භීෂණයක අඳුරු සෙවණැලි අතර සැඟවුණු දහස් සංඛ්‍යාත මානවයින් අතර රිචඩ් ද සොයිසා සුවිශේෂ වන්නේ ඔහු ඒ වනවිටත් ජනප්‍රිය මාධ්‍යවේදියකු, නිවේදකයකු, ලේඛකයකු, රංග ශිල්පියකු සේම මානව හිමිකම් ක්‍රියාකරුවකු ලෙස ද කටයුතු කරමින් මෙරට මෙන් ම ජාත්‍යන්තරයේ ද කීර්තියට පත්ව සිටි අයෙකු වූ බැවිනි. පැහැරගෙන ගොස් වෙඩි තබා මරා දැමූ ඔහුගේ නිරුවත් මළ සිරුර මොරටුව කොරළවැල්ල මුහුදු තීරයට පාවී පැමිණ තිබිය දී හමු වූ පුවත අරුමයක් නොවේ. ඔහු මාධ්‍යවේදියකු වූ නිසාම නොව ඒ පැහැරගෙන යාම සහ ඝාතනය අසන අසන සැමගේ හද කම්පිත කළ නිසා දෝ ලැව් ගින්නක් සේ ඔහුගේ අමානුෂික ඝාතනය පිළිබඳ පුවත පළ නොවූ මුද්‍රිත හා විදත් මාධ්‍යයක් නැති තරම්ය. විටින් විට අළුයට ලූ ගිනි පුපුරු සේ ගිනි දුම් නැගෙමින් සැඟවෙමින් අදට ද කුතුහලයක් ඉතිරි කළ මෙකී සංසිද්ධිය අපගේ දෑස් ඉදිරිපිට චිත්රණය කරන්නට අශෝක හඳගම දැරූ ප්රයත්නය රාණි නම් දරමින් මෙම මස අගදී මෙරට තිරගත කිරීමට නියමිත යි.
අශෝක හඳගම නම් අධ්යක්ෂවරයා ජීවන චරිතයක් ඇසුරෙන් සිනමා නිර්මාණයක් කරන්න හිතන්නේ ඇයි…?
ඔව්. මෙතෙක් මා කළ සිනමා නිර්මාණවල පුද්ගල චරිත විග්‍රයන් තිබුණත් පුද්ගල චරිතයක් හා සිද්ධියක් මුල් කරගෙන නිර්මාණයක් මීට පෙර කරලා නැහැ. අපි කවුරුත් අඩු වැඩි වශයෙන් දන්නා මේ සත්‍ය සිදුවීම මම දකින විදිහට සිනමාවට නැගීමයි රාණි චිත්‍රපටයෙන් කළේ. ලයිකා (Lyca) නිෂ්පාදනායතනයට චිත්‍රපටයක් කිරීමේ ඕනෑකම තිබුණා. ඊටත් වඩා ස්වර්ණා මල්ලවආරච්චිට රාණි චරිතය කරන්න ලොකු වුවමනාවක් තිබුණා. ඇය වසර කිහිපයක් තිස්සේ විවිධ නිෂ්පාදන ආයතනවලට ඒ ගැන කතා කරලා තිබුණා. අවසානයේ ලයිකා ආයතනය ඇයගේ අරමුණට සහසම්බන්ධ වෙමින් මේ නිර්මාණ කටයුත්ත සඳහා මාව තෝරාගෙන මට කාර්ය පැවරුවා. ඒ අවස්ථාව වන විට මම දැඩි ලෙස රෝගී වෙලා එක්තැන්ව සිටි නිසා ඉතාම සතුටින් ඒ කාර්ය භාරගෙන තිර පිටපත ලියන්න ගත්තා.
රිචඩ් ද සොයිසා චරිතය හෝ එම ඝාතන සිද්ධිය ඔබට යම් සමීප බවක් තියෙනවා ද?
