වික්ටර් අයිවන්: අපේ කාලයේ වීරයෙක් – සුදර්ශන ගුණවර්ධන

මිහයීල් ලෙර්මන්තව්ගේ ‘අපේ කාලයේ වීරයෙක්’ නම් කෙටි නවකතාව අපට අසුවෙන්නේ ‘ප්‍රගති ප්‍රකාශක මන්දිරයට’ පින් සිදු වන්නටය. ඒ රුසියානු සහ සෝවියට් සාහිත්‍යය කෙලින්ම සිංහලට පරිවර්තනය කර, ඉහළ නිමාවකින් යුතුව අඩු මිළට විකුණන ලද බැවිනි. 1839 දී ලියා 1840 දී පළ කරන ලද ‘අපේ කාලයේ වීරයෙක්’ වෙතින් අපට හමුවන්නේ ගෝර්කිගේ ‘පාවෙල් ව්ලාසව්’ (අම්මා), නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ ‘පාවෙල් කොර්චාගින්’ (වානේ පන්නරය ලැබූ හැටි) හෝ බරීස් පලෙවොයිගේ ‘අලෙක්සැන්දර් මෙරේස්යෙව්’ (සැබෑ මිනිසෙකුගේ කතාවක්) වැනි වීරයෙක් නොවේ. ලෙර්මන්තව් නිර්මාණය කරන ‘ග්‍රිගෝරි පෙචෝරින්’ වනාහි තම අභ්‍යන්තර හැඟීම් සමග අරගලයක යෙදෙන මිලිටරි නිලධාරියෙකි. ඔහුගේ විචිත්‍ර චරිතය ඔහු හා විවිධාකාරයෙන් අභිමුඛ වන්නන්ගේ ජීවිත කෙරෙහි බලපෑම් කරන ආකාරය මෙහි චිත්‍රණය වී ඇත. පෙචෝරින්ගේ චරිතය ඔහු ජීවත්ව සිටි පූර්ව විප්ලවීය රුසියාව හා අත්‍යන්තයෙන්ම බැඳී පවතී.

වික්ටර් අයිවන්ගේ සමාජ ජීවිතය ආරම්භ වන්නේ ‘1971 අප්‍රේල් කැරැල්ලේ’ නායකයෙකු ලෙසය. කැරැල්ලට සූදානම් වීමේදී බෝම්බයක් පුපුරා යාම නිසා ඔහුගේ දෑත් ආපසු හැරවිය නොහැකි ලෙස හානියට පත් වෙයි. කැරැල්ල ආසන්නයේ සිර භාරයට පත් වන ඔහු අනතුරුව කැරැල්ලේ විවේචකයෙකු බවට පත් වෙයි.

කැරැලිකරුවන් නිදහස් කිරීමත් සමග නැවතත් නිදහස් ලෝකයට පිවිසෙන ඔහු, එම ලෝකය වඩා යහපත් තැනක් කරනු පිණිස නොනවතින අරගලයක් ඔහුගේම ක්‍රමයකට සිදු කළේය. ඔහුගේ තියුණු මැදිහත්වීම් විවාද සම්පන්න වූ නමුත් දශක පහකට වැඩි කාලයක් තුළ පුද්ගලයෙකු වශයෙන් ඔහු කළ කාර්යභාරය ඓතිහාසිකය.

මට ඔහු පළමුව මුණ ගැසෙන්නේ ‘රාවය’ සඟරාවෙනි. ඒ 1986 දී පමණය. ඔහු හා මුණ ගැසී කතා කිරීමට අවස්ථාව ලැබුණේ 1988 දී මා මීගමුවේ ‘ජනාවබෝධ කේන්ද්‍රය’ නම් සමාජ ආයතනයෙහි කටයුතු කරන අතරතුරය. ඒ කාලයේ අප විසින් විවිධ සමාජ දේශපාලන සාකච්ඡා සංවිධානය කළ අතර එවන් එක් සාකච්ඡාවක් සඳහා වික්ටර් අයිවන්ට ආරාධනා කළ යුතු යැයි තීරණය විය. ඒ කාලයේ ඔහු ‘අර්බුදයේ ගමන් මග’ නමින් පොත් පිංචක් ලියා පළ කොට තිබුණි. මේ ගමනට මූලිකත්වය ගත්තේ Roy Rodrigoය. අපගේ ආරාධනාව පරිදි වික්ටර් අයිවන් මීගමුවට පැමිණ අර්බුදයේ ගමන් මග පිළිබඳ දේශනයක් පැවැත්වීය.

