හිටපු ඇමැති ලොහාන් රත්වත්තේ මහතා රාත්‍රී කාලයේ දී බීමත්ව අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී දමිළ ජාතික රැඳවියකුගේ නළලට පිස්තෝලයක් තබා සාපරාධි බිය වැද්දීමක් කළැයි කියන සිද්ධියට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 24 වැනිදා තෙක් කල් තැබීමට අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය ඊයේ (30) නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් පවත්වා ඇති විමර්ශනයේ වාර්තාව බන්ධනාගාරය, අධිකරණයට ඊයේ (30) ඉදිරිපත් කළේය.
මෙම නඩුව ඊයේ (30) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු ඇමැති ලොහාන් එවින්ද රත්වත්තේ විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාසය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ පසුගිය 2021 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින හෝ ඊට ආසන්න දිනයක සැකකරු අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි පුබාරසිංහන් සූරියපාලන් යන අයට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බියවැද්දීමක් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 183 වගන්තියප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වන බවට නීතිපතිවරයා දැනුම් දී ඇති බවයි.
දිනමිණ