මෙහෙමයි. 88-89 කාලය අපිත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හැටියට සිටි කාලය යි. ඒ කාලයේ රටේ පැවති භීෂණය අපිත් තරුණයින් හැටියට අත්දැක තිබුණා. ඒ අතරේ මේ සිද්ධිය අපටත් විශාල කම්පනයක් ඇති කළා. ඒ නිසා මේ ගැන තොරතුරු හොයලා මගේ ප්රකාශනයක් හැටියට මම මේ චිත්‍රපටය කළා. රිචඩ් ද සොයිසා සිද්ධිය සම්බන්ධයෙක් රාණි චිත්‍රපටය හරහා මටත් කියන්න දෙයක් තිබුණා. පටන් ගැන්ම කෙසේ වුවත් රාණි චිත්‍රපටය අශෝක හඳගමගේ ප්රකාශනයක් බව කිව යුතුමයි.
ඔබ රිචඩ්ව පෞද්ගලිකව හඳුනාගෙන සිටියා ද?
නැහැ. මම පෞද්ගලිකව රිචඩ්ව දැන හඳුනාගෙන හිටියේ නැහැ. නමුත් මගේ නාට්‍ය බලන්න ඔහු ඇවිත් ඉන්නවා මම දැකලා තියෙනවා. ඒ වගේම රිචඩ් එක්ක සමීපව වැඩ කළ පිරිස් අපටත් ඒ කාලේ හමුවෙනවා. අපි ඒ කාලේ විශ්වවිද්‍යාල ජීවිතය නිම කළා විතරයි. ඒ නිසාම රිචඩ් එක්ක සමීපව කටයුතු කළ අය අතර තොරතුරු හුවමාරු වෙන හැටි අපටත් පෙනුනා. අන්තිම වතාවට මම රිචඩ් ව දැක්කේ මගේ ‘මාඝාත’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය ලුම්බිණි රඟහලේ පැවති වෙලාවේදීයි. අන්තිම වතාවට රිචඩ්ව දැක්ක හැටි මට හොඳට මතකයි. මාඝාත නාට්‍යය ගැන මුලින්ම පුවත්පතකට සමාලෝචනයක් (Review) ලිව්වෙත් ඔහුයි. ඒ 1989 ඔක්තෝබර් මාසයේ දවසක ‘දි අයිලන්ඩ්’ (The Island) පුවත්පතටයි. මේ කියන හේතු නිසා ඔහුගේ ඝාතනය මට හොඳින් දැනී තිබුණා.
රිචඩ්ගේ ඝාතකය පිළිබඳ නිශ්චිත තහවුරුවක් අදටත් නොමැති නිසා මේ චිත්‍රපටය එහි තහවුරුවක් බවට පත් වේවි ද?
රිචඩ්ගේ ඝාතනය සහ එම ඝාතකයින් පිළිබඳ දහසක් කතා සමාජයේ තියෙනවා. විවිධ මාධ්‍යවල ඒ කතාව ඕනෑ තරම් දිග හැරුණා. මේකත් ඒ දහසක් කතා අතර එක් කතාවක් විතරයි. මේ සිද්ධිය ගැන සමාජය නොදන්නා කතාවක් රාණි චිත්‍රපටයේ නැහැ. තහවුරු වුණත් නැතත් සමාජය දන්නා කතාවක් තියෙනවා. ඒ දන්නා කතාවට පරිබාහිර කිසිවක් මේ චිත්‍රපටයේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු නොදන්නා රහසක් මේ චිත්‍රපටයෙන් හෙළිදරව් කෙරෙන්නේ නැහැ. මේ චිත්‍රපටයෙන් සිදු වෙන්නේ රිචඩ් ද සොයිසා ඝාතන සිද්ධිය සහ ඒ සිද්ධිය සිද්ධ වුණු ආකාරය සම්බන්ධයෙන් පවතින සමාජදාමයන් මට දැනෙන මට හැඟෙන ආකාරයට නිර්මාණාත්මක කෘතියක් ලෙස සිනමාගත කිරීමයි. මේක ප්‍රේක්ෂකයින් මොන ආකාරයට භාර ගන්නවා ද කියන කාරණාව ප්‍රේක්ෂකයින්ගේ අයිතියයි. මම මේක කළේ කලා කෘතියක් හැටියටයි. ඒ සඳහා සිනමාත්මක රීති ද අදාළ වන්නා වූ සියලු දේ මම භාවිත කරමින් මේ කලා කෘතිය නිර්මාණය කළා. ඒ නිසා ප්‍රේක්ෂකයින්ට මට කියන්න තියෙන්නේ රාණි චිත්‍රපටයේ පෙළ ගැස්ම ඇත්ත සිද්ධියක් ද මොකක්ද කියන කාරණාව නැතුව රාණි චිත්‍රපටය කලා කෘතියක් හැටියට රසවිඳින්න කියලයි.
