ඇගේ වරද ද? සමාජයේ වරද ද?
සමාජ ඛේදවාචකයක පැතිකඩක්
ඇය අත්අඩංගුවට ගත්තේ වරෙන්තුවකට – පොලිසිය
මානව හිමිකම් කොමිසමෙනුත් පරීක්‍ෂණයක්
අත්අඩංගුවට ගත් අයගේ ආරක්‍ෂාව පොලිසියේ වගකීමක් – නීතිඥ පූජනී ගලප්පත්ති
විවෘත වරෙන්තුවකට අදාළව මරදාන පොලිසිය විසින් පෙරේදා (21දා) රාත්‍රී අත්අඩංගුවට ගත් කාන්තාවක ඊයේ (22දා) අලුයම 4.00ට එම පොලිස් සිරමැදිරිය තුළ ගෙල වැලලාගෙන දිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ වවුනියාවේ පදිංචිව සිටි පොන්නයියා කලාදර්ශනී නමැති 32 හැවිරිදි දෙදරු මාතාවකි.
මැය හැඳ සිටි දිග රෙදි කලිසමෙන් ගෙල වැලලාගෙන ඇතැයි ද පොලිසිය කියයි.
අයාලේ යෑම යන චෝදනාව යටතේ ඇයට නඩුවක් අධිකරණයේ විභාගවෙමින් තිබී ඇත. එම නඩුවට ඇය පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය ඇයට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ අනුව පොලිසිය පෙරේදා රාත්‍රී 8.45ට පමණ මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඇයව පොලිස් සිරමැඳිරිය තුළ රඳවා තිබේ. ඊයේ උදේ ඇයව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය සූදානමින් සිටි අවස්ථාවේ මෙලෙස ඇය ගෙල වැලලාගෙන ඇතැයි පොලිසිය කියයි.
කෙසේ වෙතත්, දිවා – රාත්‍රී නිරතුරුව පොලිසියේ නිලධාරීන් රැඳී සිටින මරදාන වැනි පොලිස් ස්ථානයක සිරමැඳිරියක් තුළ කාන්තාවක සියදිවි නසා ගැනීම සැක සහිත බව මහජනතාව පවසති.
මෙම මවට පොලිසියේ නිලධාරීන් පහරදී මරා එල්ලුවේද? එසේත් නොමැති නම් ඇය සිය දරුවන්ට මුහුණදීමට ඇති ලැජ්ජාව හේතුවෙන් සියදිවි නසා ගත්තේද? යන්න සම්බන්ධයෙන් බස්නාහිර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් පැති කීපයක් ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ද විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීතිඥ පූජනී ගලප්පත්ති මෙසේ පැවසුවාය.
“මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. මේක ඇත්තටම අවාසනාවන්ත සිදුවීමක්. අයාලේ යෑම චෝදනා යටතේ මැයට අධිකරණයේ විභාග වන නඩුවක් තිබිලා තියෙනවා. ඒ නඩුවට ඇය පෙනී ඉඳලා නැහැ. ඒ නිසා පොලිසිය මැයව අත්අඩංගුවට අරගෙන ඉන්නකොට මෙම සිදුවීම වී තිබෙනවා. සිරමැඳිරියේ රඳවලා ඉන්නකොට තමයි ඇය මියගිහින් තියෙන්නෙ. ඇය සිරමැඳිරියේ රඳවලා ඉන්නකොට ඇය ගෙලවැලලා ගත්තද? කොහොම වුණාද? කියලා තාම ප්‍රශ්නයක්. යම් සිද්ධියකට අදාළව යම් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තම එයාව බලාගන්න එක පොලිසියේ යුතුකම. පොලිසිය ඊට බැඳී සිටිනවා. ඒ රඳවලා ඉන්න සැකකරුගේ හෝ සැකකාරියගේ ජීවිතයට මොනවා හරි දෙයක් වුණොත් ඒ සම්බන්ධයෙන් පොලිසිය වග කියන්න ඕන.”
“අත්අඩංගුවට ගන්නා බොහෝ ලිංගික ශ්‍රමිකයන්ට පොලිසියෙන් හිරිහැර වෙන අවස්ථාත් තිබෙනවා. මේ සිද්ධිය කොහොමද දන්නෙ නැහැ. එවැන්නක් වී දැයි තවම තහවුරු වී නැහැ. කොහොම වුණත් මියගිය ඇයට යුක්තියෙන් සාධාරණය ඉටු වෙයි කියලා හිතනවා. ඇයට පොලිසිය තුළදී කුමන දෙයක් වුණාද කියලා කියන් දන්නේ නැහැ.” කොහොම නමුත් ජීවත්වීම උදෙසා පාරට වැටෙන කතුන් පිළිබඳ අප මනුෂ්‍යත්වයෙන් බැලිය යුතු සමාජ ඛේදවාචකයක එක්තරා පැතිකඩක් මේක.
මරදාන පොලිසියේ නිලධාරීන්ගේ පැත්තෙන් යම් වැරද්දක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ‘දිවයින’ට පැවසීය.
මේ සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත් එන්. පී. ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පරීක්ෂණයක් ඊයේ ආරම්භ කර තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සිරිමන්ත රත්නසේකර
උපුටා ගැනීම දිවයින පුවත්පත