු විදියට මෙමගින් නිර්මාණය වෙන්නෙ ඉතා අකාර්යක්ෂම, අතෘප්තිමත්, ඇරියස්කාර මහජන නියෝජිතයෙක්. 2004දි පත්වුණ මන්ත්‍රීවරුන් 39න් 25ක් පමණ පක්ෂෙ හැර ගියා පමණක් නොවෙයි, ඇතැමෙක් හොර තක්කඩි බවටත් පත් වුණා.
ඒකට හේතුව තමයි, පූජනීය වගේ පෙනී සිටින පක්ෂෙන් තම අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් මුදල් ලබාගන්නට නොහැකි වීම. මන්ත්‍රීවරයා පක්ෂ හිතවතුන්ගෙන් ඉල්ලාගෙන කන පුද්ගලයකු බවට පත් වීම ඉතාම නරක තත්වයක්. එවිට ඔහු මහජනයාට වඩා අනුග්‍රාහකයන්ගේ නියෝජිතයකු වෙනවා. ඒ වගේම, මහජනයාට තමන්ගෙ බදු මුදලින් නඩත්තු කරන මන්ත්‍රීවරයාගෙන් කාර්යක්ෂම සේවාවක් ලබාගන්නටත් බැරි වෙනවා.
පවත්නා මැතිවරණ ක්‍රමය යටතෙ මහජනයා ඍජුව දිස්ත්‍රික් නියෝජිතයන් පත්කරගන්නවා. ඔවුන් පක්ෂයකට අයත් වුණාට නියෝජිතයා පොදුයි. මහජන නියෝජිතයා ඒකාධිපති පක්ෂයක නිලධාරි යාන්ත්‍රණයට ආර්ථික හා දේශපාලනික වශයෙන් යටපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් නෙමෙයි.
මන්ත්‍රී වැටුප සම්පූර්ණයෙන්ම මහජන සේවයට කැප කරපු මන්ත්‍රීවරුන් මීට පෙර ඉතිහාසයේ ධනේශ්වර පක්ෂවල හිටියා. ඒගොල්ලන්ට වෙනත් ආදායම් මාර්ග තිබුණා. ඒ ආදායම් මාර්ගවලට මන්ත්‍රීකමෙන් වාසි තියෙන්නත් ඇති.
Praja.lk