ඔබ කෙසේ කීවත් විවිධ ප්‍රේක්ෂකයින් මෙය ග්‍රහණය කර ගන්නා ආකාරය විවිධ විය හැකියි නේද?
ඔව්. ඒක ඒ ඒ ප්‍රේක්ෂකයින්ගේ අයිතිය සහ දැනීමයි. මම කළේ සත්‍ය සිද්ධියට සාධාරණය ඉටු කිරීම නෙවෙයි. සත්‍ය සිද්ධියක් ඇසුරෙන් කළ නිර්මාණයට සාධාරණය ඉටු කිරීම යි. තව නිර්මාණකරුවෙක් මේ සිද්ධිය වෙනත් ආකාරයකින් නිර්මාණය කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ මගේ කියවීම යි. ප්‍රේක්ෂකයින් මෙය භාර ගන්න ආකාරය ගැන මම නිර්මාණකරුවා හැටියට කලබල විය යුතු නැහැ. මගේ නිර්මාණ කාර්යය මම අවසන් කළා. නිර්මාණය රසවිඳීමේ කාර්ය ප්‍රේක්ෂකයින් සතු යි.”
මේ සිද්ධියට අදාළව යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් නැගී සිටි බහුතරයකට අවසානයේ ඉතිරි වූ ජීවන අවදානම ඔබට දැනුණේ නැද්ද?
ඇත්ත වශයෙන්ම මම ඒ ගැන හිතුවේ නැහැ. සමහර විට ජීවන අවදානමක් තියෙනවා විය හැකියි. කවුරු කොහොම මේ නිර්මාණය භාර ගනී ද කියන්න මම දන්නේ නැහැ. මේ වගේ ජීවන කතාවක ආකෘතියකින් නිර්මාණය වුණු සිනමා කෘති ලෝකයේ ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා මමත් මෙයට තෝරා ගත් ජීවන චරිතය අදාළ කරගෙන මගේ නිර්මාණය කළා. මම හිතන්නේ නිර්මාණය ගැනයි. එයින් පරිබාහිරව ඇති විය හැකි යැයි අනුමාන කෙරෙන වටා පිටාව කිසිවක් නිර්මාණයට අදාළ වෙන්නේ නැහැ. ඒක මට පෞද්ගලික විය හැකියි. නමුත් එය නිර්මාණයට අදාළ නැහැ. අනික ඔය කියන හැම දෙයක් ගැනම හිත හිතා හිටියොත් මට නිර්මාණ කරන්න වෙන්නේ නැහැ.
පවතින චිත්‍රපට ධාරාවෙන් පිටතට අවුත් නිර්මාණය කළ රාණි චිත්‍රපටය ආර්ථික ප්රතිලාභ පෙන්වයි ද…?
