නව පනතක් ගේන තුරු PTA ක්‍රියාත්මක කරනවා – බිමල් රත්නායක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන අතර නව පනතක් සම්මත කරගන්නා තෙක් එය ඉතා පරිස්සමෙන් පාවිච්චිකිරීමට සිදු ඇති බව සභානායක බිමල් රත්නායක අද (21) පාර්ලිමේන්තුවේදි පවසා සිටියා.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කියන්න තියෙන එකම දේ තමයි, ඒය අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි. නමුත් අලුත් පනතක් සකස්කරන තෙක් රටේ තිබෙන නීතිය අපට ඉතාම පරිස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි ආණ්ඩුවක් කරන්න ඕනේ පනත් සම්මත වෙනතුරු.  ඒ නිසා අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්  මේ සභාවට පිළිතුරුදීලා තියෙනවා.”

ITAC මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාට මුහුණ පෑමට වූ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේදී මෙම රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව කටයුතු කරන්නේදැයි සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීමකින් අනතුරුව බිමල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී හකීම් මන්ත්‍රීවරයා සඳහන් කළේ ශ්‍රීධරන් මහතා තමිල්නාඩුව බලා පිටත්ව යාමට සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ  ප්‍රභූ විවේකාගාරයේදී ආගමන නිලධාරීන් ඔහුට සංචාරක තහනමක් ඇති බව පවසමින් බාධා කර ඇති බවයි.

කෙසේවෙතත්, සංචාරක තහනමක් පැනවීමට අධිකරණ නියෝගයක් තිබිය යුතු බවත් එවැනි අධිකරණ නියෝගයක් නොමැති බවත් මන්ත්‍රී හකීම් මහතා පැවසූ අතර, ඒවා පැහැදිලි කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් මහතාට ඉදිරියට යාමට අවසර දුන් බවත් සඳහන් කළා.

ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයාට මේ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇති බවත්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ද මේ පිළිබඳව සොයා බැලීමට දැනුම් දී ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී පවසා සිටියා.

මෙය ත්‍රස්ත විරෝධී පනත අනිසි ලෙස භාවිතා කිරීමක් ද යන්න පැහැදිලි නැති බවත්, රජයේ ප්‍රතිපත්තිය හෝ මග පෙන්වීම මත එය සිදු කර නොමැති බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.

news19.lk

Social Sharing
නවතම පුවත්