එවකට පැවති රජය විසින් 1988 වසරේදී ගම් උදාව ව්‍යාපෘතිය ආණමඩුව නගරයට පැමිණීම වෙනුවෙන් වසර 37 කට පෙර ආණමඩුව නගරය මැද ආණමඩුව වැවට මුහුණලා සුන්දර පරිසර පද්ධතියක මෙම තානායම අලංකාර ලෙස ඉදිකර තිබුණි.
ආණමඩුව නගරයට පිටින් පැමිණෙන අය සහ පුත්තලම නගරය හරහා අනුරාධපුරය බලා ගමන් ගන්නා බොහෝ දෙනකුගේ නවාතැන්පොළ බවට 1988 වසරේ සිට 2015 දක්වා කාලය තුළ භාවිතාකළ මෙම තානායම එකළ දෙස් විදෙස් පිරිසගේ ආකර්ෂණයට ලක් වී තිබුණු සුන්දර ස්ථානයක් විය.

මූලාශ්‍රය : https://shorturl.at/mQDBE
එවැනි සුන්දර පරිසර පද්ධතියක අලංකාර ලෙස ඉදිවූ මෙම ආණමඩුව තානායම වසර ගණනාවක සිට කැලෑවෙන් වැසී යමින් තිබෙන අතර එය මේ වන විට සමාජ විෂමාචර සිදුකරන පුද්ගලයින්ගේ තිප්පොළක් වී ඇති බවට ප්‍රදේශවාසීහු සඳහන් කරති. තවමත් භාවිතයට ගත හැකි ගොඩනැගිලි කැළෑවට යාමට ඉඩ දී තිබීමෙන් මෙම වටිනා රාජ්‍ය (මහජන) දේපළ දිනෙන් දින විනාශ වෙමින් තිබෙන අතර ඒ හරහා රජයට ලැබිය යුතු ආදායමද අහිමි වී තිබේ.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් විසින් විටින් විට මෙම විනාශය ගැන අනාවරණය කළද, මේ දක්වා මෙම ජාතික ධනය රැක ගැනීම කෙරෙහි නිසි බලධාරීන්ගේ අවධානය යොමුව නොමැත.
වර්ෂ 2023 පෙබරවාරි මස 28 වැනි දින දිනමිණ පුවත්පතට එහි පුත්තලම අතිරේක වාර්තාකරු හිරාන් ප්‍රියංකර ජයසිංහ විසින් වාර්තාකළ තොරතුරුවලට අනුව මෙම තානායම ගැන තොරතුරු පහත පරිදි උපුටා දැක්විය හැකිය.
“ආරම්භයේ සිට මෙම තානායම පුද්ගලයින් කීප දෙනකු බදු පදනමට පවත්වාගෙන ගොස් ඇත. නමුත් අවසන් වරට බදු පදනමට ලබා ගත් තැනැත්තා විසින් එය නිසි ලෙස පවත්වාගෙන නොයාමත් ඔහු මරණයට පත්වීමත් සමඟ තානායම සම්පූර්ණයෙන් වැසී ගොස් තිබේ. කෙසේ වෙතත් මේ වන විට වසර ගණනාවක් තිස්සේ මෙම තානායම සම්පූර්ණයෙන් වැසී යාම සිදුව ඇති අතර, මෙම තත්ත්වය හමුවේ කැලෑ වැදී ඇති තානායම දහවල් හා රාත්‍රී කාලවල සල්ලාලයින්ගේ තිප්පොළක් බවට පත්ව ඇත. ඒ සමඟම බේබද්දන් මෙම ස්ථානෙය් අරක් ගනිමින් සිටින බව ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මේ පිළිබඳ අදහස් දැක්වූ නගරවාසී ඒ. එච්. එම්. යසනායක මහතා මෙසේ පවසන්නට විය. “මේ තානායම ඉතාම ලස්සන ස්ථානයක පිහිටලා තිබෙන්නේ. ඉදිරිපසින් වැව ඉස්සර මේ ස්ථානයට එන වැඩි පිරිසක් වැව රවුමේ ගිහින් ලස්සන බලලා තමා යන්නේ. ඒ තරමට අලංකාර වූ ස්ථානයක්. නමුත් වරින්වර මෙම ස්ථානය බදු ලබා ගත් පුද්ගලයින් නිසි ලෙස පවත්වගෙන යාමක් සිදු වුණේ නැහැ. අවසානයට හිටපු කෙනා මරණයට පත්වුණා. එයට පස්සේ කිසිම කෙනෙකු මෙම තානායම ගන්න කටයුතු කළේ නැති බවයි අපි දන්නේ. ඒ නිසාම දැන් මෙය කැලෑවට ගිහින්. ඒ මදිවට විවිධ අපචාර කටයුතු රැසක් සිදු වනවා. අපි බලධාරීන්ට කියන්නේ කඩිනමින් මේ ස්ථානය එළිපෙහෙලි කරලා දාලා නැවත ආණමඩුව තානායම ආරම්භ කරන්න කියලා” යැයි ඔහු පවසන්නට විය.
