ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි 29 වැනි දින මුදල් ප්‍රතිපත්ති විවරණ අංක 01-2025 ජනවාරි යටතේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2025 ජනවාරි 28 වැනි දින පැවති රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කර තිබේ.

වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව මාධ්‍ය නිවේදනයේ සඳහන් අතර, මැදිකාලීනව උද්ධමනය සියයට 5 ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟා වීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහාය වීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. පෙර පුරෝකථනය කළ පරිදි දැනට පවතින අවධමන තත්ත්වය ප්‍රධාන වශයෙන් බල ශක්තිය සඳහා වන පරිපාලිත මිල ගණන් පහළ යෑමෙහි ප්‍රතිඵලයක් බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කර ඇත.

මාධ්‍ය නිවේදනයේ සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය සමබන්ධයෙන් සිදුකර තිබෙන පුරෝකථනයන්.

උද්ධමනයේ මෙම ප්‍රවණතාව ඉදිරි මාස කිහිපය තුළ දී පවතිනු ඇති අතර, ඉන් අනතුරුව 2025 වසරේ දෙවන භාගය තුළ දී උද්ධමනය අපේක්ෂිත මට්ටම කරා ගමන් කිරීම ආරම්භවනු ඇතැයි අපේක්ෂා කෙරේ. නුදුරු කාලීනව උද්ධමනය සෘණ මට්ටමක පවතිනු ඇති අතර, ඉන්පසුව ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩව සිව්වන මාසයටත් සෘණ අගයක පැවතුණි. මේ සඳහා අඩු ඉල්ලුම් පිඬන මෙන්ම පසු ගිය කාලයේ දී විදුලි ගාස්තු සහ දේශීය ඉන්ධන මිල ගණන් පහළ දැමීම ප්‍රධාන වශයෙන් හේතු විය. 2025 ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ බලපෑම හේතුවෙන් පෙර පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා වැඩි අගයක අවධමනයක් ඉදිරියේ දී පවතිනු ඇති බව නවතම පුරෝකථනවලින් පෙන්නුම් කරයි. සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් සහාය ලබමින් 2025 වසරේ මැද භාගයේ සිට උද්ධමනය ධන අගයකට පැමිණ මැදිකාලීනව ඉලක්කගත සියයට 5ක මට්ටම කරා ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට පහළ ධන අගයක පවතින මූලික උද්ධමනය, ඉදිරි මාස කිහිපය තුළ දී තවදුරටත් පහළ යෑමෙන් අනතුරුව ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම අඛණ්ඩව සිදු වේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු වලට අනුව, 2024 දෙවන කාර්තුවේ දී වාර්තා වූ සියයට 4.7ක (වාර්ෂික ලක්ෂ්‍යමය) වර්ධනයෙන් පසුව, 2024 තුන්වන කාර්තුවේ දී ආර්ථිකය සියයට 5.5කින් (වාර්ෂික ලක්ෂ්‍යමය) වර්ධනය වී ඇති බවට ඇස්තමේන්තු කර ඇත. නවතම ආර්ථික දර්ශක වලට අනුව, මෙම ශක්තිමත් ආර්ථික වර්ධනය අඛණ්ඩව පැවති අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2024 වසරේ ආර්ථික වර්ධනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ අගයක් ගනු ඇත.

ඉහත පුරෝකථන 2025 වර්ෂයේ ජනවාරි මස පුරෝකථන වාරයේ පැවැති දත්ත සහ උපකල්පන මත පදනම්ව සිදුකර ඇත.

පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමත් සමඟ කෙටි කාලීන මුදල් වෙළඳ පොළ පොලී අනුපාතික අඩු වූ අතර බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය මට්ටමේ පැවතුණි. ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබිඹු කරමින් වෙළඳ පොළ ණය සහ තැන්පතු පොලී අනුපාතික ද අඛණ්ඩව පහළ ගියේය. අඩු වෙළඳ පොළ ණය පොලී අනුපාතික මගින් සහාය ලබමින් සහ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වීම පිළිබිඹු කරමින්, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය වර්ධනය අඛණ්ඩව ඉහළ ගියේය. පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය වීමේ ප්‍රවණතාව ලඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, වැඩිදියුණු වූ රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනය සහ ස්වෛරීත්ව අවදා නම් අධිමිල පහළ යෑම පිළිබිඹු කරමින්, රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික අඛණ්ඩව අඩු විය.

අපනයන ඉපැයීම් වලට සාපේක්ෂව ආනයන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් 2024 වසර තුළ දී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරට සාපේක්ෂව පුළුල් විය. කෙසේ වෙතත්, මෙම කාල සීමාව තුළ දී සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ යෑම, විදේශීය ජංගම ගිණුම සඳහා හිත කර ලෙස දායක විය. 2024 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 10.7කින් අතිප්‍රමාණය වීමෙන් පසුව, 2025 වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.0කින් අවප්‍රමාණය වී ඇත. සුළු කොටසක් හැර, විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණ ක්‍රියාවලිය 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව නිම කරන ලද අතර, එමඟින් රටේ විදේශීය අංශයේ ඉදිරි දැක්ම ශක්තිමත් විය. 2024 වසර අවසානයේ දී දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1ක් විය. 2024 දෙසැම්බර් මාසයේ දී තවත් වසර තුනක කාලයක් සඳහා දීර්ඝ කරන ලද චීන මහජන බැංකුවේ ද්විපාර්ශ්වික විනිමය හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් වේ.

වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේය. ව්‍යාපාරික විශ්වාසය සහ වෙළඳ පොළ අපේක්ෂා ඉහළ යෑම මෙන්ම, ලිහිල් මුදල් තත්ත්වයන් පිළිබිඹු කරමින් පෞද්ගලික අංශයට බැංකු පද්ධතිය මගින් ලබාදෙන ණය ශක්තිමත් ලෙස ප්‍රසාරණය වීම තුළින් සහාය ලබමින් ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කළේය. පවතින අවධමන තත්ත්වය සැපයුම් අංශයේ සාධක හේතුවෙන් නුදුරු කාලයේ දී තවදුරටත් වඩා වැඩි අගයක පවතිනු ඇති අතර, 2025 වසරේ දෙවන භාගය වන විට උද්ධමනය ඉලක්කගත මට්ටම කරා ක්‍රමයෙන් ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ලැබෙමින් පවතින දත්ත සමීපව නිරීක්ෂණය කිරීම සහ උද්ධමන ඉදිරි දැක්ම සඳහා වන අවදානම් තක්සේරු කිරීම අඛණ්ඩව සිදු කරමින්, ඉදිරි කාල සීමාව තුළ දී දේශීය මිල ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා සුදුසු පියවර ගැනීමට සූදානම්ව සිටින අතර එමගින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහාය සැලසෙනු ඇත.

Social Sharing
ආර්ථික පුවත්