මාර්ගගත ආරක්ෂණ පනතේ අහිතකර බලපෑම් අවම කිරීමට රජයෙන් සැලසුම්

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා ප්‍රකාශ කරනුයේ මාර්ගගත විෂමාචාරවලට ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව ආරක්ෂා කර ගනිමින් මාර්ගගත ආරක්ෂණ පනතේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට රජය සැලසුම් කරන බවයි. ඒ අනුව බොහෝ පාර්ශව විසින් කණස්සල්ල පළකර ඇති 2024 අංක 09 දරන මෙම පනතට සංශෝධන හඳුන්වාදීමට රජය කටයුතු කරනු ඇත්තේ ඒ සම්බන්ධයෙන් ලබා ගන්නා ලද මහජන උපදේශනවලින් පසුව බව වාර්තා වේ.

ඒ අනුව අවශ්‍ය සංශෝධන සිදුකිරීමෙන් පසු පනත ක්‍රියාත්මක කරන බවත් දැනට පනත පවතින ස්වරූපයෙන් එය බලාත්මක කිරීමට ඔවුන්ට අදහසක් නොමැති බවත් වැඩිදුරත් පෙන්වා දී ඇත. එමෙන්ම එතුමා පවසා ඇත්තේ සංශෝධනය කළ යුතු අංශ රාශියක් පනතේ පවතින බවත් නිදහස අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා ඔවුන් මෙම නීති සම්පාදනය භාවිත කරන බවත්ය. මේ සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ කොටස්කරුවන් සහ මහජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව සංශෝධන සිදු කරන බව ද ඔහු වැඩිදුරත් ප්‍රකාශ කරයි.

මෙම පනත ප්‍රථම වරට 2023 සැප්තැම්බර් මාසයේදී රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අතර 2024 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත. මෙම පනත මාර්ගගත ආරක්ෂාව, අසත්‍ය තොරතුරු සහ සයිබර් හිරිහැර සම්බන්ධ ගැටලු විසඳීම සඳහා හඳුන්වා දෙන ලදී.

මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය ලැබුණද, ඇතැම් සංශෝධන එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුකූල නොවන බවට තර්ක කරමින් බොහෝ පිරිස් කණස්සල්ල පළ කර ඇති නිසාවෙන් මෙම ගැටලුවලට ප්‍රතිචාර වශයෙන්, 2023 නොවැම්බර් 7 වැනි දින නිකුත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සමඟ වඩා හොඳින් ගැළපෙන පරිදි නීති සංශෝධනය කිරීමට රජය 2024 ඔක්තෝබර් මාසයේදී එකඟ වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, මාර්ගගත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර 2024 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ සභාගත කර ඇතත් විවිධ අංශවලින් එල්ල වූ පුළුල් විවේචන හමුවේ එය ද සම්මත වී නොමැත.

Social Sharing
ආර්ථික නවතම පුවත්