විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රම තුළ ලංකාවේ සහල් වෙළඳපොළ ගතිකත්වයන් වෙනස් විය හැක්කේ කෙසේද? මෙය තේරුම් ගැනීම පිණිස අප විසින් පළමුව ලංකාවේ සහල් වෙළඳපොළෙහි ස්වභාවය මනා සේ හඳුනාගත යුතුයි.
– ලංකාවේ සහල් ඉල්ලුම බොහෝ දුරට දේශීයව සැපිරෙනවා. දිගුකාලීනව (2010-2023) රටේ සහල් නිෂ්පාදනය සහල් අවශ්‍යතාවයෙන් 93.2%ක් පමණ වෙනවා.
– ලංකාවෙන් අපනයනය කෙරෙන්නේ රටේ සහල් නිෂ්පාදීතයෙන් ඉතා සුළු කොටසක් (0.3%) පමණයි. මෙම සහල් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ඉලක්ක කර අපනයනය කෙරෙන අතර ඉතා ඉහළින් මිල කෙරෙනවා.
– රටේ සහල් නිෂ්පාදනය හොඳ මට්ටමක ඇති විට පොදු පරිභෝජනය සඳහා සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙත්, එවැනි වසර වලදීද සහල් සුළු ප්‍රමාණයක් ආනයනය කෙරෙනවා. මෙසේ ආනයනය කෙරෙන්නේ බාස්මතී වැනි මිල අධික සහල් වර්ගයි. මෙම සහල් ඉල්ලුම සාමාන්‍යයෙන් රටේ සහල් ඉල්ලුමෙන් 1%කට වඩා අඩුයි.
– එහෙත් රටේ සහල් නිෂ්පාදනය අඩු වන වසර වලදී පොදු පොදු පරිභෝජනය සඳහා සහල් ආනයනය කිරීමට සිදු වෙනවා. මෙම අවශ්‍යතාවය රටේ සහල් ඉල්ලුමෙන් 25%ක් පමණ දක්වා ඉහළ යා හැකියි.
– ඉහත පරිදි සහල් ආනයනය කෙරෙන්නේ රටේ සහල් සැපයුම අඩු වකවානු වලදී බැවින් එවැනි අවස්ථා වල සාමාන්‍යයෙන් දේශීය සහල් මිල තිබෙන්නේ ඉහළ මට්ටමකයි. ඒ නිසා, කලාපයේ රට වලින් ඊට වඩා අඩු මිලකට සහල් ආනයනය කළ හැකියි.
කෙසේ වුවද, සහල් යනු සමීප ආදේශක ගණනාවක් හඳුන්වන තනි වචනයක් මිස සමජාතීය භාණ්ඩයක් නෙමෙයි. විවිධ සහල් වර්ග ගණනාවක් තිබෙනවා. ලංකාවේ සහල් භාවිතයේ විවිධත්වය පහත පරිදියි.
සුදු කැකුළු – 17.8%
සුදු කැකුළු සම්බා – 2.2%
රතු කැකුළු – 23.9%
රතු කැකුළු සම්බා – 1.0%
සම්බා – 15.6%
රතු නාඩු – 3.5%
සුදු නාඩු – 33.7%
බාස්මතී – 0.2%
වෙනත් – 1.9%
රටේ දිස්ත්‍රික්ක ගණනාවකම ජනප්‍රියම සහල සුදු නාඩු සහලයි. මෙම දිස්ත්‍රික්ක රටේ මැද කොටසේ සහ නැගෙනහිර පළාතේ පිහිටි දිස්ත්‍රික්කයි. දකුණු, බටහිර හා උතුරු කලාප වල වෙරළබඩ දිස්ත්‍රික්ක වල වෙනස් රුචිකත්වයන් හඳුනා ගත හැකියි. සුදු නාඩු වඩාත්ම ජනප්‍රිය දිස්ත්‍රික්ක වල ඊළඟට ජනප්‍රිය සහල සුදු කැකුළු හෝ සම්බා සහලයි. මෙම දිස්ත්‍රික්ක වල රතු කැකුළු ඇතුළු රතු සහල් වර්ග භාවිතා වෙන්නේ ඉතා අඩුවෙන්. පහත තිබෙන්නේ දිස්ත්‍රික්ක කිහිපයක සුදු කැකුළු, සම්බා සහ සුදු නාඩු භාවිතයේ ප්‍රමාණයයි.
අනුරාධපුර – 95%
පොළොන්නරුව – 96%
කුරුණෑගල – 97%
පුත්තලම – 96%
කෑගල්ල – 94%
මහනුවර – 91%
මාතලේ – 96%
ත්‍රිකුණාමලය – 90%
අම්පාර – 87%
ගම්පහ දිස්ත්‍රික්කයේද ජනප්‍රියම සහල් වර්ග තුන ඉහත තුනම වුවත් ඒ අතරින් වඩා ජනප්‍රිය සම්බා සහලයි. රතු කැකුළු එතරම් ජනප්‍රිය නැහැ.
