පසුගිය සතියට අල්ලස් දැලේ රජයේ නිලධාරීන් තිදෙනෙකු පැටලේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස 2025 ජනවාරි මස 10 දින මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතා සිය රාජකාරී ආරම්භ කරන ලදී. 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 17(1) වගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිතුමා විසින් මෙම පත්කිරීම සිදු කර තිබුනි.

නව අධ්‍යක්ෂක ජනරාල්ගේ පත්වීමෙන් පසුව පසුගිය සතිය තුළ කම්කරු නිළධාරියෙක්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරීවරයෙක් හා පොලිස් නිළධාරියෙක් ඇතුළු රාජ්‍ය නිළධාරීන් තිදෙනෙකු අල්ලස් චෝදන මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, රුපියල් දෙලක්‍ෂ පනස්දහසක (250,000) මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් කම්කරු දෙපාර්තමේන්තුවේ, බටහිර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියෙකු 2025.01.22 වන දින ගල්කිස්ස, ගාලු පාර, ටෙම්පල්ස් පාර හන්දිය අසල පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරිපිට දී අත්අඩංගුවට ගෙන තිබේ.

දෙවැනි සිදුවීම ලෙස, රුපියල් ලක්ෂ පහක (500,000) මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනා මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් 2025.01.20 වන දින ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැලිසර රැදවුම් මධ්‍යස්ථානය තුල දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

තෙවැනි සිදුවීම වාර්තා වන්නේ මතුගම ප්‍රෙද්ශයෙනි. ඒ රුපියල් පන්දහසක (5000) මුදලක් අල්ලසක් වශයෙන් ඉල්ලා එකී මුදලෙන් රුපියල් 3000ක් මුදලක් අල්ලස් වශයෙන් ලබා ගනිමින් සිටියදී 2025.01.15 වන දින මතුගම මූලස්ථාන පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි.

 

 

Social Sharing
නවතම පුවත්