රිචඩ් ද සොයිසා : මාධ්‍ය ඉතිහාසයේ නොනැසෙන දිලිසීම!

ලාංකේය සමාජයේ නැවත වරක් රිචඩ් ද සොයිසා නම් චරිතය සම්බන්ධ කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ අසෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ “රාණි” සිනමාපටය නිසාවෙනි. එසේ නොමැති නම් ඉතිහාසයේ මිස රිචඩ් ද සොයිසා නාමය නැවත නැවත කියැවෙන්නේ නැත. නූතන තරුණ පරම්පාරව රිචඩ් යනු කවුරුදැයි නොදනී. නොදැනීම ඔවුන්ගේ වරදක් නොවේ. එහෙත් මෙවැනි ඝාතන ගැන යළි යළිත් සිහිකරමින් සමාජය යාවත්කාලීන කළ යුතු ය.

ඒ කුමක් නිසා ද?

ස්පාඤඤ දාර්ශනිකයෙක් වන ජෝජ් සැන්ටයානා මෙසේ කියා ඇත. “Those who cannot remember the past are condemned to repeat it” අතීතය මතකයෙන් ගිලිහී යන්නේ නම් එය නැවත නැවතත් සිදුවනු ඇත. රිචඩ්ගේ අතීතයෙන් පසු කී වරක් නම් එය නැවත නැවත සිදු වී ද? කෙතරම් නැවත සිදුවීදැයි කියතොත් රිචඩ්ගේ පණ සුන් සිරුර හඳුනාගැනීම පිණිස මොරටුව වෙරළට ඔහුගේ මව වන මනෝරාණි සමගින් ගියේ යැ යි කියන ඔහුගේ මිතුරු සිවරාම් ද අධිආරක්ෂිත කලාපයක් තුළදී මරා දැමුණේ 2005 වසරේදීය.

එයින් පැවසෙන්නේ ලාංකේය සමාජයට අතීතය අමතක බව නොවේ ද? මේ කළු ජනවාරියයි. රාජ්‍ය මර්දනයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ බලකණුවකැයි පැවසෙන මාධ්‍යයේ නියෝජිතයන් කී දෙනකු මරා දැමිණදැයි විමසා බැලිය යුතු ය.

රිචඩ් මේ අතරින් විශේෂ භූමිකාවකට පණ පොවයි. 1980 සිට මේ දක්වා මාධ්‍යවේදීන් 117ක් ඝාතනය කර හෝ අතුරුදහන් කර ඇතැයි වාර්තා පවසයි.

මෙරට ඉතිහාසයේ පළමු මාධ්‍යවේදී ඝාතනය ලෙස සැලකිය හැක්කේ විමල් එස්. සුරේන්ද්‍ර ඝාතනයයි. රණසිංහ ප්‍රේමදාස ජනපති ආර්යාවගේ ගත් පින්තූර නිසාවෙන් ඔහුගේ මරණය සිදු වූ බවට තහවුරු නොවූ මතයක් තිබේ. කෙසේ වෙතත් රිචඩ්ද මරා දැමුණු එම ප්‍රේමදාස යුගය මාධ්‍යවේදීන්ට නරක කාලයක් බව සම්මතය වුවත් 2005න් ඇරඹි මහින්ද යුගය තරම් නොවේ.

රිචඩ් ද සොයිසා ඝාතනය වඩා සංවාදයට සහ ඇවිළීමකට සේ ම රට පෙරළන ගමනකට සවියක් වීමට හේතුභූත වූයේ ඇයි?

සමාජ මාධ්‍ය වැනි මාධ්‍ය ප්‍රජාතාන්ත්‍රීකරණයක් නොවූ එම යුගයේ පැවති සියලුම ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි පාහේ රිචඩ් ද සොයිසා සිය ආධිපත්‍ය පතුරවා තිබිණි. හේ රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයෙකි. නළුවෙකි. මාධ්‍යවේදියෙකි. නියෝජනය කරනු ලැබුවේ කොළඹ එලීට් සමාජ පංතියයි. මව විශේෂඥ වෛද්‍යවරියකි. කැරිස්මාවක් සහිත පෙනුමක් තිබූ රිචඩ් යුගාන්තයේ “මාලින්” විය. දේශපාලන සාහිත්‍ය වැඩියෙන් නොදන්නා අයට වික්‍රමසිංහගේ “මාලින්” අත්‍යන්තයෙන්ම රැඩිකල් විප්ලවවාදියාගේ රූපයයි. රිචඩ්ගේ පෙනුමද ඊටම සරිලන්නක් විය. එයට අමතරව රිචඩ් ද සොයිසා කවියෙකු ලෙසද පතළ විය. මාධ්‍යකරණයේ යෙදුණේ විදෙස් පුවත් ඒජන්සි හා සමගිනි.

රිචඩ් එවක ඇමැති ලලිත් ඇතුලත්මුදලි හා සහසම්බන්ධ බව එවක කියවුණද, පසුව අනාවරණය වූයේ ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමඟ කටයුතු කළ බවයි. ජවිපෙ පසුකාලීන නායකත්වයට පත් සෝමවංශ අමරසිංහට ඉන්දියාවට පැන යන්නට උදව් කළේ රිචඩ් ද සොයිසාගේ “රෝ” සබඳතා හරහා බව සෝමවංශ පසු කලෙක කීය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට නායකත්වය දුන් සමන් පියසිරි ප්‍රනාන්දු සමගද ඔහු ගනුදෙනු කළ බව කියැවිණ.

