ඉකුත් දෙසැම්බර් මස 29 වන දා රුවන් චාමර යන අය සිය මවගේ නිවසට ගොස් සිටින අවස්ථාවේ සවස 6.30ට පමණ ඔහුගේ අසල්වැසියෙක් දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ ඔහුගේ නිවසට පොලිස් නිලධාරීන් පැමිණ ඇති බවත් ඔවුන් යතුරු පැදියක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ඔහුව සොයන බවයි. ඒ අනුව පැමිණි නිලධාරීන් ඔවුන්ගේ දුරකථන අංකයක් ලබා දී ඔවුන්ව සම්බන්ධ කරගන්නා ලෙස දන්වා ඇත. පසුව ඔවුන්ගේ අසල්වැසියාට ලබාදුන් දුරකථන අංකයට මොහුගේ ඥාතියෙක් දුරකථන ඇමතුමක් ගෙන මොහු පැමිණීමට අවශ්‍ය ඇයිදැයි විමසා ඔවුන් පසු දින උදෑසන පොලිස් ස්ථානයට පැමිණෙන බවට දන්වා ඇත.
පසුදින එනම් දෙසැම්බර් 30 වන දින උදේ 9.30ට ඔහු සහ ඔහුගේ ඥාතියෙක් සමඟ පොලිස් ස්ථානයට යෑමට සුදානම් වන අවස්ථාවේ සිවිල් පිට පැමිණි පොලිස් නිලධාරින් දෙදෙනෙකු යතුරු පැදියක පැමිණ ඔහුට මාංචු දමා ඔවුන් පැමිණි යතුරු පැදියේ නංවාගෙන රැගෙන ගොස් පසුව කිලෝමීටරයක් පමණ දුර ගිය විට පොලිස් ස්ථානයට අයත් ත්‍රී රෝද රථයක් නතර කොට තිබී ඇති අතර එහි සිටි තවත් නිලධාරියෙක් ඔහුව ත්‍රී රෝද රථයට නංවා ගෙන ඇත.
පසුව සුදු පැහැති කමිසයකින් ඔහුගේ දෑස් බැද ඇති අතර පැයක් පමණ කාලයක් ගොස් ත්‍රී රෝද රථයෙන් පාළු නිවසකට රැගෙනවිත් එක් නිලධාරියෙක් ඔහුගෙන් එම බයිසිකලය සම්බන්ධ විමසමින් පහර දී ඇත. පහර දෙන අවස්ථාවේ දී ඔහුට සී.සී.ටී.වී දර්ශන පෙන්වමින් පහර දී ඇති අතර ඒ ඔහු නොවන බව පවසා ඇතත් ඔවුන් එය පිළිනොගෙන ඇති අතර තවදුරටත් කොසු මිටකින් පහර දුන් බව පවසයි. වරෙක ඔහුව බිම වාඩිකරවා කකුල් දෙක දිගා කොට යටිපතුල්වලට පොල්ලකින්ද පහර දී ඇත.
පසුව “මූට මෙහෙම ගහලා හරියන්නේ නෑ” කියා 5L වතුර බැරල් දෙකක් පුරවාගෙන ඔහුගේ දෑස් දෙක නැවත බැද මාංචු පිටින් ත්‍රීවිල් එකට නංවාගෙන විනාඩි 20 ක පමණ දුර රැගෙන ගොස් ත්‍රී රෝද රථයෙන් බස්සවා ඇස් දෙක බැද තිබු කමිසය ඉවත් කොට ඔහුව තේක්ක ගස් තිබුණු මහා කැලෑවකට රැගෙන ගොස් ඇදුම් ඉවත්කොට පහර දී ඇත. එමෙන්ම ඔහුගේ නාසය තද කොට වතුර බැරල් දෙක හිසේ සිට වත්කොට ඇත. ඔහුට දුන් වදහිංසා හමුවේ ඔහු සොරකම සිදු නොකළත් තමා සොරකම සිදුකළ බවට එම අවස්ථාවේ සඳහන් කර ඇත. පසුව ඔහුව නැවත පාළු නිවසට රැගෙන ගොස් නැවත අමානුෂික ලෙස පහර දීමක් දිගින් දිගටම සිදුකළ බව ඔහු පවසයි.
පසුව මෙම ස්ථානයට තවත් පොලිස් ඉහළ නිලධාරියෙක් පැමිණි බවත් එහිදි ඔහුව පුත්තලම පොලිස් දූෂණ මර්ධන ඒකකයට රැගෙන ගොස් ඇත. ඒ වනවිටත් ඔහුගේ කකුල් දෙක ඉදිමි ඇති අතර කකුල් බිම තබන්නට බැරි වී ඔහු නොන්ඩි ගසමින් ඇවිදු බවත් එවිට ඔහුට පැනඩෝල් දෙකක් පමණක් දුන් බව ඔහු සඳහන් කරයි. ඉන් පසුව ඔහුව පුටුවක වාඩිකරවා ඔහුගේ නම, ලිපිනය තොරතුරු සටහන් කරගෙන ඔහුගෙන් අත්සන් ලබාගෙන ඇතත් එහි සඳහන් කර තිබු කිසිවක් කියවීමට ඉඩ ලබා දී නොමැත.
ඉන් අනතුරුව රාත්‍රී 10 ට පමණ ජීප් එකේ නංවාගෙන ඔහුව පුත්තලම පොලිසියට රැගෙන ගොස් පසුදින උදෑසන ඔහුගෙන් ඇගිලි සලකුණු ලබාගෙන උදෑසන 10.00ට පමණ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇත. එමෙන්ම ඔහුව පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇතත් පෙරෙට්ටුව හදුනා ගැනීමට සාක්ෂිකරුවන් පැමිණ නොසිටි නිසා ඔහුව බන්ධනාගාරගත කර ඔහුට විරුද්ධව 29219/24 යටතේ යතුරු පැදියක් සොරාගත් බවට ව්‍යජ නඩුවක් පවරා තිබුනි.
නැවත 2025.01.01 වනදින ඔහුව අධිකරණයට ඉදිරිපත් කර පෙරට්ටුව පවත්වා ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදිය සොරාගත් පුද්ගලයා හඳුනාගෙන ඇති බැවින් ඔහුව ඇප මත මුදා හැර ඇත. එදිනම ඔහු පුත්තලම රෝහලට ඇතුළත් වීමෙන් පසුව පොලිස් නිලධාරියෙක් පැමිණ ඔහුගේ තොරතුරු සටහන් කොට ගෙන “වන්දියක් අරන් දෙන්නම් ඉදිරියට ගෙනියන්න එපා” ලෙසත් පවසා ඇත.
නමුත් ඔහුගේ දකුණු කකුල් පතුලේ අසළ අස්ථි බිදී යාමක් සිදුවී ඇති බව වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත. ඔහු කිහිපවරක් රෝහල්ගත වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය
0112-669100
සටහන – චේතනා ගෝමිස්