චිත්‍රපටය ජනවාරි අග සිනමා ශාලාවල තිරගත වීම ආරම්භ වෙනවා. මේ චිත්‍රපටය ආර්ථික ප්රතිලාභ පෙන්වයි ද කියලා තවම අපට කියන්න බැහැ. ආර්ථික ප්රතිලාභ ගැන හිතලා මම මේ නිර්මාණය කළෙත් නැහැ. නමුත් වියදම් පැත්තෙන් ගත්තාම මගේ චිත්‍රපට අතරින් දෙවැනියට වැඩිම වියදමක් දැරූ චිත්‍රපටය මෙයයි. පෙර නිර්මාණවලට වඩා මම මේ සඳහා නව තාක්ෂණික ශිල්පක්රම යොදා ගත්තා. නිෂ්පාදන ආයතනය රුපියල් ලක්ෂ දාහක් මේ චිත්‍රපටය සඳහා වියදම දැරුවා. ඔවුන් ආර්ථික ප්රතිලාභ ගැන හිතුවාද කියන්න මම දන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ මේ සිද්ධිය ගැන සමාජයේ අදටත් මිනිස්සු අතර තියෙන කතා බහ සහ උනන්දුව මත මේ චිත්‍රපටය වැඩි පිරිසක් නරඹාවි. එහෙම වුණොත් ආර්ථික ප්රතිලාභ පෙන්වාවි.
මේ චිත්‍රපටයේ චරිත තෝරා ගැනීමේදී සත්‍ය චරිතවල ස්වභාවයන්ට සමීප වෙමින් එම තෝරා ගැනීම කළයුතු වුණා නේද?
ඒක අභියෝගයක් වුණා. වෙනත් චිත්‍රපටවලදී වගේ මට ඕනේ අයව මට ඕනේ විදිහට ගන්න මෙතැනදී බැහැ. මේක සත්‍ය කතාවක්, සත්‍ය චරිතවලින් හෙබි චිත්‍රපටයක් නිසා ඒ ඒ චරිතවලට සමාන හැඩරුව ඇති ශිල්පීන් තෝරා ගන්න මම උත්සාහ කළා. ස්වර්ණා මල්ලවආරච්චි සමඟ රෙහාන් අමරතුංග, සනත් ගුණතිලක, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, සජිත ඇන්තනි, මයුර කාන්චන, රිතික කොඩිතුවක්කු සෙසු චරිත රඟපානවා. කැමරාකරණය චන්න දේශප්‍රිය, සංස්කරණය රවින්ද්‍ර ගුරුගේ, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ ආදි වශයෙන් පිරිස මේ නිර්මාණයට දායක වුණා. සත්‍ය සිද්ධියට සමාන පෙනුම සහිත රංගන ශිල්පීන් තෝරා ගත්තත් සැබෑ චරිත අනුකරණය කිරීමක් කළේ නැහැ.
මේ චිත්‍රපටයට ගීතයක් ඇතුළත් කළේ ඇයි?
ඒක ඇත්තටම මේ චිත්‍රපටයේ ප්‍රචාරණය සඳහා යෙදූ ගීතයයි. චිත්‍රපටය අවසානයේදී තමයි ගීතය ඇතුළත් වෙන්නේ. චිත්‍රපටයේ කතාව ඇතුළේ මේ ගීතය නැහැ.
රාණි චිත්‍රපටයත් ජාත්‍යන්තර සිනමා උලෙළකට ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ද?
වෙනදා නම් මගේ චිත්‍රපටවල මංගල දර්ශනය තියෙන්නේ ජාත්‍යන්තර සිනමා උලෙළක තමයි. නමුත් නිෂ්පාදකයින්ගේ වුවමනාව මත රාණි චිත්‍රපටයේ මංගල දර්ශනය ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවක තිරගත කරන්න සලස්වා තිබෙනවා. පසුව මෙය ජාත්‍යන්තර සිනමා උලෙළවලට ඉදිරිපත් කරන්න මගේ කැමැත්තක් තියෙනවා. නමුත් කල් ගියාම ඒවාට ගන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ ප්‍රේක්ෂකයින් සහ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික ඩයස් පෝරාව මේ චිත්‍රපටයේ ඉලක්ක ප්‍රේක්ෂක පිරිස බවට පත් වෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර අනුව මගේ ඊළඟ නිර්මාණය තීරණය වෙනවා.