40 හැවිරිදි අවිවාහක කුලී රථ රියැදුරකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් නොමැතිව දින හතක් පුරා අනීතිකව රඳවාගෙන අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඊයේ දිනයේ නොතිසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කර ඇත. ඒ අනුව ඔහුගේ දෑත්වල අස්ථි බිඳෙනතුරු අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් තම අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත මෙලෙසින් ඊයේ දිනයේ නියෝග කර ඇත.
දොන් සේසිරි විජේසේකර නමැති මෙම කුලී රථ රියැදුරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රසිරි විජේසිංහ මහතා, රසික සංජීව බමුණුහේන්දර මහතා හා ගයාලි අතපත්තු මහතා යන නීතිඥ මණ්ඩලය කළ කරුණු දැක්වීම් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එලඹෙන අප්‍රේල් පළමු දා දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට කැඳවමින් එම නියෝගය කළාය.
ඒ අනුව දෙමටගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ රඳවාගෙන නිරුවත්කොට එලෙස අමානුෂිකව වධ දී ඇති බවත් සැකකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අතිරේක මහෙස්ත්‍රාත්වරියට පෙන්වා දි ඇත්තේ, කුලී ගමනක් යන මුවාවෙන් දුරකථන ඇමතුම් ලබා දී පසුගිය දෙවන දා එකී කැබ් රථය හා රියැදුරු කැඳවා සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් සිවුදෙනකු ගිනිඅවි පෙන්වා එම කැබ් රථය හා රියැදුරු පැහැරගෙන ගොස් ඇති බවත් පසුව කාන්තාවක පිළිබඳව විමසමින් එලෙස රියැදුරුට වධ හිංසා කොට ඇති බවත් පොලිස් නිලධාරීන් වාහනයකින් ඇදවැටුණු සැකකරුවකු බව හඟවා අධිකරණය නොමඟ යවා ඔහු සම්බන්ධයෙන් පසුගිය නව වැනිදා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණය විසින් රියැදුරු ඇප මත මුදාහැර ඇති බවත් එදිනම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඔහුට දින අටක් පුරා නේවාසිකව ප්‍රතිකාර ලබාදී ඇති බවත් පවසා ඇත.
මේ අයුරින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමන චෝදනා සම්බන්ධයෙන්දැයි අනාවරණය කිරීමකින් තොරව ඔහුව නීති විරෝධී ලෙස රඳවාගෙන ‘ගෑනි කෝ’? යැයි විමසමින් පහර දී ඇති බවද නීතිඥවරු අධිකරණයට ප්‍රකාශ කර ඇත. අත්අඩංගුවට ගැනීමට දින කීපයකට පෙර සැකකාර රියැදුරු සිය රථයෙන් එම ප්‍රදේශයට කුලී ගමනක් ගොස් තිබූ බවත් එකී දිනවල එම ප්‍රදේශයේ කැළිකසළ ගොඩක තිබී අලුත උපන් බිලිඳෙකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිය සේවාදායකයා සැකකොට එලෙස අත්අඩංගුවට ගත් බවට සැකකරන්නේ යැයි ද අධිකරණයට ඔවුන් වැඩිදුරටත් පැවසූහ.
පොලිස් නිලධාරියකු ඔහුගේ උදර ප්‍රදේශය පාගා දැමීම නිසා දෑත්වල අස්ථි බිඳීයෑමට අමතරව වකුගඩුවල ද ආබාධයකට ද ඔහු ගොදුරුවී ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් නීතිඥවරුන් පොලිසියේ එම ක්‍රියාකලාපය ඔහුගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවද අධිකරණයට පැවසූහ.
ඒ පිළිබඳව ඉහළ පොලිස් නිලධාරියකුට පැමිණිලි කර ඇත්දැයි මහෙස්ත්‍රාත්වරිය විමසීමක් සිදුකර ඇති අතර එලෙස පැමිණිලි කළහොත් මත්ද්‍රව්‍ය දමා නඩු පවරන බවට පොලිස් නිලධාරීන් විසින් තර්ජනය කර ඇත. උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කොට නොමැති නමුත් ඇප මත මුදාහැර රෝහල්ගත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හා ලංකා මානව හිමිකම් සංවිධානයට ඒ පිළිබඳව පැමිණිලි කර ඇතැයි ද සැකකරුගේ නීතිඥවරු පැවසූහ.
එලෙස පහරදුන් දෙමටගොඩ පොලිසියේ යම්කිසි පොලිස් නිලධාරියකු අධිකරණය හමුවේ සිටින්නේදැයි අතිරේක මහෙස්ත්‍රාත්වරිය විමසූ අතර අධිකරණය හමුවේ සිටින දෙමටගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන නිලධාරීන් අතරින් කිසිවකු එකී පහර දීමට සම්බන්ධ නැතැයි නීතිඥවරු ප්‍රකාශ කර ඇත.
අස්ථි බිඳීමට ලක්ව සිටි එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට ශරීරයේ තිබූ පහරදීම් තුවාල අතිරේක මහෙස්ත්‍රාත්වරියගේ අවධානයට ලක්කිරීමට නීතිඥවරු පියවර ගෙන ඇති බවට වාර්තා වේ. ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් පීරිස් මහතා ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරිහු පිරිසක් ද අධිකරණයට පැමිණ සිටියහ. අත්අඩංගුවට ගත් සිය සහෝදරයා පිළිබඳ දැනගත් ඔහු පොලිසියට ගියද දින තුනක් යනතුරු ඔහුව බැලීමට හෝ පොලිසිය ඉඩ නොදුන් බවට ද ඔහුගේ සහෝදරිය එම පැමිණිල්ල මගින් මානව හිමිකම් කොමිෂන් සභාවට පෙන්වා දී ඇත.