මිදිගම පොලිස් පහර දීමෙන් ධීවරයෙකු ඔත්පල වෙයි.

වැලිගම, පිටදූවෙහි පදිංචි පුද්ගලයකු මිදිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ දී පහර දී තර්ජනය කොට ව්‍යාජ චෝදනාවක් ගොනු කිරීමේ සිද්ධියක් වාර්තා වේ.

දෙදරු පියෙක් වන ජානක ජීවන නම් මෙම පුද්ගලයා ඔහුගේ තවත් මිතුරෙකු සමඟ ඉකුත් දෙසැම්බර් මස 14 වනදා එම මිතුරාගේ නිවස අසළ කතා කරමින් සිටිය දී මිදිගම පොලිස් ත්‍රීරෝද රථයක් හා යතුරු පැදියක් පැමිණ නවත්වා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් එම ස්ථානයෙන් දිව ගොස් ඇත. ඔවුන් මෙලෙස දිවගොස් ඇත්තේ හැඳුනුම්පත නොමැතිව සිටින විට ඔවුන්ව අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩු පැවරීමක් සිදුකරයි යන බියක් නිසාවෙනි. නමුත් මෙලෙසින් දිවයන අවස්ථාවේ ජානක ජීවන නැමැති මෙම පුද්ගලයාව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ නිලධාරීන් හය දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන් යකඩ පොලු වලින් ඔහුගේ පාද වලට හා ශරීරයට අමානුෂික ලෙස පහර දීමක් සිදු කර ඔහුගේ දෑත් වයරයකින් ගැට ගසා අත්අඩංගුවට ගත්බව ඔහු පවසයි. පසුව ඔහුව පොලිස් ත්‍රී රෝද රථයෙන් පොලිස් ස්ථානය වෙත රැගෙන යන අතරතුර දී පොලිතින් බෑගයක් පෙන්වා පොලීසිය විසින් පහර දුන් බවක් පැවසූවහොත් “ මේ ටික දාලා 54 නඩු දාලා තෝව ඇතුළට දානවා, සද්ද නොකර හිටියොත් පොඩි නඩුවක් දාලා දඩය ගෙවලා වරෙන්” යනුවෙන් පැවසූ බව ඔහු සඳහන් කරයි.

මොහුව දෙසැම්බර් මස 15 වන දා අතිරේක මහේස්ත්‍රාත්තුමා වෙත ඉදිරිපත් කර ඇති අවස්ථාවේ පොලීසියට ඇති බිය නිසාවෙන් මොහුට ගොනු කරන ලද සියලු චෝදනා පිළිගත් බවත් පොලීසියෙන් පහර දුන් බව ඔහු එහිදී නොපවසා ඇත. ඒ අනුව දෙසැම්බර් 19 වන දා පවත්වන ලද නඩු විභාගයේ දී වරද පිළිගෙන රුපියල් 10,000ක දඩයක් ද ගෙවූ බව ඔහු තවදුරටත් පවසා සිටියි.

පසුව එදිනම මොහුගේ සුපුරුදු ධීවර රැකියාව වෙත පිටත්ව ඇති නමුත් ඔහුට පහර දීම් හමුවේ ඇති දකුණු පාදය ඇති වුණු තුවාල මත මොහුව ත්‍රිකුණාමල රෝහලට ඇතුළත් කර ඇතත් සුව නොවීම මත වරින්වර රෝහල්ගත වී ඇති අතර ඔහුගේ පාදයට අවස්ථාවන් කිහිපයක දී ශල්‍යකර්ම කිහිපයක් ද සිදු කර ඇත. නමුත් ඔහු විසින් රෝහල්ගත කිරීමේ දී පවසා ඇත්තේ මෙය අනතුරක් මත සිදු වූ තුවාලයක් බවයි. ඔහුට මේ වනවිට ඇවිද ගැනීමට නොහැකිව ඔත්පල වී සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් කටයතු මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂන් සභාවට, ජ්‍යෙෂ්ඨ පොලිස් කොමිෂන් සභාවට පැමිණිළි කර ඇත.

මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව ඉමදුව ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා ඉමදූව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.

ඉමදූව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය – 0760943638

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය

0112-669100

සටහන – චේතනා ගෝමිස්

 

Social Sharing
නවතම පුවත්