මහෝෂධ පඬිවරයා සම්බන්ධ බොහෝ දෙනා දන්නා කතා පුවතක දී රුක් දෙවියන් මගියාට අවවාද කරන්නේ “ ගෙදර ගියොත් අඹු නසී – මඟ සිටියොත් තෝ නසී “ යනුවෙනි. සහල් වෙළෙඳපොළට මැදිහත් වී සිටින මාලිමා ආණ්ඩුව ද දැන් මුහුණ දී සිටින්නේ එබඳු ම අකරතැබ්බයකට බව පෙනෙන්නට තිබේ. ඔවුන් ඒ බව තවමත් තේරුම් ගෙන නැත. අපට තේරෙන ලෙස අපි ඒ ගැන විමසා බලමු.
සහල් හිග වී මිල ඉහළ යන විට රජය කීවේ එක සහල් ඇටයක් රටින් ගෙනෙන්නේ නැති බව යි. නතර වුයේ ටොන් එක් ලක්ෂ හැට හත් දහසක් ගෙන්වලා ය. මුලින් කට මැත නොදොඩා හිටියා නම් මෙබඳු ලැජ්ජාවක් සිදුවන්නේ නැත.
සහල් මිල පහත හෙලන ක්‍රම දෙකක් ගැන කීවේ රුපවාහිනී සාකච්ඡාවකට එක් වෙමිනි. ඒකක් නීතියෙනි. දෙවැන්න වෙළෙඳපොළේ කොටසක් අත්කර ගනිමින් ය.
දැන් නීතියෙන් කළ අයුරු අත්හදා බලා ඇත. සහල් පාලන මිලක් පනවා ඇති නමුත් ඒ මිලට සහල් නැත. වෙළෙඳපොළේ සහල් හිග වී ඇත. තියෙන සහල් විකිනෙන්නේ පාලන මිලට ඉහළින් ය. වැටලීම් කරන තරමට සිදුවන්නේ වෙළෙඳුන් සහල් වෙළෙදාමෙන් ඉවත් වීම ය.
ආණ්ඩුව දැන් සුදානම් වෙමින් සිටින්නේ දෙවැනි ක්‍රමය අත්හදා බලන්නට ය. ඒ වෙළෙඳපොළේ කොටසක් අල්ලා ගැනීම යි. ඒ සඳහා ගබඩා පිළිසකර කරමින් සිටියි.
රජය ප්‍රකාශ කළේ වී ගැනීමට රජය මැදිහත් වන්නේ ගොවීන්ට වැඩි මිලක් දෙමින් පාරිභෝගිකයාට අඩු මිලට සහල් දෙන්නට බව යි. ගොවියාට වී වල නිෂ්පාදන වියදමට අමතරව සියයට 30 ක් දෙන බව කී ය. ගොවියන් කියන්නේ නිෂ්පාදන වියදම වී කිලෝවකට රුපියල් 116 ක් පමණ වන බව යි. එවිට සියයට 30 ක් සමග සහතික මිල රුපියල් 150 ක් පමණ වෙයි. සහල් කිලෝවකට වී කිලෝ 1.6 කට මදක් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. එවිට සහල් කිලෝවක් සඳහා වී වලට වියදම රුපියල් 240 කි. සහල් කිලෝවක මිල වී කිලෝවක් මෙන් 2.06 ක් විය යුතු බව කියතත් රජය ගණන් බලන්නේ 1.96 ක් ලෙස බව පෙනෙන්නට තිබේ. එවිට සහල් කිලෝවක මිල රුපියල් 294 කි. එබැවින් ආණ්ඩුවට වී සඳහා මෙම මිල ලබාදිය නොහැකි ය.
මෑතක කළ මාධ්‍ය සාකච්ඡාවක දී ජනාධිපතිතුමා කීවේ මේ දිනවල මෝල් හිමියන් වී මිල දී ගන්නේ කිලෝව රුපියල් 140 ක මිලකට බව යි. ජනාධිපතිතුමාට අනුව එය වරදකි. එතුමා කීවේ රුපියල් 230 කට සහල් දෙන්නට නම් වී කිලෝව ගත යුත්තේ රුපියල් 117 කට බව යි. ගොවීන්ට වැඩියෙන් ගෙවන බව කී ආණ්ඩුව මේ කතා කරන්නේ මෝල් හිමියන් ගෙවන මුදලට අඩු මුදලකට වී මිල දී ගැනීමට ය.