කෙසේ වෙතත්, වඩා කෘෘර ලෙස ඝාතනය කළ රිචඩ් ද සොයිසාගේ මරණය වඩා සංවාදජනක වන්නේ ඔහුගේ කැරිස්මැටික් චරිත භාවිතයත් ඔහුගේ වයසත් (මියයන විට 31) ඔහුගේ මැදිහත්වීම් ස්වභාවයත් අනුව බව පෙනී යයි.

පැවති එජාප පාලනයෙන් රණසිංහ ප්‍රේමදාස ජනපතිගේ ඍජු මැදිහත්වීමෙන් රොනී ගුණසිංහ වැනි අලුගෝසුවකුගේ අතින් රිචඩ් මිය ගිය බව කියැවේ. සියලුම පාහේ මාධ්‍යවේදී මරණවලට මෙන්ම රිචඩ්ගේ මරණයට ද සාධාරණය ඉටු නොවී.

ඒ මතින් එවක චන්ද්‍රිකා ප්‍රමුඛ කල්ලියකට බලයට පාර කැපුණේ ය. ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම සේ ම තාරකී, නිමලරාජන් ආදී දමිළ මාධ්‍යවේදී ඝාතනය හරහා යහපාලන කල්ලිය බලයට පැමිණියේ ය. වේදිකාවල තොරොම්බල් කළ කිසි මරණයකට සිදු වූ සාධාරණයක්ඇ අද දක්වා නැත්තේ ය.

එහෙත් දිගින් දිගමට නොනැවතී, මේ මරණ ගැන අප කතා කළ යුතු ය. කලාත්මක තානයෙන් එපිටට ගොස් හඳගමගේ මැදිහත්වීම අපට වටින්නේ එහෙයිනි.

“Those who cannot remember the past are condemned to repeat it”

රිචඩ්ද සොයිසා භාවිත කළ මේසයේ වීදුරුව යටින් ‘ඔටෝ රෙනෙ කැස්ටිලෝගේ’ “අදේශපාලනික බුද්ධිමතුන්” (Apolitical Intellectuals) නම් කවිය බහා තිබූ බවට කතාවක් තිබේ. මේ එම කවියේ මහේෂ් මුණසිංහ විසින් කරන ලද පරිවර්තනයකි.

 

එක් දිනෙක

මගේ රටෙහි වෙසෙන

අදේශපාලනික බුද්ධිමතුන්ව

ප්‍රශ්න කරාවි

සාමාන්‍ය මිනිසුන් පැමිණ

එදිනෙදා දිවි ගැටගහන

 

ඔවුන් විමසාවි

බුද්ධිමතුන් කළ කී දෑ

සෙමෙන් ඇවිළෙන

මුදු ගිනි දැල්ලක් සේ

බිඳෙන් බිඳ

මගේ දේශය මියැදෙන්නට ඉඩහැර

 

කිසිවෙකු නොඅසාවි

ඔවුන්ගේ

ඇඳුම් පැළඳුම් ගැන

දිවා භෝජනයෙන්

ඉක්බිතිව එළැඹෙන

දිගු නින්ද ගැන

 

කිසිවෙකුටත් අවැසි නැතිවේවි

දැනගන්න

හිස් අදහස්වලින් පිරි

ඔවුන්ගේ වඳ මතවාදී අරගල ගැන

කිසිවෙකු නොසලකාවි

ඔවුන්ගේ අධික වැය සහිත

අධ්‍යාපනය ගැන

 

කිසිවෙකු ප්‍රශ්න නොකරාවි

ග්‍රීක ජනප්‍රවාද

නැතිනම්

ඔවුන්ගෙන් කිසිවෙක්

මරණාසන්නයෙහි

බියෙන් වෙව්ළන විට

ඔවුන්ටම ඇතිවන

ලැජ්ජාව ගැන

 

ඔවුන් කිසිවක් නොඅසාවි

මුළු ජීවිතයේම

සෙවණැල්ලෙන් මැවුණු

ඔවුන්ගේ විකාරසහගත

සාධාරණීය කිරීම් ගැන

 

එදින

සාමාන්‍ය මිනිසන් පැමිණේවි

 

ඔවුන්ගේ

කවියෙහි

පොතෙහි

ඉඩක් නොලද මුත්

දිනපතා

පාන් කිරි බිත්තර සපයන

ඔවුනට රියැදුරුකම් කරන

බල්ලන්-වතුපිටි සුරකින

නැතිනම්

මෙහෙවරකම් කරන

සාමාන්‍යම මිනිසුන්

ඔවුන්ගෙන් ප්‍රශ්න කරාවි

 

“නුඹලා කළේ මොනවද?

පීඩිතයින්

දුකින් පෙළෙන විට

කෙමෙන් දැවෙන

ඔවුන්ගේ ජීවිතය අබියස”

 

මගේ ආදරණීය දේශයේ

අදේශපාලනික බුද්ධිමතුනි

 

නුඹලාට එදවස

පිළිතුරු නොමැති වේවි

 

නිහඬබවේ ගිජුලිහිණියෝ

නුඹලාගේ ධෛර්යය

සැණින් ගිල ගනීවි

නුඹලාගේ කාළකණ්ණිකම

නුඹලාගේ ආත්මය පහුරුගාවි

 

ලැජ්ජාවෙන් නුඹලා ගොලු වේවි

 

– සදුන් ප්‍රියංකර විතානගේ –

Social Sharing
අවකාශය නවතම පුවත් විශේෂාංග