මෙම තානායම ආරම්භ කිරීමට වෙහෙස වූ ගාමිණී රාමනායක මහතා මෙසේ පවසන්නට විය. “මේ තානායම ආරම්භ කරන්න මැදිහත් වුණේ හිටපු ඉඩම් රාජ්‍ය ඇමැතිවරයකු වූ අශෝක වඩිගමංගාව මහත්තයා. ඒ 1988 අවුරුද්දේ ආණමඩුව ගම්උදාව වෙනුවෙන් ඇත්තටම මේ ස්ථානය තානායමකට සුදුසුයි කියලා කියුවෙත් මම. එය හිටපු ඇමැතිවරයා පිළිගත්තා ඒ නිසාම එතුමා මැදිහත් වෙලා මෙම තානායම ඉදිකිරීම සිදු වුණා. අනුරාධපුරයට ආණමඩුව හරහා ගමන් කරද්දී හමුවෙන එකම තානායම මෙම ස්ථානය නිසා බොහෝ දෙනකු නැවතී ආහාර අරන් ගිමන් හැරලා යන්න කටයුතු කළා. අනික බාර් ලයිසන් එක පවා තිබෙන නිසා ආදායමත් හොඳ මට්ටමක පැවතුණා. නමුත් කාලයත් සමඟ එහි අවසන් බදුකරු මරණයට පත්වීමත් සමඟ එය අභාවයට ගියා. හැබැයි අවසානයට කරපු කෙනා උනත් එය නිසි ලෙස පවත්වාගෙන ගියේ නැති චෝදනාව තිබෙනවා. පස්සේ මෙය කිසිම අයකු පවත්වාගෙන නොයාම නිසා කැලෑවට යට වී මේ වන විට විනාශ වීම සිදුවෙමින් පවතිනවා. අද මේ තානායම පිහිටි ඉඩම පමණක් කෝටි ගණනක වටිනාකමකින් යුක්ත වෙනවා. ඒ සමඟම එහි ගොඩනැඟිලි තාමත් සුළු අලුත්වැඩියාවකින් පස්සේ භාවිත කරන්න පුළුවන් ලෙස පවතිනවා. අපි කියන්නේ මෙම ස්ථානය විනාශ වෙන්න දෙන්න එපා කියලා” යැයි ඔහු බලධාරීන් දැනුවත් කරන්නට විය.
මේ පිළිබඳ අදාළ තොරතුරු ලබා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විණි.”
කෙසේනමුත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා සම්බන්ධයෙන් ගන්නා ලද පියවර හා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අදාළව 2021 දෙසැම්බර් 10 දිනැති කාර්ය සටහන්වලට අදාළ, ඔබේ අංක 9/3/2022 දරන 14.11.2022 දිනැති ලිපිය හා බැඳුණු කාර්ය සටහන්වලද මෙම ආණමඩුව තානායම ඇතුළු රාජ්‍ය දේපල සම්බන්ධයෙන් පහත පරිදි තොරතුරු දක්වා ඇත.
13. කාර්ය සටහන් අංක 14 – අධිකාරිය සතු ප්‍රසිද්ධ තානායම් (PA)
SLTDA විසින් සිදු කරනු ලබන වැඩිදුර ඇගයීම් ක්‍රියාවලිය සමඟ අවශ්‍ය ප්‍රගති වාර්තාව ඉදිරිපත් කරනු ලැබේ.
තානායම් බදු දීමට නොහැකි වීම පිළිබඳ පැහැදිලි කිරීම් පහත පරිදි වේ:
i. නාලන්ද තානායම/බත්තුළුඔය තානායම/ ආණමඩුව තානායම/ වීරකැටිය තානායම :-
මෙම තානායම් සඳහා පුවත්පත් දැන්වීම් මගින් (2021.01.25, 2020.02.16 සහ 2019.04.23 දින ) කිහිප වතාවක් ම අයදුම්පත් කැඳවන ලදී. කෙසේ වෙතත්, තාක්ෂණික ඇගයීම් කමිටුවේ (TEC) නිගමන වලට අනුව එම කිසිදු අවස්ථාවක පිළිගත හැකි / සුදුසු අයදුම්පත් ලැබී නොමැති අතර, මෙයට එක් ප්‍රධාන හේතුවක් විය හැක්කේ කොවිඩ් – 19 වසංගතය සහ රට තුළ පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වයයි.
තවද, මෙම තානායම් 8 හි තත්ත්වය ඉහළ නැංවීම සඳහා සැලසුම් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයෙන් සහය ලබා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස SLTDA වෙතින් ඉල්ලා සිටි අතර, ඒ අනුව අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර, 2022 දෙසැම්බර් 8 වන දින SLTDA විසින් ව්‍යාපාර යෝජනාවක් සහිත මූලාකෘතියක් පැවතීමේ සහ විස්තීර්ණ අධ්‍යයනයකින් පසු සංවර්ධනය සඳහා යෝජනා කැඳවීමේ හැකියාව විමර්ශනය කරන ලෙස අධ්යක්ෂ මණ්ඩල තීරණය ලැබිණි. ඒ අනුව SLTDA මෙම ක්‍රියා මාර්ග ඔස්සේ කටයුතු කරනු ඇත.
අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය තවම ලැබී නැත. සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීමට SLTDA කටයුතු කරනු ඇත.
මුලාශ්‍රය : https://www.parliament.lk/uploads/documents/paperspresented/1699348289089865.pdf
වාර්තාවන්හි එසේ සඳහන් වුවද වර්ෂ 2025 ජනවාරි 29 වැනි දින අප එම ප්‍රදේශයට යන විටත් ආනමඩුව තානායම වල් බිහිවී තිබීම දක්නට ලැබුණි. ඉහත වාර්තාවට අනුව “සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීමට SLTDA කටයුතු කරනු ඇත.” යනුවෙන් සඳහන් කර තිබුනද මෙතෙක් ආයෝජකයෙකු සොයා ගත බවක් නම් පෙනෙන්නට නොමැත. ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධනය සඳහා සහාය විය හැකි අගනා සම්පත්ක්වන මෙම දේපල සංවර්ධනයකර රටට දායාද කිරීමට කටයුතු කිරීම බලධාරීන් සතු වගකීමකි.