වික්ටර් අයිවන් ‘රාවය’ සඟරාව ටැබ්ලොයිඩ් පත්තරයක් බවට පත් කරන්නේය. ‘ජාතික’ පුවත්පත් වලට විකල්පයක් යන අදසින් ‘විකල්ප’ පත්තර යන යෙදුම ප්‍රචලිත වූයේ ‘රාවය’ නිසා බව කීම අතිශයෝක්තියක් නොවේ. 1994 සිදුවූ ආණ්ඩු පෙරළිය කෙරෙහි ‘රාවය’ පත්තරය කළ බලපෑම සුළු පටු නොවේ. ඉන් අනතුරුව ඔහු පුවත්පත බ්‍රෝඩ් ෂීට් පුවත්පතක් ලෙස වර්ධනය කරන්නේය.

අධිකරණයේ ස්වාධීනතාවය වෙනුවෙන් ඔහු තම ජීවිතයද නොතකා ‘සිස්ටම්’ එකට අභියෝග කළේය. දූෂණයට විරෝධී සටනේ ඔහු පුරෝගාමියෙකි. සාපරාධී අපහාස නීතිය යටතේ ඔහුට එරෙහිව පැවරුණු අපරාධ නඩු ගණනාවකි. අවසානයේදී 2002 වසරේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් සාපරාධී අපහාස නීතිය අහෝසි කිරීමටද ඔහු කළ මැදිහත්වීම් හේතු සාධක විය.

වික්ටර් අයිවන් පත්තරයක ප්‍රධාන කර්තෘ කෙනෙකුගේ භූමිකාවෙන් සෑහීමකට පත් නොවීය. ඔහු ‘රාවය’ ප්‍රකාශන සමාගම ගොඩ නැගුවේය. පත්තරයට අමතරව පොත් පත් රාශියක් ‘රාවය’ ලේබල් එක යටතේ ප්‍රකාශයට පත් කරන ලදී.

මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ වික්ටර් අයිවන්ගේ මාධ්‍ය භූමිකාව එක්තරා විවේචනයකට ලක් විය. ඒ විවේචක සමාගමයට අපිදු අයත් වීමු. එහෙත්, තම අදහසට සපුරා වෙනස් අදහස් වාරණය නොකොට තම ප්‍රධානත්වයෙන් පැවැති පුවත්පතේ පළ කිරීමට වික්ටර් අයිවන් ඉඩ ලබා දුන්නේය. 2007 වසරේදී Kotawila Withanage Janaranjana Upul Kumarapperumaසහ මම ‘සමබිම’ ආරම්භ කරන විට එය ‘රාවය’ පුවත්පතේ අතිරේකයක් ලෙස පළ කිරීමට ඉඩ ඉඩ ලැබිණි. කෙටි කාලයකින් ජනරංජන ‘රාවය’ කර්තෘ වශයෙන් පත්ව ගිය නමුත් ‘සමබිම’ ඉරිදා සංග්‍රහය වසර දහයක් පමණ අඛන්ඩව ‘රාවය’ සමග පළ කිරීමට මට හැකි විය.

අවසන් වශයෙන් මා වික්ටර් අයිවන් මහතා හමුවනේ 2024 වසරේ ජනාධිපතිවරණයට පෙරාතුවය. ඒ මා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේදීය. අපගේ ආරාධනයෙන් අයි ටී එන් එකට පැමිණි ඔහු සමග ‘පැනොරාමා’ නම් වැඩසටහන සඳහා සම්මුඛ සාකච්ඡාවක් පටිගත කිරීමට මට අවස්ථාව ලැබිණි.

වික්ටර් අයිවන් යනු අප ජීවත් වන සංකීර්ණතා ගහණ යුගයේ නිෂ්පාදනයකි. විවිධ හැලහැප්පිලි මැද නොනැසී පැවැතීමටත්, තමා විශ්වාස කරන අදහස වෙනුවෙන් නොබියව පෙනී සිටින්නටත් ඔහුට හැකි විය. ඒ මතය සමාජය හමුවට ගෙන යාම සඳහා අවශ්‍ය මානව සහ භෞතික සම්පත් සම්පාදනය කරගැනීම සඳහා ඔහු ප්‍රයෝජ්‍යතාවාදියෙකු ලෙස කටයුත් කළේය.

සැමදා රැල්ලට එරෙහිව කටයුතු කළ ඔහු 2024 ජනාධිපතිවරණ සමයේදී ද ‘රැල්ලට’ එරෙහිව පිහිණුවේය.

සමහරු ඔහුට කැමැතිය. තවත් අයෙක් ඔහුගේ භාවිතාව පිළිකෙව් කරනු ඇත. කෙසේ වුවද වික්ටර් අයිවන් යනු ‘අපේ කාලයේ වීරයෙකි’.

රට සහ ජන සමාජය වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් වික්ටර් අයිවන් මිතුරාට ආචාර කරමි. ඔහුට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය අත් වේවා!

Sudarshana Gunawardana – මුහුණු පෙතෙනි,

 

Social Sharing
අවකාශය නවතම