රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්ට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (30) දහවල් අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

සැකකරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එහිදී රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

2011 වසරේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්වා ඇති ඉසුරු සවිය නම් සැමරුම් උත්සවය සඳහා සමූපකාර අරමුදලින් මුදල් වැය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, එහි විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබූ බවය.

එසේ ඇප මත මුදාහැරිය ප්‍රියන්ත මායාදුනේ මහතා පිළිබදව මහින්ද රුබසිංහ සිය මුහුණු පෙතේ මෙසේ සටහන් කර තිබුනි,

හිටපු අමාත්‍යාංශ ලේක්ම්වරයෙකු වන ප්‍රියන්ත මායාදුන්නේ මහතා අත්අඩංගුවට අරගෙන. චෝදනාව රුපියල් ලක්ෂ 1800 ක අවභාවිතාවක්.

2011 වසරේ ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයක් සඳහා එකී මුදල් වෙන්කර තිබෙනවා. එහි මූල්‍ය වංචාවක් සිදුව ඇති අතර එකල මායාදුන්නේ මහතා සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසයි සේවය කර ඇත්තේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනීමත් සමග බොහෝ දෙනා ඔහු හොරෙක් යැයි සිතිය හැකි නමුදු මායාදුන්නේ මහතා තමාගේ සාක්කු පුරවා ගන්නා හොරෙක් නොවන බව නම් අවිවාදිතයි.

එහෙත් මැති ඇමතිවරුන් හොරකම් සහ ජඩකම් කරන හැටි බලාගෙන හිටි සහ පක්ෂපාතීත්වය හෝ බලය නිසා කිසිවක් කරකියාගත නොහැකිව තනතුර රැක ගැනීම වස් මෙවැනි වංචාවන්ට දැනගෙන වුව අනුමැතිය දුන් කෙනෙක් විය හැකියි.

2011 වසර වන විට අදාළ විෂයභාර අමාත්‍යවරයා වූයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු බැවින් සිදුව ඇති දෙය වුව සිතාගතන්න පුළුවන්. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඇමතිකම් දැරූ අමාත්‍යාංශවලද මායාදුන්නේ මහතා අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කළ බව මාගේ මතකයයි. එදා සිදුවූ දේවල්ද ඔහු දැක හෝ අනුමත කරන්නටද ඇති.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිට විශ්‍රාම ගත් ඔහු පරිපාලන සේවයේ නමක් දිනාගත් අයෙකු වුවද නිළධාරීන් කැමැතෙන් හෝ අකමැත්තෙන් වංචා දූෂණවලට හවුල් වී ඇති බවට ඔහුද කදිම සාක්ෂියක්.

තම පැවැත්ම වෙනුවෙන් තනතුරුවල සිටිනා විට ගොලු බෙල්ලන් හෝ බකමූණන් ලෙස සිටින නිළධාරීන්ට මෙය පාඩමක්. සිල් රෙදි නඩුවේදී හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු ප්‍රධානී අනූෂ පැල්පිට සිරබත් කෑවේද ඔවුන්ගේද ප්‍රශ්නයක් ඇති බැවිනි.

Social Sharing
නවතම විශේෂාංග