ඉකුත් ජනවාරි මස 11 වනදා පියන්ත අනුර බණ්ඩාර මහතා කෝණ්දෙනිය සිය පුතණුවන්ගේ නිවස බලා යෑමට බස් රථ නැවතුම්පොළ අසළට රැඳි සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පුද්ගලයන් තිදෙනෙක් විසින් මෙම පුද්ගලයාට සොරකම් කළ බඩු බෑග් දෙක ලබා දෙන මෙන් තර්ජනය කරමින් පහර දීමට උත්සහ කර ඇත. එම අවස්ථාවේ ඔහු තමා කිසිවක් සොරකම් නොකළ බවත් තමාව පොලීසියට භාර දෙන ලෙසත් පවසා ඇත. එම පුද්ගලයන් විසින් මොහුව ත්‍රීරෝද රථයකින් මාවනැල්ල පොලීසිය වෙත රැගෙන ගොස් පොලීසියට භාර දී ඇත.
පොලිස් ස්ථානයට රැගෙන යාමෙන් අනතුරුව එක් නිලධාරියෙක් විසින් ඔහුව උඩු මහළට රැගෙන යන අවස්ථාවේ එහි සිටි වෙනත් නිලධාරියෙක් මෙම පුද්ගලයාව මෙහි රැගෙන ඒමට හේතුව විමසා ඇති අතර මොහුව රැගෙන ආ නිලධාරියා පවසා ඇත්තේ සොරකමක් සම්බන්දයෙන් රැගෙන ආ බවත් මෙවැනි පුද්ගලයන්ට පහර දිය යුතු බවත්ය. පසුව පොලිස් නිලධාරීන් විසින් මොහුට අමානුෂික ලෙස පහර දෙමින් ඔහුට බිම දිගා වීමට පවසා අතින් පයින් පහර එල්ල කර ඔහුව පාගාද ඇත. මෙම පහර දීම හේතුවෙන් ඔහුට ඇවිදීමට නොහැකි වී ඇති අතර ඔහුගේ අතෙහි ඇඟිල්ලක් ද පුපුරා ගොස් ඇත. එමෙන්ම ඔහුව බිම දමා පෑගීම හේතුවෙන් ඔහුගේ සිරුරේ දැඩි වේදනාවක් ඇති වී තිබේ.
පසුව පොලීසිය විසින් ඔහුගේ පුතාට දුරකථන ඇමතුමක් ගෙන ඔහුගේ පියා පොලිස් සොරකමක් මත පොලීසියට රැගෙන විත් ඇති බව පවසා ඇත. එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරිනියක් මොහුට පවසා ඇත්තේ වරද පිළිගන්නා ලෙසත් එසේ නොමැති නම් “මම තමයි උඹට ගහන්නේ යැයි” පවසා ඇති බව ඔහු ප්‍රකාශ කරයි. මොහු තමා වරද නොකළ බවත් ජංගම දුරකථනයේ පටිගත වී ඇති දර්ශන හොඳින් බලන ලෙසත් බැගැපත් වී ඇත. මොහුව පසුව සිර මැදිරියට නැවත රැගෙන ගොස් දමා ඇති අතර එම අවස්ථාවෙන් පසුව මෙම පුද්ගලයාව පොලීසියට රැගෙන ගිය පුද්ගලයන් තුන් දෙනාගෙන් එක් පුද්ගලයෙක් පැමිණ මොහු සිර මැදිරිය තුළ සිටින අවස්ථාවේ කම්මුලට පහරක් එල්ල කර ඔවුන්ගෙන් සොරකම් කළ භාන්ඩ නැවත භාරදෙන ලෙස තර්ජනය කර ඇති අතර එම අවස්ථාවේ කිසිදු නිලධාරියෙක් එම පහර දීමට මැදිහත් වී නොමැත.
එමෙන්ම පියන්ත නැමැති පුද්ගලයාගේ සහෝදරයකු වීඩීයෝ සාක්ෂි කිහිපයක් සමඟ පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර එයින් පසුව ඔහුව නිදහස් කොට ඇත. ඔහුගේ සහෝදරයන් පිරිසක් පැමිණ ඔහුව ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම ස්ථානයට පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ වින්දිතයාගෙන් වැරද්දක් සිදු වූ බව පවසමින් සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඉන් අනතුරුව ඔහු 12 වනදා වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු කර ඇති අතර ඉන් අනතුරුව ඔහුව අධිකරණ වෛද්‍යවරයා වෙත ද යොමු කර ඔහුගේ සිරුරේ ඇති සියලු තුවාල සහ පහර දීමෙන් සිදු වූ තැලීම් නීරික්ෂනයකර ඇතත් මේවන තුරු ඔහුට සිදුවූ අසාධාරණයට කිසිදු සාධාරණයක් ඉටු වී නොමැත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔවුන් විසින් මානව හිමිකම් කොමිසමට, පොලිස් කොමිසමට, පොලිස් අධිකාරි කාර්‍යාලයට ද පැමිණිළි කර ඇත.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා ඔබටත් ප්‍රාදේශීය මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ අනුව කෑගල්ල ප්‍රදේශය තුළ ඇතිවන මානව හිමිකම් කඩවීම් හා වධහිංසාවන් සඳහා කෑගල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනයට පැමිණිළි ඉදිරිපත් කළ හැක.
කෑගල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය- 0741159304
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
0112-669100
www.right2lifelanka.org
සටහන – චේතනා ගෝමිස්