ගම්පහ – 88%
මෙයින් වෙනස්ව දකුණේ ජනප්‍රියම සහල රතු කැකුළු සහලයි. දෙවන තේරීම සුදු කැකුළු සහලයි. ඌව පළාත තුළ සුදු කැකුළු මුල් තැනට පමණ රතු කැකුළු දෙවන තැනට පැමිණෙනවා. නාඩු භාවිතය ඉතා අඩු එම ප්‍රදේශ වල රතු කැකුළු හා සුදු කැකුළු සහල් භාවිතය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා.
ගාල්ල – 84%
මාතර – 95%
හම්බන්තොට – 96%
රත්නපුර – 84%
බදුල්ල – 87%
මොණරාගල – 93%
උතුරේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල ජනප්‍රියම සහල රතු නාඩු සහල වන අතර රතු කැකුළු සහ සම්බා ඔවුන්ගේ ඊළඟ තේරීම් දෙකයි. මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්ක වලදී රතු කැකුළු මුල් තැනට පැමිණෙන අතර, මන්නාරමේදී සම්බා මුල් තැනට එනවා. එම ප්‍රදේශ වල සුදු නාඩු සහල් ජනප්‍රිය නැහැ. අදාළ දිස්ත්‍රික්ක වල රතු නාඩු, රතු කැකුළු සහ සම්බා සහල් භාවිතය පහත පරිදියි.
යාපනය – 95%
කිලිනොච්චි – 84%
මුලතිවු – 85%
වවුනියා – 74%
මන්නාරම – 79%
කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක වල දැකිය හැක්කේ මිශ්‍ර රටාවක්. කොළඹදී සම්බා සහල් සහ කළුතරදී රතු කැකුළු සහල් මුල් තැනට පැමිණෙන නමුත් ලංකාවේ ජනප්‍රිය අනෙකුත් සහල් වර්ග භාවිතයද ආසන්න මට්ටම් වල තිබෙනවා.
මේ අනුව, ලංකාවේ සහල් රුචිකත්වය අනුව ප්‍රධාන කලාප හතරක් සහ අතුරු කලාප ගණනාවක් හඳුනා ගත හැකියි. ඒ අතරින් විශාලම කලාපය සුදු නාඩු – සුදු කැකුළු – සම්බා කලාපයයි. එහි අනු කලාප තුනක් තිබෙනවා.
සුදු නාඩු – සුදු කැකුළු ප්‍රදේශ
සුදු නාඩු – සම්බා ප්‍රදේශ
සම්බා – සුදු නාඩු ප්‍රදේශ
සම්බා භාවිතය රුචිකත්වයට වඩා ආදායම් මට්ටම මත තීරණය වන්නක් විය හැකියි.
දෙවන ප්‍රධාන කලාපය කැකුළු කලාපයයි. ඒ තුළ රතු කැකුළු අනු කලාපයක් සහ සුදු කැකුළු අනු කලාපයක් තිබෙනවා.
තෙවන ප්‍රධාන කලාපය උතුරේ රතු නාඩු – රතු කැකුළු – සම්බා කලාපයයි. එහිද අනු කලාප තුනක් දැකිය හැකියි.
සිවු වන ප්‍රධාන කලාපය මිශ්‍ර කලාපයක් වන අතර එය ඉහත පළමු කණ්ඩායම් දෙකේ මිශ්‍රණයක් ලෙසද සැලකිය හැකියි.
සාමාන්‍ය වසරකදී ඉහත සියලු පාරිභෝගික කණ්ඩායම සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය වෙනවා. එහෙත් එම සහල් නිපදවෙන්නේ රටේ එක් කොටසකයි. සහල් අතිරික්ත කලාපය ලෙස හඳුනාගත හැකි එම කලාපයන් බාහිරව සහල් හිඟ කලාප දෙකක් තිබෙනවා. ඒ නිරිතදිග තෙත් කලාපයේ දිස්ත්‍රික්ක දහයක් අයත් විශාල කලාපය සහ උතුරේ යාපනය දිස්ත්‍රික්කයයි. මේ කලාප වලට සහල් අතිරික්ත කලාපයෙන් සහල් සැපයෙනවා.
එහෙත් අස්වනු අඩු වසර වලදී රටේ සහල් අවශ්‍යතාවය සඳහා සහල් ආනයනය කිරීමට සිදු වෙනවා. එවැනි අවස්ථා වලදී මෙන්ම සාමාන්‍ය වසරකදී වුවද සහල් හිඟ කලාපයේ වැසියන්ට අවශ්‍ය වන්නේ හැකි තරම් අඩු මිලට සහල් මිල දී ගැනීමටයි. එහෙත් සහල් අතිරික්ත කලාපයේ වැසියන්ට අවශ්‍ය වන්නේ හැකි තරම් වැඩි මිලකට තමන්ගේ වී අස්වනු විකුනා ගැනීමටයි. රජය විසින් ආනයන බදු හා ආනයන පාලනය මගින් මේ කණ්ඩායම් දෙකේ අවශ්‍යතා අතර තුලනයක් පවත්වා ගන්නවා.
මතු සම්බන්ධයි.
#ඉකොනොමැට්ටා #economatta