ජනාධිපතිගේ ප්‍රකාශය මේවන විටත් වී මිල කෙරෙහි බලපා ඇති බවක් ද පෙනෙන්නට තිබේ. ඇතැම් ප්‍රදේශවල වී මිල පහත වැටී ඇත්තේ සහල් උපරිම සිල්ලර මිල ගැන ජනාධිපතිගේ තරජනයත් සමගින් ය.
දැන් ප්රශ්නය තිබෙන්නේ මෙම තත්ත්වය පිළිගන්නට වී ගොවීන් සුදානම් වනු ඇත්ද යන්න පිළිබඳව ය. වෙළෙඳ පොළේ දැනට තිබෙන මිලත් ගොවීන්ට නොදෙන්නේ නම් එය ගොවියාට සාධාරණ මිලක් දුන්නා වන්නේ නැත. එසේ කරන්නට රජයේ මැදිහත්වීමක් අවශ්‍ය නැත. ගොවීන් මෙයට එරෙහි වනවා සිකුරු ය.
වී මිල පහත වැටී ඇති ප්‍රදේශවලින් දැනටමත් වාර්තාවන්නේ ගොවීන්ගේ දැඩි විරෝධය යි.
අනෙක් අතට වී වලට මීට වැඩි මිලක් දුන්නොත් සහල් මිල රුපියල් 230 තියා ගත නොහැකි ය. දැන් තිබෙන ආකාරයට සහල් මිල නතර වන්නේ රුපියල් 260 හෝ බොහෝ විට 280 ඉක්මවා ගොසින් ය. එලෙස මිල වැඩි වූ විට එහි වරද පැටවෙන්නේ ආණ්ඩුවට ය. එමෙන් ම ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සහල් මිල අඩු කරන කතා ද බොරු බවට පත්වෙයි. පාරිභෝගිකයාගේ විරෝධය එල්ල වන්නේ රජයට ය.
තමන්ගේ පොරොන්දු ඉටු කරන්නට බලහත්කාරය යොදා ගන්නට ගියහොත් එයින් ද අප්‍රසාදයට ලක් වන්නේ ආණ්ඩුව යි.
අනෙක් ප්රශ්නය ඊට වඩා භයානක ය. එය නම් වී නිෂ්පාදනය බිඳ වැටීමේ අවදානම යි. ගොවීන් කියන්නේ වී නිෂ්පාදන වියදම වැඩි වී ඇති බව යි. වී සහ සහල් මිල ඉහළ යාමෙන් පෙන්නුම් කරන්නේ එම කතාවේ සත්‍යයක් තිබිය හැකි බව යි. එසේ තිබිය දී වී මිල අඩු මට්ටමක තබා ගැනීමට ආණ්ඩුව උත්සාහ කළ හොත් වී ගොවියන් අතර යම් පිරිසක් ගොවිතැනින් ඉවත් වන්නට ඉඩ ඇත. සහල් හිගයක් ඇතිවීමෙන් පෙනෙන්නේ දැනටමත් එය සිදුවෙමින් පවතින බව යි. එය තවත් දරුණු වුවහොත් සිදුවිය හැක්කේ වී නිෂ්පාදනයේ දැවැන්ත පසු බැසීමක් සිදුවීම යි. එය අර්බුදයක් බවට පත්විය හැකි ය.
රජය අවිචාරවත් ලෙස සහල් වෙළෙඳපොළට මැදිහත් වීමේ ප්‍රතිඵලය විය හැක්කේ එබඳු අර්බුදයකට රට ගොදුරු වීම සහ රජය ද තවත් අපකීර්තියට පත්වීම යි.
දැන් ආණ්ඩුව සිටින්නේ තමන් ම අටවාගත් මෙම උගුලේ සිර වෙමින් ය. එයින් යන්තම් හෝ මිදීමට නම් රජය වෙළෙඳපොළ පිළිබඳ තම මිත්‍යා මත අතහැර එයට මැදිහත්වීමෙන් ඉවත් විය යුතු ය. ඒ අතර වෙළෙඳපොළ සංවිධනය කිරීමට හා වඩා තරගකාරී කිරීමට රජයට කල් හැකි දේ තිබේ. සහල් මිල අඩු කිරීමට නිෂ්පාදනය ඉහළ නැංවීම සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම ද කළ හැකි ය.
ඒවා නොකර සහල් වෙළෙඳපොළට තග දැමීමෙන් ආණ්ඩුව තමන්ට ම වල කපා ගනිමින් සිටියි.
“වී ගත්තොත් තෝ නසී” කියා අප කියන්නේ ඒ නිසා ය.
සී ජේ අමරතුංග